නිර්වාණ ධාතුවෙන් අන්‍ය වූ සකල සංස්කාර ධර්මයන්ගේ ම හට ගැනීමක් හා බිඳී අතුරුදහන්වීමක් (අවසානවීමක්) ඇත්තේ ය. හට ගැනීම ම ඔවුන්ගේ සංස්කාර ධර්ම භාවයට කාරණය වේ. හට ගැනීම නමැති පූර්වකෝටිය ඇත්තා වූ ධර්මයන්ගේ බිඳීම නමැති පශ්චිම කෝටිය ද ඒකාන්තයෙන් ම ඇත්තේ ම ය. නිර්වාණ ධර්මය වනාහි හට ගැනීමෙන් හා බිඳීමෙන් පිරිසිඳිනු ලබන පූර්වාපර කෝටිද්වයෙන් වෙන්ව නිත්‍යව පවත්නා ධර්මයකි. නිර්වාණ ධර්මයට පමණක් එසේ පැවතිය හැකි බව හා සංස්කාර ධර්මයන්ට මෙන් පටන් ගැන්මක් හා අවසානයක් නැති බව කියනු ලබන උපමාවෙන් දතයුතු.
එක් පෙදෙසක විෂ වෘක්‍ෂ සමූහයක් තිබේ. ඔවුහු එක එකක් සියක් වර්ෂය බැගින් පවත්නාහුය. එක එක වෘක්ෂයක්හුගේ ඇවෑමෙන් අන්‍ය වූ එක වෘක්‍ෂය බැගින් අභිනව වෘක්‍ෂ ද එක එක වෘක්‍ෂයකගෙන් හට ගන්නාහුය. මෙසේ පැවත එන්නා වූ ඒ වෘක්‍ෂ සමූහයේ පැවැත්ම පිළිබඳ අතීත කාලය ද මෙතෙකැයි පිරිසිඳිය නොහේ. අනාගතයෙහිද ප්‍රමාණ කළ නොහැකි කාලයක් පරම්පරාව නොසිඳී පැවතිය හැකි අවකාශය ද තිබේ. එක්තරා පුරුෂයෙක් තෙම විෂ වෘක්‍ෂයන්ගෙන් වන්නා වූ භය දැක වෘක්‍ෂයන් විනාශ කිරීම සඳහා එකල පනස් වර්ෂයක් වයස්ගත වූ වෘක්‍ෂයන්හි විෂහුල් ප්‍රවේශ කෙළේ ය. ඒ හේතුවෙන් ඒ වර්ෂයෙහි හටගත යුතුව තිබූ පුෂ්ප ඵල හට නොගත්හ. මෙසේ මල් පිපීම හා පල ගැනීම සිඳී ගියෙන් බීජ පරම්පරාව සිඳී ගොස් ඒ වෘක්‍ෂයෝද ඉන් මතු පනස් වර්ෂයකින් අභාවප්‍රාප්ත වූහ. මෙසේ ඒ ප්‍රදේශයෙහි මතු ප්‍රමාණ විෂයාතික්‍රාන්ත කාලයක් මුලුල්ලෙහි පැවතිය හැකිව තිබූ විෂ වෘක්‍ෂ පරම්පරාව හාත්පසින් ම නිරුද්ධව ගියේ ය.
