නිර්වාණය පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයක් බව.

මෙතෙකින් දක්වන ලද නිර්වාණ ධාතුව සැප වූ කිසිවක් නැති සැපයක් ද නොවූ අභාව ප්‍රඥප්ති භාවයෙන් විද්‍යමාන වූ සිස් වූ ස්වභාවයකැයි මහජනයාට වැටහිය හැකි වේ. නමුත් එය පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයකි. එහි පරමාර්ථ භාවය පරමාර්ථ ප්‍රඥප්ති ධර්මයන්ගේ වෙනස හා ඔවුන්ගේ පරමාර්ථ ප්‍රඥප්තිභාවය සොයා ගත යුතු පිළිවෙල ද දැන ගැනීමෙන් අවබෝධ කරගත යුතු වේ. ලෝකයෙහි ඇතිතාක් පදාර්ථයෝ පරමාර්ථ ප්‍රඥප්ති වශයෙන් ද්විප්‍රභේද වෙති. එයින් ස්වකීය ලක්‍ෂණයන් ඒකාන්තයෙන් ඇත්තා වූ පෘථිවි ස්පර්ශාදි ධර්මයෝ පරමාර්ථ නම් වෙති. පරමාර්ථ ධර්මයන්ගේ පිහිටි ආකාරය පමණක් ගෙන ලෝකයා විසින් සලකනු ලබන්නා වූ ඒකාන්තයෙන් නැත්තා වූ ස්ත්‍රී පුරුෂ සත්ත්ව පුද්ගලාදි ධර්මයෝ ප්‍රඥප්ති ධර්ම නම් වෙති. යම් කිසි ධර්මයක් ගෙන එය පරමාර්ථ ධර්මයක් ද ප්‍රඥප්ති ධර්මයක් දැයි දැන ගැනීමට පරිඥා, භාවනා, ප්‍රහාණ, සාක්ෂාත් කරණ යන චතුර්විධ ශාසනික කෘත්‍යයන්හි ලා විමසිය යුතු වේ. ඉන් එක් කෘත්‍යයකට ගෝචර වේ නම් එය පරමාර්ථ ධර්මයකි. මේ සිව්කිස පරමාර්ථ ධර්මයන්හි ම ලැබිය යුතු වේ.

එයින් පරිඥා කෘත්‍යය නම් :- ස්තබ්ධ ආබන්ධනාදි ස්වකීය ලක්ෂණ වශයෙන් හා අනිත්‍ය දුඃඛ අනාත්ම යන සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන් ද පරමාර්ථ ධර්මයන් පිරිසිඳ දැනීමයි.

නාම රූප ධර්ම පුඤ්ජයන්හි පවත්නා වූ පුරුෂ ප්‍රඥප්තිය ගෙන පරිඥා ඥානයෙන් විමසන කල නාම රූප ධර්මයන්ගේ පිහිටි ආකාරය ම මිස පුරුෂ ප්‍රඥප්තියේ ස්වකීය ලක්‍ෂණයක් නො ලැබේ. එසේ ම රැගෙන අනිත්‍යාදීන්ගේ වශයෙන් බලන කල අනිත්‍ය ලක්‍ෂණය ද නො ලැබේ. පුරුෂයායි සම්මත කර තිබෙන නාම රූප ධර්මයෝ වනාහි අනිත්‍යයට යෙති. ඒකාන්තයෙන් නැත්තා වූ ඔවුන්ගේ පිහිටි ආකාරය වූ පුරුෂ ප්‍රඥප්තියේ අනිත්‍ය ලක්‍ෂණයක් නැත්තේ ය. එහෙයින් ම දුඃඛ ලක්‍ෂණය නො ලැබෙන හෙයින් දුඃඛ ලක්‍ෂණයාගේ වශයෙන් ද පිරිසිඳිය හැකි නොවේ. මෙසේ පරිඥා ඥානයෙන් විමසන කල පුරුෂයෙක් නැති බව හා ස්තබ්ධ ආබන්ධනාදි ලක්‍ෂණ සමූහයක් ඇති බව ද පෙනේ. පරිඥාඥානය දියුණුවන්ට තියුණුවන්ට ස්තබ්ධ ලක්‍ෂණාදිය වඩ වඩා ප්‍රකට වන්නේ ය. ස්තබ්ධ ලක්‍ෂණාදිය ප්‍රකට වන කල්හි පුරුෂයෙක් නොමැති බව වඩ වඩා පෙනී යන්නට පටන් ගනී.

