ද්විතීයාචාර්‍ය වාද විනිශ්චය

star_outline

ද්විතීයාචාර්‍ය වාදයෙහි විනිශ්චය කළ යුතු කරුණු තුනකි. එනම් සෝපාදිශේෂ නිර්වාණය ප්‍රඥප්තියක්ය යන්න එකකි. රහත්හු නිවනට පැමිණියාහු නොවෙත්ය යන්න එකකි. පරිනිර්වාණයෙන් පසු රහතන් වහන්සේලාට වෙන් වෙන් වශයෙන් නිර්වාණ පහළ වෙත්ය යන්න එකකි. මෙයින් පළමුවෙනි කාරණයේ විනිශ්චය මෙසේ යි. ක්ලේශ නිරෝධ, ස්කන්ධ නිරෝධ දෙකින් ක්ලේශ නිරෝධය ම ප්‍රධාන වේ. ක්ලේශයන් නිසා පහළ වන්නා වූ ස්කන්ධයන්ගේ නිරෝධය ක්ලේශ නිරෝධයට ම ඇතුළත්ව පෙර පසු නොවී එකවර ම සිදු වේ. වෘක්‍ෂයාගේ මූලය සිඳ විනාශ කරන ලද්දේ නම් ශාඛාපත්‍රයන්ගේ විනාශය ඊට ඇතුලත්ව ඒ හා සමග ම සිදුවන්නාක් මෙනි. මෙසේ ක්ලේශස්කන්ධ දෙවර්ගයේ ම නිවී යාම එකවර සිදු වන බැවින් රහතන් වහන්සේලා විසින් ච්‍යුතියෙන් පසු ලබන නිර්වාණය අර්හත්වයට පැමිණීමේදී ලැබූ නිරෝධයෙන් අන්‍යවූවක් නොවේ. එබැවින් රහත් වීමේදී ලබන්නා වූ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව ද ප්‍රඥප්තියක් නොව නිරෝධ සත්‍ය සඞ්ඛ්‍යාත නිර්වාණ ධාතුව ම යයි දතයුතු.

ක්ලේශස්කන්ධ නිරෝධ දෙකෙන් ක්ලේශ නිරෝධය ම ප්‍රධාන බැවින් මෙහි තෘතීය පරිච්ඡේදයෙහි දක්වන ලද නිදානවර්ග සංයුක්තකයේ සූත්‍ර වල ද ක්ලේශ නිරෝධය ම ප්‍රධාන කොට වදාරා තිබේ. එපමණක් නොව අභිධර්ම සත්‍යවිභඞග පාළියේ නිරෝධ සත්‍ය නිර්දේශයේ “චක්ඛුං ලොකෙ පියරූපං සාත රූපං එත්තෙසා තණ්හා පහීයමානා පහීයති එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති” යන ආදි වාක්‍ය සැටක ද එසේ ම මහා සතිපට්ඨාන සූත්‍රය සතිපට්ඨාන සංයුක්තය යන දේශනාවල ද “තත්ථ කතමං දුක්ඛ නිරොධං අරිය සච්චං යො තස්සායෙව තණ්හාය අසෙස විරාග නිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො” යනුවෙන් ධර්මචක්‍ර සූත්‍රයෙහි ද “නිබ්බානන්ති ආවුසො සාරිපුත්ත වුච්චති. කතමං තං නිබ්බානං යො ඛො ආවුසො රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො ඉදං වුච්චති ආවුසො නිබ්බානං” යනුවෙන් ජම්බුඛාදක සූත්‍රයෙහි ද තවත් නොයෙක් තැන්වලද ක්ලේශ නිරෝධය ම ප්‍රධාන කොට නිර්වාණය වදාරා තිබේ. මෙසේ මේ ඉතිවුත්තක පාලිය ද

කොට ක්ලේශ නිරෝධය ප්‍රධාන කොට සෝපාදිශේෂ නිර්වාණ සඞ්ඛ්‍යාත පරමාර්ථ අසංස්කෘත නිර්වාණය වදාරන ලද්දක් යයි දතයුතු. පළමුවෙනි කාරණයේ විනිශ්චයයි.

