චතුර්ථාචාර්‍ය්‍ය වාද විනිශ්චය හෙවත් සෝපාදිශේෂ විනිශ්චය

සෝපාදිශේෂ නිර්වාණය ලැබිය හැක්කේ රහතුන්ට ම යයි කියන්නෝ, එසේ ප්‍රකාශ කරන්නේ නිර්වාණයත් නාම රූප ධාතූන් වැනි වූවාක් යයි සැලකීමෙනි. නිර්වාණය නම් ක්ලේශ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධයයි. එසේ නොව නාමරූප ධාතූන් සේ විද්‍යමාන ධර්මයක් යයි ගන්නා වූ පරවාදීන්ට එබඳු නිවනක් ඇති බව ඔප්පු කළ නොහේ. කුමක් හෙයින්ද යතහොත් එබඳු නිවනක් ඇතත් එය කිසි ආකාරයකින් කිසිවකු විසින් ලැබිය හැකි නො වූද එහි සත්ත්වයන් නොමැති බැවින් කිසි සත්ත්වයකුගේ ප්‍රතිෂ්ඨාව නො වන්නා වූ නිරර්ථක ධර්මයක් ද වන බැවිනි. ක්ලේශ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ම නිර්වාණයැයි දැක්වීමෙන් ම එය ලැබිය හැකි ධර්මයක් බව හා සත්ත්වයන්ට ප්‍රතිෂ්ඨා වන ධර්මයක් බව ද දැක්විය හැකි වේ. ඒ සම්බන්ධව කිවයුතු කරුණු ප්‍රථම පරිච්ඡේදයේ විස්තර කරන ලදී. අර්හත් මාර්ගයාගේ උත්පත්ති සමයෙහි හා අන්‍ය මාර්ගයන්ගේ උත්පත්ති සමයයන්හි ද ක්ලේශ ස්කන්ධයෝ නිරුද්ධ වෙති. නමුත් විශාල ලෙස නිරෝධය වන්නේ සෝවාන් මාර්ගයාගේ උත්පත්ති සමයෙහි ය. එය අර්හත් මාර්ගක්‍ෂණයේදී සිදුවන නිරෝධයට වඩා දහස් වාරයකින් දස දහස් වාරයකින් ලක්‍ෂවාරයකින් කෝටි වාරයකින් විශාල වූවකි. ඒ බව කියනු ලබන සූත්‍රයෙන් දතයුතු.

ඒවං මෙ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. අථ ඛෝ භගවා පරිත්තං නඛ සිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛු ආමන්තේසි, තං කිම්මඤ්ඤථ භික්ඛවේ! කතමං නු ඛො බහුතරං යොචායං මයා පරිත්තො පංසුං නඛසිඛායං ආරොපිතො. අයං වා මහා පඨවීති. එතදෙව භන්තෙ බහුතරං යදිදං මහා පඨවි අප්පමත්තකො භගවා නඛ සිඛායං පංසුං ආරොපිතො. සො නෙව සතිමං කලං උපෙති. න සහස්සිමං කලං උපෙති. න සතසහස්සිමං කලං උපෙති. මහා පඨවි උපනිධාය භගවා පරිත්තො නඛසිඛාය පංසුං ආරොපිතෝති. එවමේව ඛො භික්ඛවේ! අරියසාවකස්ස දිට්ඨප්පත්තස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදේව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛීණං පරියාදින්නං අප්පමත්තකං අවසිට්ඨං නෙව සතිමං කලං උපෙති. න සහස්සිමං කලං උපෙති. න සතසහස්සිමං කලං උපෙති. පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදිදං සත්තක්ඛත්තු පරමතා එවං මහත්ථියො ඛො භික්ඛවේ! ධම්මාභිසමයො එවං මහත්ථියො ඛො භික්ඛවේ ධම්ම චක්ඛු පටිලාහොති.

