තදංග නිර්වාණය

ලෝකයෙහි පවත්නා වූ නානා විධ රෝගයන් සුව කිරීමට නා නා ඖෂධ වර්ග වෙන් වෙන් වශයෙන් ඇතුවාක් මෙන් සත්ත්වයන්ගේ චිත්ත සන්තානයන්හි පවත්නා වූ නා නා අකුශල ධර්මයන් දුරු කිරීමට ඒ ඒ අකුශල ධර්මයන් දුරු කළ හැකි වූ නා නා විධ කුශල ධර්ම වෙන් වෙන් වශයෙන් විද්‍යමානය. ඒ කුශල ධර්මයන්ගේ ශක්තියෙන් එක් එක් අකුශල ධර්මයක ප්‍රහාණයට තදඞ්ග ප්‍රහාණයැයි කියනු ලැබේ. එසේ ප්‍රහාණය කිරීමෙන් එක් එක් අකුශල ධර්මයක් සම්බන්ධී ස්වල්ප කාලයකට වන නිවීමට තදඞ්ග නිර්වාණයැයි කියනු ලැබේ. මෙය මධ්‍යම නිකායාගත සල්ලේඛ සූත්‍රයෙහි වදාරා තිබේ. එය ශාන්ති ලක්‍ෂණයෙන් එකක් වූ නමුත් අකුශල ධර්මයන්ගේ වශයෙන් බහු ප්‍රභේද වේ. එහි ප්‍රභේද මතු දක්වන සල්ලේඛ සූත්‍ර පදාර්ථානුසාරයෙන් දත යුතු.

ප්‍රථම තදංග නිර්වාණය

1. විහිංසකස්ස පුරිසපුග්ගලස්ස අවිහිංසා හොති පරිනිබ්බානාය.

විහිංසකස්ස, (අතින් හෝ ගල් දඬු මුගුරු ආදියෙන්) සත්ත්වයන් පෙළන්නා වූ; පුරිසපුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අවිහිංසා, සත්ත්වයන් පෙළීමට නො කැමැති වූ මෛත්‍රී සහගත කුශල චිත්තය; පරිනිබ්බානාය, (ඔහු තුළ පැවති විහිංසා සඞ්ඛ්‍යාත අකුශලය) නිවීම පිණිස; හොති, වේ.

ස්වචිත්ත සන්තානයෙහි දැල්වෙන්නා වූ විහිංසා සඞ්ඛ්‍යාත අකුශලාග්නියෙන් පෙළෙන පුද්ගලයා විසින් අවිහිංසාවයැයි කියන ලද කුශල ධර්මය උපදවා විහිංසාව ප්‍රහාණය කරන ලද්දේ නම්; ඔහුගේ සිත් සතන්හි අවිහිංසාව පවත්නා තුරු විහිංසාවයයි කියන ලද ගින්න නො දැල්වේ. මෙසේ අවිහිංසාවගේ පැවැත්මෙන් විහිංසාවගේ නිවීම තදඞ්ග නිර්වාණයකි. මතු දක්වනු ලබන තදඞ්ග නිර්වාණයෝ ද මේ නයින් දත යුත්තාහු ය.

2. පාණාතිපාතිස්ස පුරිස පුග්ගලස්ස පාණාතිපාතා වේරමණී හොති පරිනිබ්බානාය.

පාණාතිපාතිස්ස, ප්‍රාණවධ කරන්නා වූ (හෙවත් ප්‍රාණවධ කිරීම නමැති අකුශල ධර්මාග්නියෙන් පෙළෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයා හට; පාණාතිපාතා වෙරමණී, ප්‍රාණඝාතයෙන් වැළකීම; (හෙවත් පාණාතිපාතා විරති ශීලමය කුශලය) පරිනිබ්බානාය, ඒ ප්‍රාණවධ කිරීම වූ අකුශලාග්නිය නිවීම පිණිස; හොති, වේ.