අර්හත් මාර්ගයාගේ උත්පත්ති සමයෙහි යම් ක්ලේශස්කන්ධ කෙනෙක් නිරුද්ධ වෙත් නම්; ඔවුන්ගේ නිරෝධය සිදුවන්නේ රහතන් වහන්සේගේ සන්තානයෙහි ම ය. එබැවින් රහත් වීමේදී

ක්ලේශස්කන්‍ධ නිරුද්ධ වීම සත්‍යයක් නම්; එය රහතන් වහන්සේ විසින් ලබන ලද්දක් නොවීමට කිසි හේතුවක් නැත්තේ ය. ඒකාන්තයෙන් ඒ නිරෝධය රහතන් වහන්සේ විසින් ලබන ලද්දක් ම ය. පැමිණෙන ලද්දක් ම ය. රහතන් වහන්සේලාට ජරා මරණාදි දුඃඛයන් ඇත්තේ උන්වහන්සේලා නිවනට නො පැමිණි බැවින් හෝ නිවනෙහි දුක් ඇති බැවින් හෝ නොවේ. උන්වහන්සේලාට ඇත්තා වූ දුඃඛයෝ වනාහි අතීත ක්ලේශ හේතුවෙන් හට ගත්තා වූ ස්කන්ධ කය නිසා පවන්නා වූ ධර්මයෝ ය. ඔවුහු ලබන ලද නිවන හා සර්වප්‍රකාරයෙන් අසම්බන්ධයහ. එබැවින් නිවනෙහි දුක් නැතත් අර්හත් පුද්ගලයන් දුක් සහිත වූවන් වීම ඔවුහු නිවනට පැමිණියාහු නොවෙත් යයි කීමට කාරණයක් නොවේ. දුක් සහිත රහත්හු නිවනට පැමිණ සිටින අයුරු කියනු ලබන උපමාවෙන් දතයුතු. රජකු විසින් අපරාධයක් කළා වූ එක් පුරුෂයෙක් තෙම දිවිහිම් කොට බන්ධනාගාරයට යවන ලද්දේ ය. ඉක්බිති ඔහුගේ ඥාති මිත්‍රයෝ රැස්ව රජ්ජුරුවන් සතුටු කරවා බන්ධනාගාරයට යවන ලද පුරුෂයාට නිදහස ඉල්ලා සිටියෝ ය. එකල්හි රජ්ජුරුවෝ සත් දිනකින් නිදහස් කරන ලෙස අණ කළේ ය. පුරුෂ තෙමේ ලබන ලද නිදහස ඇතිව ප්‍රීතියෙන් සත්දින ගත කොට සිය නිවසට ගියේ ය. මේ උපමාවෙහි කියන ලද පුරුෂ තෙමේ සත් දිනක් බන්ධනාගාරයේ සිටියේ ලබන ලද නිදහස ඇතුව ම ය. ඔහු විසින් ලබන ලද නිදහස බන්ධනාගාරයෙන් පිටවූ දිනයෙහි ලබන ලද්දක් නොවේ. මේ උපමාවෙහි කියන ලද පුරුෂයාගේ ලබන ලද නිදහස ඇතිව බන්ධනාගාරයෙහි සිටීම මෙන් දුක් ඇති ව රහතුන්ගේ නිවනට පැමිණ සිටීම දතයුතු.

රහත්හු නිවනට පැමිණි පුද්ගලයන් බව සර්වඥයන් වහන්සේ විසින් “කථඤ්ච පුග්ගලෝ උම්මුජ්ජිත්වා තිණ්ණෝ හෝති පාරඞ්ගතො ථලෙ තිට්ඨති. බ්‍රාහ්මණෝ සෝ ආසවානං ඛයා අනාසවං චේතො විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං පුග්ගලෝ උම්මුජ්ජිත්වා තිණ්ණො හොති පාරඞ්ගතො ථලෙ තිට්ඨති බ්‍රාහ්මණො” යනුවෙන් වදාරන ලදී.