මෙහි සංක්ෂේප අදහස මෙසේය. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ නිය මතුයෙහි ධූලි ස්වල්පයක් තබා භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට මහණෙනි! මාගේ මේ නිය පිට තිබෙන ධූලි වලින් හා මහා පෘථිවියේ පස් වලින් කවරක් අධිකතර වේදැයි විචාළ සේක. එකල්හි භික්ෂූහු ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! නුඹ වහන්සේගේ නිය පිට තිබෙන ධූලි වලට වඩා මහා පෘථිවියේ පස් ඉතා අධිකය. නිය මතුයෙහි ධූලි මහා පෘථිවියේ සියක් වෙනි කලාවටද දහස් වෙනි කලාවටද සිය දහස් වෙනි කලාවටද නොපොහොනේයැයි සැලකළාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි! එපරිද්දෙන්ම දක්නා ලද චතුස්සත්‍යන් ඇත්තා වූ සත් වරක් ඉපදීම ඇත්තා වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාට ක්‍ෂය වූ සංසාර දුඃඛය ඉතා මහත්ය. සේස දුඃඛය ඉතා ස්වල්පය. එය ක්‍ෂය වූ දුඃඛයේ සිය වෙනි කලාවටද දහස් වෙනි කලාවටද සිය දහස් වෙනි කලාවටද නොපොහොනේය. මහණෙනි! ධර්මාභිසමය – ධර්ම චක්‍ෂු ප්‍රතිලාභය මෙසේ මහත් වූ අර්ථදායකය යනුයි. මාර්ගත්‍රයෙන් ම නිරුද්ධ වන්නේ නිය පිට තබන ලද ධූලි ස්වල්පයට උපමා කරන ලද සෝවාන් පුද්ගලයා හට ශේෂ වූ දුඃඛයයි. එයින් අර්හත් මාර්ගක්‍ෂණයෙහි වන ක්ලේශස්කන්ධ නිරෝධයාගේ අල්පත්ත්වය දත යුතු.

දුඃඛයෝ නිවනට නො පැමිණ කිසිසේත් නිරුද්ධ නොවෙති. නිවන ලබා ගැනීමට උත්සාහ කළ යුතු වන්නේ දුක් නැති කර ගැනීම පිණිස ය. ඉදින් නිවනට නො පැමිණත් දුඃඛයෝ නිරුද්ධ වෙත් නම් නිවන නිරර්ථක ධර්මයක් ම ය. ඉදින් පරවාදීහු නිවන සාර්ථක බව දැක්වීමට නිවනට පැමිණීමෙන් ම දුඃඛයෝ නිරුද්ධ වෙතියයි කියතහොත් සෝවාන් පුද්ගලයා නිවනට පැමිණියේයැයි