3. අදින්නාදායිස්ස පුරිසපුග්ගලස්ස අඳින්නාදානා වෙරමණී හොති පරිනිබ්බානාය.

අදින්නාදායිස්ස, කය වචන දෙකින් නො දෙන ලද මෙරමා වස්තුව පැහැර ගන්නා සුලු වූ (හෙවත් අදින්නාදානමය අකුශලාග්නිය චිත්ත සන්තානයෙහි දැල්වෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අදින්නාදානා වෙරමණී, අදින්නා දානයෙන් වැළකීම; පරිනිබ්බානාය, (ඒ අකුශලාග්නිය) නිවීම පිණිස; හොති, වේ.

4. අබ්‍රහ්මචාරිස්ස පුරිසපුග්ගලස්ස අබ්‍රහ්මචරියා වෙරමණී හොති පරිනිබ්බානාය.

අබ්‍රහ්මචාරිස්ස, මෛථුන සේවනය නමැති ලාමක චරියාවෙහි හැසිරෙන්නා වූ (හෙවත් මෛථුන සේවනය කිරීම නමැති අකුශලාග්නිය ස්වචිත්ත සන්තානයෙහි දැල්වෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අබ්‍රහ්මචරියා වෙරමණී, මෛථුන සේවනය නමැති ලාමක හැසිරීමෙන් වැළකීම (හෙවත් අබ්‍රහ්මචරියා විරති ශීලමය කුශලය); පරිනිබ්බානාය, ඒ අකුශලාග්නිය නිවීම පිණිස; හොති, වේ.

5. මුසාවාදිස්ස පුරිසපුග්ගලස්ස මුසාවාදා වෙරමණී හොති පරිනිබ්බානාය.

මුසාවාදිස්ස, බොරු කියන සුලු වූ (හෙවත් බොරු කීම නමැති අකුශලාග්නිය ස්වචිත්ත සන්තානයෙහි දැල්වෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; මුසාවාදා වෙරමණී, මුසාවාදයෙන් වැළකීම (හෙවත් මුසාවාද විරති ශීලය); පරිනිබ්බානාය, (ඒ අකුශලාග්නිය) නිවීම පිණිස; හොති, වේ.

6. පිසුණාවාචිස්ස පුරිස පුග්ගලස්ස පිසුණාවාචා වෙරමණී හොති පරිනිබ්බානාය.

පිසුණාවාචිස්ස, කේලම් කියන සුලු වූ (හෙවත් කේලම් කීම නමැති අකුශලාග්නිය සිත්හි දැල්වෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; පිසුණාවාචා වෙරමණී. පිසුණාවාචා විරති ශීලය; පරිනිබ්බානාය, ඒ අකුශලය නිවීම පිණිස; හොති, වේ.

7. ඵරුසවාචිස්ස පුරිස පුග්ගලස්ස ඵරුසා වාචා වෙරමණී හොති පරිනිබ්බානාය.

ඵරුස වාචිස්ස, සැඩබස් බිනින සුලු වූ (හෙවත් ස්වචිත්ත සන්තානයෙහි ඵරුස වචන කීම් නමැති අකුශලාග්නිය දැල්වෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; ඵරුසාවාචා වෙරමණී, ඵරුෂ වචනයෙන් වැළකීම; පරිනිබ්බානාය, (ඒ අකුශලාග්නිය) නිවීම පිණිස; හොති, වේ.

8. සම්ඵප්පලාපිස්ස පුරිස පුග්ගලස්ස සම්ඵප්පලාපා වෙරමණී හොති පරිනිබ්බානාය.

සම්ඵප්පලාපිස්ස, නිරර්ථක වචන කියන සුලු වූ (හෙවත් නිරර්ථක වචන කීම නමැති අකුශල ධර්මාග්නිය චිත්ත සන්තානයෙහි දැල්වෙන්නා වූ); පුරිස පුග්ගලස්ස, පුරුෂ පුග්ගලයාහට; සම්ඵප්පලාපා වෙරමණී, සම්ඵප්‍රලාපයෙන් වැළකීම; පරිනිබ්බානාය, ඒ අකුශල ධර්මය නිවීම පිණිස; හොති, වේ.