මේ උපමාවෙහි කියන ලද පුරුෂයාගේ ප්‍රයෝගයෙන් උත්පාද හේතු නිරෝධයෙන් නූපදනා බවට පැමිණියා වූ පුෂ්ප ඵල වෘක්‍ෂයෝ වනාහි ඒකාන්තයෙන් සටහන් වශයෙන් පෙර තිබුණා වූ පුෂ්පඵල වෘක්‍ෂයෝ නොවෙති. ඔවුහු මනුෂ්‍යයන්ගේ ව්‍යවහාරයෙහි පමණක් ඇත්තා වූ පුෂ්ප ඵල වෘක්‍ෂයෝ වෙති. එහෙයින් ඔවුහු මේ මතු අසවල් දින පැළවන්නා වූ වෘක්‍ෂය, මේ අසවල් දින පැළවන්නා වූ වෘක්‍ෂය යනාදි වශයෙන් පටන් ගැනීමෙන් පිරිසිඳිය හැක්කා වූ පුෂ්ප ඵල වෘක්‍ෂයෝ ද නොවෙති. මේ අසවල් දින විනාශයට පැමිණෙන්නා වූ වෘක්‍ෂය යනාදි වශයෙන් අවසානයෙන් පිරිසිඳිය හැක්කාහු ද නොවෙති. මේ වෘක්‍ෂය මහත්ය, මේ වෘක්‍ෂය කුඩාය යනාදි වශයෙන් සටහන් හා ප්‍රමාණයෙන් පිරිසිඳිය හැක්කාහු ද නොවෙති. මෙසේ ද්‍රව්‍ය සංස්ථානාදි වශයෙන් ප්‍රකටව නොදැක්විය හැකි පුෂ්ප ඵල වෘක්‍ෂයෝ වනාහි නිරෝධයට හෙවත් හට නොගැනීමට නොපැමිණියාහු නම් මතු ඒකාන්තයෙන් ඉපිද පවත්නා හෙයින් ඒකාන්තයෙන් නැත්තා වූ ධර්මයෝ යයි ද කිව හැකි නොවේ. එහෙයින් ඔවුහු ද්‍රව්‍ය වශයෙන් නැත්තා වූ ද ඒකාන්තයෙන් නැත්තාහු නොවන්නා වූ ද පරමාර්ථ වශයෙන් අසවල් ධර්මය යයි වෙන් කොට දැක්විය නොහැක්කා වූ ද අන්‍යතර ධර්ම නියාම ධාතුවක් යයි දතයුතු.
මෙහි නිරෝධයයි කියන ලද්දේ උත්පාද හේතූන්ගේ නිරෝධය නුවූයේ නම් මතු හට ගැනීමට අවකාශය ඇතුව තුබූ පුෂ්ප ඵල වෘක්‍ෂයන්ගේ හට නොගැනීමටයි. උපන් නාම රූප ධර්මයන්ගේ භඞ්ග සඞ්ඛ්‍යාත අභාව නිරෝධයේ පූර්වකෝටිය (පටන් ගන්නා ස්ථානය) නිරුද්ධ වූ ධර්මයන්ගේ පශ්චිම කෝටියෙන් පිරිසිඳිය හැකි වේ. පැවති ධර්මයාගේ නැති වීමේ පටන් අභාවය පටන් ගනී. ද්‍රව්‍ය සංස්ථාන වශයෙන් පෙන්විය හැකි කිසිවක් නැත්තා වූ යටකී පුෂ්ප ඵල වෘක්‍ෂයන්ගේ අනුත්පාද නිරෝධයේ මුල් කෙලවරක් එසේ ලැබිය හැකි නොවේ ම ය. නිරුද්ධ වන ධර්මය තමා අවිද්‍යමාන බැවින් එකල්හි විෂ හුල් ප්‍රවේශ කළ දිනය හෝ හුල් ප්‍රවේශ කරන ලද වෘක්‍ෂ සමූහය අභාවයට පැමිණි දිනය හෝ පුෂ්ප ඵල වෘක්‍ෂ නිරෝධයාගේ පූර්ව කෝටිය (පටන් ගන්නා ස්ථානය) නොවන බව දතයුතු. වස්තු වශයෙන් පවත්නා ධර්මයන්ගේ නොපැවැත්මක් හෙවත් විනාශ වීමක් ඇත්තේ ය. වස්තු වශයෙන් නොපවත්නා ස්වභාවය වූ නිරෝධයාගේ නැවත නොපවත්නා ස්වභාවයක් නැත්තේ ය. එබැවින් නිරෝධයාගේ පශ්චිම කෝටියක් හෙවත් නිරෝධයේ නැවත නිරෝධයක් නැත්තේ ය. ඉදින් යථෝක්ත පුෂ්පඵල වෘක්‍ෂයෝ නැවත හට ගත්තාහු නම් ඔවුන්ගේ නිරෝධය නොවීය. නිරෝධයට පැමිණියාහු නම් ඒ පුෂ්පඵල වෘක්‍ෂයෝ මතු කිසිකලෙක හට නො ගන්නාහු ය. එහෙයින් නිරෝධය වනාහි පශ්චිම කෝටියක් ද නොමැතිව සියලු කල්හි ම එකසේ පවත්නා වූ නිත්‍ය ධර්මයක්යයි දතයුතු.