නො කියා ම කීවාහු වෙති. සෝවාන් පුද්ගලයාට මේ සා මහත් වූ දුඃඛ නිරෝධයක් වූයේ ඔහු නිවනට පැමිණි බැවින් ම ය. එක් එක් මාර්ගයක් දුඃඛ සත්‍යය පරිජානනාදි වූ සිව්කිසක් කරන්නේ ය. අර්හත් මාර්ගයෙන් පමණක් කරන්නා වූ නිවනට පැමිණීම නමැති වෙන් වූ කිසක් ඇති බව ආගම ධර්මයේ දක්වා නැත්තේ ය. එබැවින් සෝවාන් මාර්ගයාගේ උත්පත්ති සමයෙහි සෝවාන් පුද්ගලයා නිවනට නො පැමිණියේ නම් ඉතාම ස්වල්පයක් දුක් නැති කරන්නා වූ අර්හත් මාර්ගයාගේ පහළවීමෙහි අර්හත් පුද්ගල තෙමේ නිවනට කිසිසේත් නො පැමිණෙන්නේ ය. විශාල වූ දුඃඛස්කන්ධයක් නිරුද්ධ වීමෙනුත් නො පැමිණියා වූ නිවනට ඉතා ස්වල්පයක් වූ දුඃඛයන්ගේ නිරෝධයට පැමිණෙන අර්හත් පුද්ගලයා පැමිණේ යයි කීම යුක්ති යුක්ත නොවේ. පරවාදීහු නිවන ක්ලේශයන්ගෙන් මුක්ත වූ බව වදාරන ලද දේශනා දක්වමින් ක්ලේශයන්ගෙන් මුක්ත වූ නිවනට කෙලෙස් සහිත වූ සෝවාන් පුද්ගලාදීන්ට පැමිණිය හැකි නොවේ යයි කියති. නමුත් එයින් ද ඔවුහු පිහිටක් නො ලබති. දුක් සහිත වූ රහත්හු දුඃඛයෙන් මුක්ත වූ නිවනට පැමිණෙන බව ඔවුහු ම කියන හෙයිනි. කෙලෙස් රහිත වූ නිවනට කෙලෙස් සහිත වූ ආර්‍ය්‍යයන්ට නො පැමිණිය හැකි වේ නම් දුක් රහිත වූ නිවනට ද දුක් සහිත අර්හත් පුද්ගලයා පැමිණේයැ යි කීම ද යුක්ති යුක්ත නොවේ.

නිවනට පැමිණ එහි සිටින්නා වූ පුද්ගලයෙක් නැත්තේය. හුදෙක් ව්‍යවහාර පහසුව සඳහා පුද්ගලයා සම්බන්ධ ක්ලේශස්කන්ධයන්ගේ නිරෝධයට පුද්ගලයාගේ නිවනට පැමිණීමයයි කියනු ලැබේ. අර්හත් පුද්ගලයා නිවනට පැමිණියේයයි කියන්නේ ඔහුගේ ක්ලේශස්කන්ධයන්ගේ නිවීමට පැමිණීමට ය. අර්හත් පුද්ගලයාට මෙන් සෝතාපන්නාදීන්ටත් ක්ලේශස්කන්ධයන් නිරුද්ධවන බැවින් ඔවුහුද අර්හත් පුද්ගලයා මෙන් ම නිවනට පැමිණියෝ වෙති. නිවනට පැමිණීම කෙබඳු පැමිණීමක්දැ යි නොදැන ඝෝෂා කරන්නා වූ පරවාදීන්ට එය තේරුම් ගැනීමට පැමිණීම් ගැන සංක්‍ෂේප විස්තරයක් කරනු ලැබේ. පැමිණීම් ක්‍රියාව වනාහි කර්තෘ කෙනකුගෙන් හා කර්මයකින් යුක්ත විය යුතු ක්‍රියාවකි. එය කර්තෘ කර්මයන්ගේ වශයෙන්:

  1. කර්මයක් කරා කර්තෘගේ යෑම ඇති පැමිණීමය.
  2. කර්මයේ කර්තෘ කරා ඊම ඇති පැමිණීමය.
  3. යාම් ඊම් නැත්තා වූ පැමිණීමය.
  4. පැමිණීමෙන් කර්තෘගේ පහළවීම ඇත්තා වූ පැමිණීමය.
  5. පැමිණීමෙන් කර්තෘ විනාශවන පැමිණීමය.