9. අභිජ්ඣාලුස්ස පුරිස පුග්ගලස්ස අනභිජ්ඣා හොති පරිනිබ්බානාය.

අභිජ්ඣාලුස්ස, පරසම්පත්තියට ආශා කිරීම යයි කියන ලද්දා වූ අභිධ්‍යාව බහුල කොට ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුග්ගලයා හට; අනභිජ්ඣා, පරසම්පත්තිය කෙරෙහි ලෝහ නොවීම; පරිනිබ්බානාය, ඒ අකුශලධර්මය නිවීම පිණිස; හොති, වේ.

10. ව්‍යාපන්න විත්තස්ස පුරිසපුග්ගලස්ස අව්‍යාපාදෝ හොති පරිනිබ්බානාය.

ව්‍යාපන්න චිත්තස්ස, පූතිභූත සිත් ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයා හට; අව්‍යාපාදෝ, අව්‍යාපාදය හෙවත් අදෝෂය; පරිනිබ්බානාය, (ඒ අකුශලධර්මය) නිවීම පිණිස; හොති, වේ.

11. මිච්ඡාදිට්ඨිකස්ස පුරිස පුග්ගලස්ස සම්මා දිට්ඨි හොති පරිනිබ්බානාය.

මිච්ඡාදිට්ඨිකස්ස, පාපදෘෂ්ඨි ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මාදිට්ඨි, සම්‍යදෘෂ්ටිය; පරිනිබ්බානාය, (ඒ අකුශල ධර්මය) නිවීම පිණිස; හොති, වේ.

12. මිච්ඡා සඞ්කප්පස්ස පුරිස පුග්ගලස්ස සම්මා සඞ්කප්පෝ හොති පරිනිබ්බානාය.

මිච්ඡා සඞ්කප්පස්ස, මිථ්‍යා කල්පනා ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මා සඞ්කප්පො, සම්‍යක් කල්පනාව; පරිනිබ්බානාය, (ඒ අකුශල ධර්මය) නිවීම පිණිස; හොති, වේ.

13. මිච්ඡාවාචස්ස පුරිස පුග්ගලස්ස සම්මාවාචා හොති පරිනිබ්බානාය.

මිච්ඡාවාචස්ස, මිථ්‍යා වචන ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මා වාචා, යහපත් වචන කීම නමැති සම්‍යග්වාචා කුශලය; පරිනිබ්බානාය, (ඒ අකුශල ධර්මය) නිවීම පිණිස; හොති, වේ.

14. මිච්ඡාකම්මන්තස්ස පුරිස පුග්ගලස්ස සම්මා කම්මන්තෝ හොති පරිනිබ්බානාය.

මිච්ඡාකම්මන්තස්ස, මිථ්‍යා කර්ම ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයා හට; සම්මා කම්මන්තෝ, යහපත් කර්ම කරනු කැමති සම්‍යග් කර්මාන්ත කුශලය; පරිනිබ්බානාය, (ඒ අකුශලය) නිවීම පිණිස; හොති, වේ.

15. මිච්ඡා ආජීවස්ස පුරිස පුග්ගලස්ස සම්මා ආජීවො හොති පරිනිබ්බානාය.

මිච්ඡා ආජීවස්ස, මිථ්‍යා ආජීවය ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයා හට; සම්මා ආජීවො, මොනවට ජීවත් වීමට කරුණු වූ සම්‍යගාජීව කුශලය; පරිනිබ්බානාය, (ඒ අකුශල ධර්මය) නිවීම පිණිස; හොති, වේ.

16. මිච්ඡාවායාමස්ස පුරිස පුග්ගලස්ස සම්මා වායාමෝ හොති පරිනිබ්බානාය.