යටකී උපමාවෙහි නිරුද්ධවීයැ යි කියන ලද පුෂ්පඵල වෘක්‍ෂයන් මෙන් මාර්ගාධිගමයෙන් නිරුද්ධවන්නා වූ ක්ලේශස්කන්ධයෝ වස්තු වශයෙන් ඒකාන්තයෙන් ඇත්තා වූ ධර්මයෝ නොවෙති. ඔවුන්ගේ මේ පටන් ගැන්මය, මේ අවසානය, මේ එක් කොනක්ය, මේ අනික් කොනය, මේ එකක්ය, මේ අනිකක් ය යනාදි වශයෙන් වෙන් කිරීමට හේතු වන්නා වූ උත්පාදව්‍යය සඞ්ඛ්‍යාත පූර්වාපරාන්තද්වය හා සංස්ථාන ද නැත්තාහුය. ඔවුහු මාර්ගයාගේ ශක්තියෙන් අනුත්පාද නිරෝධයට නොපමුණුවන ලද්දාහු නම් මතු ඔවුන්ගේ හට ගැනීම ඒකාන්ත හෙයින් ඒකාන්තයෙන් නැත්තාහු ද නොවෙති. එහෙයින් ඔවුහු පරමාර්ථ ධර්මයන් අතරින් අසවල් ධර්මයයි දැක්විය හැකි නො වූ අන්‍යතර ධර්ම නියාම ධාතුවක් යැයි දතයුතු.
මෙහි ක්ලේශස්කන්ධ නිරෝධයැයි කියන ලද්දේ සංස්ථාන වශයෙන් ඒකාන්තයෙන් නැත්තා වූ යථෝක්ත ක්ලේශ ස්කන්ධයන්ගේ මතු නො ඉපදීමටයි. උපන් ක්ලේශස්කන්ධයන්ගේ නිරෝධයයි කියන ලද අභාවයෙහි පටන් ගැනීම නිරුද්ධ වූ ධර්මයාගේ භඞ්ග සඞ්ඛ්‍යාත පශ්චිම කෝටියෙන් පිරිසිඳිය හැකි වේ. පැවති ධර්මයාගේ නැතිවීමෙන් පසු ඒ ඒ ධර්මයන් සම්බන්ධ අභාවය පටන්ගන්නා හෙයිනි. මේ නූපන්නා වූ ක්ලේශස්කන්ධයන්ගේ නිරෝධය වනාහි එසේ පටන්ගන්නා වූ ස්ථානයක් නො ලැබේ. ක්ලේශ ප්‍රහාණය කරන්නා වූ මාර්ග චිත්තයාගේ භඞ්ගක්‍ෂණ සඞ්ඛ්‍යාත පශ්චිම කෝටිය හෝ අනුපාදිශේෂ පරිනිර්වාණය සිදුවන අවස්ථාව හෝ ක්ලේශස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධ සඞ්ඛ්‍යාත නිර්වාණ ධාතුවේ පටන් ගන්නා ස්ථානය නොවේ. එහෙයින් නිර්වාණ ධාතුව යට කී පුෂ්ප ඵල නිරෝධය මෙන් පටන් ගැනීමක් (හට ගැනීමක්) නැත්තා වූ හට ගැනීමට අභව්‍ය වූ ධර්මයක් බව දතයුතු. පුෂ්පඵල නිරෝධයේ පශ්චිම කෝටියක් නැතුවාක් මෙන් නිර්වාණ ධර්මය පශ්චිම කෝටිය නැත්තා වූ පශ්චිම කෝටියක්
ඇති වීමට අභව්‍ය වූ ධර්මයකි. ඒ වනාහි අනමතග්ග සංසාරය හා සමප්‍රමාණව පටන්ගැන්මක් හෝ අවසානයක් නොමැතිව නිත්‍යයව පවත්නා ධර්මයකි.