යන ආදී වශයෙන් බහු ප්‍රභේද වේ. මෙයින් පළමුවන පැමිණීමට උදාහරණ නම්, ගෙට පැමිණීමයි. ගෙට පැමිණීම සිදු වන්නේ කර්තෘ ගෙය කරා යාමෙනි. දෙවෙනි පැමිණීමට උදාහරණ නම්, පණ්ඩිත බවට පැමිණීමයි. පණ්ඩිත බව නම් ඥානයයි. මෙහි ඥාන සඞ්ඛ්‍යාත කර්මය කරා කර්තෘ නොගොස් පහළවීම් වශයෙන් කර්‍මය වූ ඥානය කර්තෘ වූ පණ්ඩිතයා කරා ඊමෙන් ම පැමිණීම සිදු වේ. තුන්වන පැමිණීමට උදාහරණ නම්, සහල් බත් බවට පැමිණීමයි. මෙය සහල් වල බත් කරා යාමක් හෝ බත් සහල් කරා ඒමක් හෝ නොමැතිව සිදු වේ. සතරවන පැමිණීමට උදාහරණ නම්, විපතක් පැමිණීම යි. විපත නම් දුකකි. එය පැමිණීමට පෙර නො තිබී පැමිණීමෙන් ම පහළ වීමෙන් පැමිණීම සිදු වේ. පස්වන පැමිණීමට උදාහරණ නම්, ගින්න, නිවීමට පැමිණීමයි. මෙය ගින්න නමැති කර්තෘ ඇතිතාක් සිදු නොවී කර්තෘ විනාශ වීමෙන් ම සිදු වේ.

මේ පැමිණීම් අතුරෙන් නිවනට පැමිණීම පශ්චිමොක්ක පැමිණීමට සමාන පැමිණීමකි. එබැවින් සර්වඥයන් වහන්සේ විසින් “අච්චි යතා වාතවෙගෙන ඛිත්තා අත්ථං පලෙති න උපෙති සඞ්ඛ්‍යං” යි අග්න්‍යෝපමාවෙන් නිර්වාණයට පැමිණීම වදාරන ලදී. “මෙසේ ගින්න නිවීමට පැමිණේ ය.’ යන මෙහි “නිවීම, පැමිණීම” යන වචන දෙකින් ම ප්‍රකාශ කරන්නේ “නිවුනේය” යන එක වචනයෙන් ප්‍රකාශ වන්නා වූ අර්ථය ම ය. නිවීමෙන් අන්‍ය වූ පැමිණීමක් ඒකාන්තයෙන් නැති බැවිනි. මෙසේ ම නිවනට පැමිණේය යන වචන දෙකින් ප්‍රකාශ කරන්නේත් නිරෝධයයි කියන ලද එක ම අර්ථයයි. එබැවින් ක්ලේශ ස්කන්ධයන්ගේ නිරෝධය ම නිවනට පැමිණීමයයි දතයුතු. මෙසේ නොව නිවනත් පැමිණීමත් දෙකක් කොට ගතහොත් නිවනත් සත්ත්වයන් ඇත්තා වූ හෙවත් ස්කන්ධයන් ඇත්තා වූ ස්ථානයක් වීමෙන් මහත් වූ දෝස පැමිණෙත්. මෙසේ නිවනට පැමිණෙන ආකාරය සලකා බලන කල ප්‍රමාණ කළ නොහැකි තරම් මහත් වූ දුඃඛ ස්කන්ධයක නිරෝධය ලැබුවා වූ සෝවාන් පුද්ගලාදීහු නිවනට පැමිණියවුන් බව මනාව වැටහේ.

තවද සකලාර්‍ය්‍ය පුද්ගලයන් විසින් ම නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දන්නා ලද බව නොයෙක් පාල්‍යාර්ථ කථා ටීකාවන්හි දක්වා තිබේ. මෙය වාද රහිතව සියල්ලන් විසින් ම පිළිගත්තා වූ කාරණයකි. නිවනට නො පැමිණියා වූ නිවන නො ලැබුවා වූ පුද්ගලයකුට එය කිසිසේත් ප්‍රත්‍යක්‍ෂ කළ හැකි ධර්මයක් නෙවේ. ඒ බව කියනු ලබන උපමාවෙන් දතයුතු. යමකුගේ ශරීරය ගින්නෙන් දැවේ නම් එකල්හි ඔහුගේ ශරීරයෙහි මහත් වූ දුඃඛ වේදනා හට ගන්නාහු ය. නමුත් ඒ දුක ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දත හැක්කේ ඔහුට පමණෙකි. එය දුටුවා වූද ඇසුවා වූද පුද්ගලයන්ට ඒ දුක අනුමාන වශයෙන් ම මිස ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දතහැකි නොවේ.