මිච්ඡාවායාමස්ස, මිථ්‍යා ව්‍යායාමය ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස පුරුෂ පුද්ගලයාහට; සම්මා වායාමෝ, සම්‍යක් ව්‍යායාම කුශලය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

17. මිච්ඡාසතිස්ස පුරිසපුග්ගලස්ස සම්මා සති හොති පරිනිබ්බානාය.

මිච්ඡාසතිස්ස, අකුශල ධර්ම සිහිකිරීම නමැති සතර අකුශල ස්කන්ධයන් ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මා සති, සම්‍යක් ස්මෘතිය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

18. මිච්ඡාසමාධිස්ස පුරිසපුග්ගලස්ස සම්මා සමාධි හොති පරිනිබ්බානාය.

මිච්ඡා සමාධිස්ස, මිථ්‍යා ධර්මයන්හි එකඟ බව නමැති මිථ්‍යා සමාධිය ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මා සමාධි, සම්‍යක් සමාධිය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

19. මිච්ඡාඤාණිස්ස පුරිස පුග්ගලස්ස සම්මා ඤාණං හොති පරිනිබ්බානාය.

මිච්ඡාඤාණිස්ස, අකුශල ක්‍රියාවෙහි උපාය චින්තන වශයෙන් පැවති මිථ්‍යා ඥානය ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මාඤාණං, සම්‍යක් ඥානය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති,වේ.

20. මිච්ඡාවිමුත්තිස්ස පුරිසපුග්ගලස්ස සම්මා විමුත්ති හොති පරිනිබ්බානාය.

මිච්ඡා විමුත්තිස්ස, මිථ්‍යා විමුක්තිය ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සම්මා විමුත්ති, සම්‍යක් විමුක්තිය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

21. ථීනමිද්ධ පරියුට්ඨිතස්ස පුරිස පුග්ගලස්ස විගත ථිනමිද්ධතා හොති පරිනිබ්බානාය.

ථිනමිද්ධ පරියුට්ඨිතස්ස, ථිනමිද්ධයෙන් මඩනා ලද; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; විගත ථිනමිද්ධතා, පහ වූ ථිනමිද්ධ ඇති බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

22. උද්ධතස්ස පුරිස පුග්ගලස්ස අනුද්ධච්චං හොති පරිනිබ්බානාය.

උද්ධතස්ස, අරමුණෙහි විසිර පවත්නා සිත් ඇති; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අනුද්ධච්චං, ඖද්ධත්‍යයාගෙන් වෙන් වීම; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

23. වේචිකිච්ඡස්ස පුරිස පුග්ගලස්ස තිණ්ණ විචිකිච්ඡතා හොති පරිනිබ්බානාය.

වේචිකිච්චස්ස, බුද්ධාදි අටතැන්හි සැක ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; තිණ්ණ විචිකිච්ඡතා, විචිකිච්ඡාවෙන් එතර වූ බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

24. කොධනස්ස පුරිස පුග්ගලස්ස අක්කොධො හොති පරිනිබ්බානාය.

කොධනස්ස, ක්‍රෝධ කරන්නා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අක්කොධො, ක්‍රෝධ නො කිරීම; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

25. උපතාහිස්ස පුරිස පුග්ගලස්ස අනුපනාහො හොති පරිනිබ්බානාය.

උපනාහිස්ස, වෛර බඳින ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අනුපනාහො, වෛර නො බැඳීම; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

26. මක්ඛිස්ස පුරිස පුග්ගලස්ස අමක්ඛො හොති පරිනිබ්බානාය.

මක්ඛිස්ස, ගුණවතුන්ගේ ගුණ මකන ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අමක්ඛෝ, ගුණමකු නොවීම; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

27. පලාසිස්ස පුරිස පුග්ගලස්ස අපලාසො හොති පරිනිබ්බානාය.