කථඤ්ච, කෙසේ නම්; පුග්ගලො, පුද්ගල තෙමේ; උම්මුජ්ජිත්වා, සංසාර සාගරයේ මතු වී; තිණ්ණො, එතර වූ; පාරඞ්ගතො, පරතෙරට ගියාවූ; ථලෙ, නිර්වාණ සඞ්ඛ්‍යාත ගොඩබිමෙහි; තිට්ඨති, සිටින්නා වූ; බ්‍රාහ්මණෝ, බ්‍රාහ්මණයෙක්; හෝති, වේද; සෝ, හෙතෙම; ආසවානං, ආශ්‍රවයන්ගේ; ඛයා, ක්‍ෂය වීමෙන්; අනාසවං, ආශ්‍රව රහිත වූ ; චතො විමුත්තිං, චිත්තවිමුක්තිය; පඤ්ඤා විමුත්තිං, ප්‍රඥා විමුක්තිය; දිට්ඨෙව ධම්මේ, ප්‍රත්‍යක්‍ෂ ආත්මභාවයෙහි ම; සයං, තෙමේ; අභිඤ්ඤා, විශිෂ්ඨ ඥානයෙන් දැන; සච්ඡිකත්වා, ප්‍රත්‍යක්‍ෂ කොට; උපසම්පජ්ජ, සම්පාදනය කොට; විහරති, වෙසේද; එවං, මෙසේ; පුග්ගලො, පුද්ගලතෙම; උම්මුජ්ජිත්වා, සංසාර සාගරයේ මතුවී; තිණ්ණො, එතෙර වූ; පාරඞ්ගතො, පරතෙරට ගියා වූ; ථලෙ, නිර්වාණයැයි කියන ලද ගොඩබිම; තිට්ඨති, සිටින්නා වූ; බ්‍රාහ්මණො, බ්‍රාහ්මණයෙක්; හොති, වේ; යනු අර්ථයි.

නිවනට පැමිණි පුද්ගලයාට පරිනිර්වෘත පුද්ගලයායයි කියනු ලැබේ. රහතුන් පරිනිර්වෘත පුද්ගලයන් බව රහතන් වහන්සේලා විසින් ම වදාරන ලදී:-

“යො දුද්දමයො දමෙන දන්තො

දබ්බො සන්තුසිතො විතිණ්ණ කඞ්ඛො,

විජිතාවි අපෙත හෙරවො හි

දබ්බො සො පරිනිබ්බුතො ඨිතත්තො.

.

යො පානුදීමච්චුරාජස්ස සෙනං

නළකෙතුංච සුදුබ්බලං මහොඝො,

විජිතාවි අපෙත භෙරවො හි

දන්තො සො පරිනිබ්බුතො ඨිතත්තො.

.

යො දුද්දමයො දමෙන දන්තො

වීරො සන්තුසිතො විතිණ්ණ කඞ්ඛො,

විජිතාවි අපෙත ලොමහංසනො

වීරො සො පරිනිබ්බුතො ඨිතත්තො.

යන ථෙර ගාථා වලින් පෙනේ. මෙයින් ප්‍රථම ගාථාව දබ්බ ස්ථවිරයන් වහන්සේ විසින් වදාරන ලද ගාථාවකි. ද්විතීය තෘතීය ගාථා භල්ලිය, වීර යන ස්ථවිරයන් වහන්සේලා දෙනම විසින් වදාරන ලද ගාථාවෝ ය. මේ දේශනාවන්ගේ වශයෙන් රහත්හු නිවනට පැමිණි පුද්ගලයන් යයි දතයුතු. ඇතැම්හු රහතන් වහන්සේලා අරමුණු කිරීමෙන් පමණක් නිවනට පැමිණියාහු යයි කියත්. එය ද යුක්ති යුක්ත නොවේ. මේ දෙවෙනි කාරණයේ විනිශ්චයයි.

ද්විතීයාචාර්‍ය්‍යවාද විනිශ්චය නිමි.