කුමක් හෙයින්ද යතහොත් තමා එය නො ලැබූ හෙයිනි. ඊට නො පැමිණි හෙයිනි. එපරිද්දෙන් ම නිවන ද නො ලැබුවාවූ නො පැමිණියා වූ පුද්ගලයකුට ප්‍රත්‍යක්‍ෂ කළ නොහේ. එබැවින් විභඞ්ග මූලටීකාවෙහි:

“නහි අඤ්ඤා ධම්මා විය නිබ්බානං, තං පන අතිගම්භීරත්තා අප්පත්තේන ආලම්බිතුං න සක්කා” යි කීහ.

නිර්වාණය අන්‍ය ධර්මයන් මෙන් නොවේ. ඒ වනාහි ඉතා ගැඹුරු බැවින් නො පැමිණියා වූ පුද්ගලයකුට අරමුණු කළ හැකි නොවේය යනු භාවයි.

කරුණු මෙසේ හෙයින් නිර්වාණයට වඩා සිය දහස් වාරයකින් ඖදාරික වූ දුඃඛ වේදනාව පවා නො ලැබූ තැනැත්තන්ට ප්‍රත්‍යක්‍ෂ කළ හැකි නො වන කල්හි අති සූක්‍ෂම වූ නිර්වාණ ධර්මය නො පැමිණිය වුන්ට කෙසේ ප්‍රත්‍යක්‍ෂ වේද? නොවේ ම ය. එබැවින් මාර්ග ඵලාධිගමය කොට නිවන් පසක් කරන ලද සියල්ලෝ ම නිවනට පැමිණියවුන් බව දතයුතු.

මේ සෝතාපන්නාදීන්ගේ නිර්වාණප්‍රාප්තිය ධර්ම ස්වභාවයාගේ වශයෙන් දැක්වීමයි.

දැන් පාල්‍යාර්ථ කථා ටීකාවන්හි සෝතාපන්නාදීන්ගේ නිර්වාණ ප්‍රාප්තියක් දක්වා නැත යයි ඝෝෂා කරන්නවුන් ගේද පාල්‍යාර්ථ කථා ටීකාවන්ගෙන් නොදැක්වුවහොත් පිළිගත නොහේ යයි කියන්නවුන්ගේද අර්ථය පිණිස පාල්‍යාර්ථ කථා ටීකාවන්හි දක්වා තිබෙන සැටි දක්වනු ලැබේ. සෝවාන් පෙලෙහි පිහිටියා වූ සිරිමා නම් දෙව් දුව තමා නිවන ලබා ප්‍රීතිවෙමින් සිටින බව ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේට සැලකළ බව විමාන වස්තු පාලියෙන් දක්නා ලැබේ. ඒ මෙසේයි,

“ලද්ධානහං අමතවරං විසෙසනං

එකංසිකා අභිසමයෙ විසෙසිය

අසංසයා බහුජන පූජිතා අහං

ඛිඩ්ඩාරතිං පච්චනුභොමි නප්පකං”

මම පෘථග්ජනයන්ට විශිෂ්ඨ භාවය සිද්ධ කරන්නා වූ උතුම් නිර්වාණය ලබා භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, ධර්මය ස්වාක්ඛාතය, සඞ්ඝයා සුප්‍රතිපන්නය යි රත්නත්‍රය විෂයෙහි ඒකාන්ත ඇදහීම ඇත්තී චතුඃසත්‍ය ප්‍රතිවේද සඞ්ඛ්‍යාත විශේෂයට පැමිණ ෂෝඩෂ වස්තුක අෂ්ට වස්තුක විචිකිත්සාවගේ නිරෝධයෙන් පහ වූ ශංකා ඇත්තී අන්‍යයන් විසින් ප්‍රාර්ථනීය වූ ගුණ විශේෂ ඇත්තී, අනල්ප වූ ක්‍රීඩා රතිය අනුභව කරමිය යනු මෙහි අදහසයි. ඇතැම් අයට මෙයින් දක්වන්නේ අරමුණු කිරීම් වශයෙන් පැමිණීම යයි කිය හැකි වේ. එය එසේ නො වන බව ඊට පළමුව සිරිමාව විසින් කියන ලද:

“ඤත්වානහං විරජපදං අසඞ්ඛතං

තථාගතේන නධිවරෙන දෙසිතං

තත්ථෙවාහං සමථ සමාධි මාථුසිං

සායෙව මෙ පරම නියාමතා අහු”

යනුවෙන් අරමුණු කිරීම දක්වන ලද බැවින් ස්ඵුට වේ. තවද සෝවාන් පෙලෙහි පිහිටියා වූ රජ්ජුමාලා නම් වූ දෙව්දුව තමා නිවනට පැමිණි බව ආයුෂ්මත් මහා මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේට සැලකරන ලද බව ද විමාන වස්තු පාලියේ දක්නා ලැබේ. ඒ මෙසේයි,

“අනුකම්පකස්ස කුසලස්ස ඔවාදම්හි අහං ඨිතා

අජ්ඣගා අමතං සන්ති නිබ්බානං පදමච්චුතං”

ත්‍රිවිධ ලෝකවාසීන්ට අනුකම්පා කරන සුලු වූ වෛනේය ජන විනය නයෙහි දක්‍ෂ වූ සර්වඥයන් වහන්සේගේ අවවාදයෙහි පිහිටියා වූ මම මරණයක් නැති බැවින් අමත නම් වූ සකල දුඃඛයන්ගෙන් මිදුන බැවින් ශාන්ත වූ නිර්වාණ පදයට ගියෙමි යනු භාවයි. ඉදින් මේ දිව්‍යාඞ්ගනාවෝ නිවනට නො පැමිණියාහු නම් මහ රහතන් වහන්සේලා ඉදිරියේ මෙසේ ප්‍රකාශ නො කරන්නාහු ය. එබැවින් යථෝක්ත ගාථාවන්ගෙන් සෝවාන් පුද්ගලයෝ නිවනට පැමිණියවුන් බව පැහැදිලි වේ. සෝවාන් පුද්ගලයා නිවනට පැමිණි කල අන්‍ය ආර්‍ය්‍ය පුද්ගලයන් ගැන කිවයුත්තක් නැත්තේ ය. මේ පාලියගේ වශයෙන් සකලාර්‍ය්‍ය පුද්ගලයන්ගේ ම නිර්වාණප්‍රාප්තිය දැක්වීමයි.

“පටිවිද්ධ ධම්ම සභාවානං සෙඛාසෙඛානං පතිට්ඨාන ගොචර නිවාසට්ඨානට්ඨෙන නිබ්බානං නගරන්ති වුච්චති” යනුවෙන් බුද්ධ වංශාර්ථකථාවෙහි නිවන ප්‍රතිවේධ කරන ලද ධර්මස්වභාවය ඇත්තා වූ ශෛක්‍ෂාශෛක්‍ෂයන්ගේ නිවාසස්ථානයයි දක්වන ලදී. ශෛක්‍ෂයෝ නම් අර්හත් ඵලස්ථයාගෙන් අන්‍යවූ ආර්‍ය්‍ය පුද්ගලයෝ ය. අශෛක්‍ෂයෝ නම් අර්හත් ඵලස්ථයෝ ය. ඉදින් ශෛක්‍ෂයෝ නිවනට පැමිණියාහු නොවෙත් නම් නිවන ඔවුන්ගේ වාසස්ථානයක් නොවේ. එය ශෛක්‍ෂයන්ගේත් වාසස්ථානයයි දක්වන ලද්දේ ඔවුහු නිවනට පැමිණිය වුන් නිසාම ය. එබැවින් මේ අටුවා වචනයෙන් ද සකලාර්‍ය්‍යයෝ ම නිවනට පැමිණියවුන් බව දැක්වේ. “නහි අඤ්ඤා ධම්මා විය නිබ්බානං, තං පන අතිගම්භීරත්තා අප්පත්තෙ ආලම්බිතුං න සක්කා” යන විභඞ්ග මූලටීකා වැකියෙන්ද ඒ බව දැක්වේ. මේ අටුවා ටීකා නයින් දැක්වීමයි.