පලාසිස්ස, මෙරමාගේ ගුණ අවගුණ කරන ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අපලාසො, පලාසයෙන් වෙන් වීම; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

28. ඉස්සුකිස්ස පුරිස පුග්ගලස්ස අනිස්සා හොති පරිනිබ්බානාය.

ඉස්සුකිස්ස, ඊර්ෂ්‍යා කරන ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අනිස්සා, ඊර්ෂ්‍යා නො කිරීම; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති,වේ.

29. මච්ඡරියස්ස පුරිස පුග්ගලස්ස අමච්ඡරියං හොති පරිනිබ්බානාය.

මච්ඡරියස්ස, මසුරු ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අමච්ඡරියං, මසුරු ස්වභාවයේ අභාවය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති ,වේ.

30. සඨස්ස පුරිස පුග්ගලස්ස අසාඨෙය්‍යං හොති පරිනිබ්බානාය.

සඨස්ස, කෛරාටික වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අසාඨෙය්‍යං, කෛරාටික ස්වභාවයෙන් වෙන් වූ බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

31. මායාවිස්ස පුරිස පුග්ගලස්ස අමායාවිතා හොති පරිනිබ්බානාය.

මායාවිස්ස, මෙරමා රවටන ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අමායාවිතා, රවටන ස්වභාවයාගේ නැති බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

32. ථද්ධස්ස පුරිස පුග්ගලස්ස අත්ථද්ධියං හොති පරිනිබ්බානාය.

ථද්ධස්ස, තද ස්වභාව ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට, අත්ථද්ධියං, නො තද බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

33. අතිමානිස්ස පුරිස පුග්ගලස්ස අනතිමානො හොති පරිනිබ්බානාය.

අතිමානිස්ස, අධික මානය ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අනතිමානො, අනතිමානය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

34. දුබ්බචස්ස පුරිස පුග්ගලස්ස සොවචස්සතා හොති පරිනිබ්බානාය.

දුබ්බචස්ස, දුර්වචවූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; සොවචස්සතා, සුවච බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති. වේ

35. පාපමිත්තස්ස පුරිසපුග්ගලස්ස කළ්‍යාණමිත්තතා හොති පරිනිබ්බානාය.

පාපමිත්තස්ස, පාප මිත්‍රයන් ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; කල්‍යාණමිත්තතා, කල්‍යාණ මිත්‍රයන් ඇති බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

36. පමත්තස්ස පුරිස පුග්ගලස්ස අප්පමාදෝ හොති පරිනිබ්බානාය.

පමත්තස්ස, ප්‍රමාද වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අප්පමාදෝ, අප්‍රමාදය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

37. අස්සද්ධස්ස පුරිස පුග්ගලස්ස සද්ධා හොති පරිනිබ්බානාය.

අස්සද්ධස්ස, ශ්‍රද්ධාව නැත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට, සද්ධා, ශ්‍රද්ධාව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

38. අහිරිකස්ස පුරිස පුග්ගලස්ස හිරි හොති පරිනිබ්බානාය.

අහිරිකස්ස, ලජ්ජා නැත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; හිරි; ලජ්ජාව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

39. අනොත්තප්පිස්ස පුරිස පුග්ගලස්ස ඔත්තප්පං හොති පරිනිබ්බානාය.

අනොත්තප්පිස්ස, පව් කිරීමට භය නැත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; ඔත්තප්පං, පාපයෙහි භය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

40. අප්පස්සුතස්ස පුරිස පුග්ගලස්ස බාහුසච්චං හොති පරිනිබ්බානාය.

අප්පස්සුතස්ස, අල්පශ්‍රැත වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; බාහුසච්චං, බහුශ්‍රැත බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

41. කුසීතස්ස පුරිස පුග්ගලස්ස විරියාරම්හො හොති පරිනිබ්බානාය.

කුසීතස්ස, කුසීත වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; විරියාරම්භෝ, වීර්‍ය්‍යාරම්භය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

42. මුට්ඨස්සතිස්ස පුරිස පුග්ගලස්ස උපට්ඨිත සතිතා හොති පරිනිබ්බානාය.

මුට්ඨස්සතිස්ස, මුළා වූ සිහි ඇත්තා වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; උපට්ඨිතසතිතා, එළඹ සිටි සිහි ඇති බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

43. දුප්පඤ්ඤස්ස පුරිස පුග්ගලස්ස පඤ්ඤාසම්පදා හොති පරිනිබ්බානාය.

දුප්පඤ්ඤස්ස, දුෂ්පාඥ වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයා හට; පඤ්ඤාසම්පදා, ප්‍රඥාසම්පත්තිය; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

44. සන්දිට්ඨපරාමාසි ආදානගාහි දුප්පටි නිස්සග්ගිස්ස පුරිස පුග්ගලස්ස අසන්දිට්ඨ පරාමාසි අනාදානගාහි සුප්පටි නිස්සග්ගිතා හොති පරිනිබ්බානාය.

සන්දිට්ඨ පරාමාසී ආදානගාහි දුප්පටි නිස්සග්ගිස්ස, තමා විසින් දක්නා ලද වරදවා ගත් දෘෂ්ටිය ම පරාමර්ශනය කරන සුලු වූ, දැඩි කොට ගන්නා සුලු වූ අත් හැරීමට දුෂ්කර වූ; පුරිස පුග්ගලස්ස, පුරුෂ පුද්ගලයාහට; අසන්දිට්ඨ පරාමාසි අනාදානගාහී සුප්පටිනිස්සග්ගිතා, තමා විසින් වරදවා ගන්නා ලද දෘෂ්ටිය පරාමර්ශනය නො කිරීම, දැඩි කොට නො ගැනීම, සුවසේ අත්හැරිය හැකි බව; පරිනිබ්බානාය, නිවීම පිණිස; හොති, වේ.

මේ සල්ලේඛ සූත්‍රයෙහි දේශනා කොට තිබෙන තදඞ්ග නිර්වාණ (44) සිව්සාළිසයි. මේ උප ලක්‍ෂණ වශයෙන් දක්වන ලද ස්වල්පයක් පමණකි. සත්ත්ව සන්තානයන්හි උපදනා වූ අකුශල ධර්මයෝ අනන්තාපරිමාණ වෙති. එසේ ම ඔවුන්ගේ ප්‍රහාණයට හේතු වන කුශල ධර්මයෝ ද අනන්තාපරිමාණ වෙති. එහෙයින් කුශල ධර්මයන්ගේ වශයෙන් ප්‍රහාණය කිරීමෙන් නිවී යන්නා වූ අකුශල ධර්මයන්ගේ වශයෙන් අනන්තා පරිමාණ තදඞ්ග නිර්වාණයෝ වෙත්. මේ අකුශල ධර්මයන්ගේ නිවීම ද සත්ත්වයන්ගේ චිත්ත සන්තානයෙහි ම වන බැවින් තදඞ්ග නිර්වාණය ද කාය ඥානද්වයෙන් ස්පර්ශ කළ හැකි වූ පරමාර්ථ ධර්මයකි. එහි වටිනාකම ද ප්‍රමාණ කළ හැකි නොවේ. බුද්ධාදි උත්තමයන් වහන්සේලා විසින් බොහෝ ප්‍රශංසා කරන ලද්දා වූ ද සඞ්ඛත ධාතු සඞ්ඛ්‍යාත මහා නිර්වාණ පක්‍ෂයෙහි සිටියා වූ ද මේ තදඞ්ග නිර්වාණය යට දක්වන ලද සම්මුති නිර්වාණයට වඩා සත සහස්‍ර ගුණයකින් ශ්‍රේෂ්ඨ ධර්මයකි.

තදඞ්ග නිර්වාණය නිමි.