මෙසේ ශාස්ත්‍ර යුක්ති වශයෙන් හා පාල්‍යාර්ථකතා ටීකා නයින් ද බලන කල සෝතාපන්නාදි වූ ආර්‍ය්‍ය පුද්ගලයෝ සියල්ලෝ ම නිවනට පැමිණියවුන් බව මොනවට ඔප්පු වේ. සෝතාපන්නාදීන්ගේ නිර්වාණ ප්‍රාප්තිය ප්‍රතික්‍ෂේප කිරීමෙන් යට දැක්වූ පාල්‍යාර්ථකථා ටීකා පාඨයන් ප්‍රතික්‍ෂේප කරන්නට වීමය, නිවනට නො පැමිණ ද දුඃඛ නිරෝධය මෙන් නිර්වාණය නිරර්ථක වීමය, සකලාර්‍ය්‍යයෝ ම නිවන් පසක් කළාහු නො වීම ය යන ආදි බොහෝ දෝෂයෝ වෙත්. එය පිළිගැනීමෙන් වන්නා වූ එක ද දෝෂයක් නැත්තේ ය. සෝපාදිශේෂ නිර්වාණය, අනුපාදිශේෂ නිර්වාණය යන දෙකින් සෝතාපන්නාදීන් විසින් ලබන ලද නිවන කවරක්ද යතහොත් සෝපාදිශේෂ නිර්වාණයයි. එසේ නම් ඉතිවුත්තකයෙහි අර්හත් පුද්ගලයාගේ ක්ලේශක්‍ෂයය සෝපාදිශේෂ නිර්වාණයයි වදාරන ලද්දේ කුමටද යතහොත් අර්හත් පුද්ගලයාගේ ක්ලේශක්‍ෂයය නිර්වාණයයි කී කල්හි සෝතාපන්නාදීන්ගේ ක්ලේශක්‍ෂයය ද නිර්වාණය බව දතහැකි හෙයිනි. අර්හත් පුද්ගලයාගේ ක්ලේශක්‍ෂයය සෝපාදිශේෂ නිර්වාණය වේ නම් සෙස්සන්ගේ ක්ලේශක්‍ෂයය

සෝපාදිශේෂ නිර්වාණය නොවීමට කරුණක් නැත්තේ ය. පාලියෙහි අර්හත් පුද්ගලයාගේ ක්ලේශක්‍ෂයය සෝපාදිශේෂ නිර්වාණයයි දැක්ම දේශනා ශීර්ෂ මාත්‍රයකි. මෙය “පුරිසස්සහි ජාතස්ස කුඨාරි ජායතෙ මුඛෙ, නිහීයති පුරිසො නිහීනසෙවී” යන ආදී දේශනාවන් “පුරිසස්සහි ජාතස්ස කුඨාරි ජායතෙ මුඛෙ” යන්නෙහි පුරුෂයාගේ මුඛයෙහි යයි දක්වා තිබෙන්නේ ස්ත්‍රියගේ මුඛයෙහි හෝ නපුංසකයකුගේ මුඛයෙහි හෝ කුඨාරිය පහළ නොවන බැවින් නොවේ, පුරුෂයාගේයි දැක්වීම දේශනා ශීර්ෂ මාත්‍රයකි. “නිහීයති පුරිසො නිහීන සෙවි” යන්නෙහි “පුරිසො” යි වදාරා තිබෙන්නේත් ස්ත්‍රිය එසේ පිරිහීමට නො පැමිණෙන බැවින් නොවේ. ඊට සියල්ලෝ ම සංග්‍රහ වෙති. “පුරිසො” යි ප්‍රකාශ කිරීම දේශනා ශීර්ෂ මාත්‍රයකි. මෙබඳු සාවශේෂදේශනා තවත් බොහෝ ගණනක් දක්නා ලැබෙත්. එබැවින් පාළියෙහි සාමාන්‍යයෙන් අර්හත් පුද්ගලයාගේ ක්ලේශක්‍ෂයය සෝපාදිශේෂ නිර්වාණයයි වදාරන ලද මුත් සෙස්සන්ගේ ක්ලේශක්‍ෂයය සෝපාදිශේෂ නිර්වාණය නොවේයැයි මුළා නොවිය යුතු.

මේ චතුර්ථාචාර්‍ය්‍යවාද විනිශ්චයයි.

මෙසේ ආචාර්‍ය්‍යවාද බහුල බැවින් හා නිර්වාණය පරම සූක්‍ෂම බැවින් ද එය ඇතැම්හු විපරීතාකාරයෙන් ද ඇතැම්හු අවිපරීතාකාරයෙන් ද දැන සිටිත්. නිර්‍වාණය සම්බන්ධව විපරීත වශයෙන් දැනීම හෝ සර්‍වප්‍රකාරයෙන් ම නොදැනීම හෝ නිර්‍වාණ ප්‍රතිලාභියාට බාධක නොවේ. නිර්‍වාණ ප්‍රතිලාභියාට බාධක කාරණය නම් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව නො පිරීමයි. යමෙක් නිවන වරදවා තේරුම් ගෙන සිටියේ වී නමුත් ඔහු විසින් නිවැරදි වූ නිර්වාණ ගාමිණී ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන ලද්දේ නම්:- හෙතෙම සකල බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධයන් වහන්සේලා විසින් පැමිණෙන ලද්දා වූ නිවැරදි වූ නිර්වාණ සඞ්ඛ්‍යාත ලෝකෝත්තර භූමියට පැමිණෙන්නේ ය. නිර්වාණය සම්බන්ධ කොපමණ පාරිශුද්ධ වූ දැනීමක් ඇතත් නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව සම්පූර්ණ නො කරන තැනැත්තේ නිවනට නො පැමිණේ. අත් පා තරකොට බැඳ පසුරක තබා ගඟක පාකරන ලද තැනැත්තේ උඩුගඟ පිහිටි රම්‍ය ප්‍රදේශයන් ගැන කොපමණ පිරිසිදු ලෙස දැන සිටියේ වී නමුත් ඒ ප්‍රදේශ වලින් මොහොතෙන් මොහොත වඩ වඩා දුරවන්නේ ය. එපරිද්දෙන් ම පඤ්චකාමයයි කියන ලද වැල් වලින් බඳින ලද චිත්තසන්තානය ඇතිවැ මේ සංසාර මහෝඝයෙහි පාවෙන්නා වූ සත්ත්වයෝ මොහොතෙන් මොහොතට උඩුගඟ පිහිටි රම්‍ය ප්‍රදේශය බඳුවූ නිර්වාණ ක්‍ෂෙම භූමියෙන් දුර වෙති. එබැවින් සකල සත් පුරුෂයන් විසින් ම පරම රමණීය වූ නිර්වාණ භූමියට පැමිණ පරමසුඛය ශාන්තිසුඛය ලබා ගැනීම සඳහා නිර්වාණ ගාමිණී ප්‍රතිපත්තිය සම්පූර්ණ කළයුතු.

මෙතෙකින් නිර්වාණ විනිශ්චයේ පඤ්චම පරිච්ඡේදය නිමි.