මායාකාරයා විස්න ස්වර්ණ පිණ්ඩයක් මෙන් කොට දක්වන ලද, සාමාන්‍ය පෙනීමට ස්වර්ණ පිණ්ඩයක් මෙන් පෙනෙන මැටි පිඩ ස්වර්ණයෙන් කළ යුතු කර්මාන්තයක යෙදිය හැකි නොවේ. එසේ කර බලන කල්හි එය මැටි පිඩක් බව පෙනේ. එමෙන් ඒකාන්තයෙන් නැත්තා වූ සාමාන්‍ය දැනීමට ඇත යයි වැටහෙන්නා වූ ස්ත්‍රී පුරුෂ සත්ත්ව පුද්ගලාදි ප්‍රඥප්ති ධර්මයන් ගෙන පරමාර්ථ ධර්මයන් ම යෙදිය යුතු වූ පරිඥා කෘත්‍යයෙහි ලා බලන කල ස්ත්‍රියක් පුරුෂයෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැති බව පෙනේ. නිර්වාණ ධර්මය වනාහි පරමාර්ථ හෙවත් ඒකාන්තයෙන් ඇති ධර්මයක් වූ හෙයින් පරිඥා ඥානයෙන් බලන කල ශාන්ති ලක්‍ෂණ සඞ්ඛ්‍යාත ස්වකීය ලක්‍ෂණයෙන් ද, නිත්‍ය සුඛ අනාත්ම ලක්‍ෂණයන්ගේ වශයෙන් ද, එය ඒකාන්තයෙන් විද්‍යමාන බව පෙනේ. මේ පරිඥා කෘත්‍යයෙහි ලා පරමාර්ථ ධර්ම හා ප්‍රඥප්ති ධර්ම බෙදා ගත යුතු ආකාරයයි.

භාවනා කෘත්‍යය නම් :- එක් එක් ධර්මයක් තියුණු බවට පැමිණෙන පරිදි අනුක්‍රමයෙන් වර්ධනය කිරීමයි.

සමාධිය අනුක්‍රමයෙන් වර්ධනය කළ කල්හි ෂඩභිඥා භාවයට පැමිණීම දක්වා වර්ධනය වේ. ප්‍රඥාව අනුක්‍රමයෙන් වර්ධනය කළ කල්හි අර්හත් මාර්ග ඥානය දක්වා වර්ධනය වේ. ආකාශය

දීප්තිමත් වන පරිදි ඔප දැමිය හැකි නො වන්නාක් මෙන් පරිඥා ඥානයට ගෝචර නො වන ප්‍රඥප්ති ධර්මයන් බලය වර්ධනය වන පරිදි, සෘද්ධි ආනුභාවය වර්ධනය වන පරිදි වැඩිය නොහේ. එහෙයින් භාවනා කෘත්‍යයෙහි ලා වැඩිය හැකි ධර්මයෝ පරමාර්ථ ධර්ම බව දත යුතු. මේ භාවනා කෘත්‍යයාගේ වශයෙන් පරමාර්ථ ප්‍රඥප්ති ධර්මයන් වෙන් කරගත යුතු ආකාරයයි.

ප්‍රහාණ කෘත්‍යය නම් :- සත්ත්ව සන්තානය කෙලෙසන්නා වූ ධර්මයන් දුරුකිරීමයි.

චිත්ත සන්තානයෙහි බොහෝ සෙයින් උපදින්නා වූ ලෝභාදි ක්ලේශ ධර්මයෝ තුමූ සත්ත්වයන් අපායට පමුණුවත්. ඒ ධර්මයන් තදඞ්ග වශයෙන් ප්‍රහාණය කිරීමෙන් දිව්‍ය මනුෂ්‍ය සම්පත් ද, විෂ්කම්භණ වශයෙන් ප්‍රහාණය කිරීමෙන් රූපාරූප බ්‍රහ්ම සම්පත් ද, සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ලෝකෝත්තර මාර්ග ඵල නිර්වාණ සම්පත් ද ලැබිය හැකි වෙති. පරිඥා ඥානයට ගෝචර නොවන ප්‍රඥප්තීන් අතුරෙන් යම් කිසිවක් වැඩීමෙන් අපායට පැමිණීමක් හෝ පහ කිරීමෙන් ස්වර්ගයට පැමිණීමක් හෝ නොවේ. මනුෂ්‍ය ස්කන්ධ කයෙහි පවත්නා වූ මනුෂ්‍ය ප්‍රඥප්තිය පහ කොට එය දිව්‍ය භාවයට හෝ බ්‍රහ්ම භාවයට හෝ පමුණුවා ගත හැක්කේ ද නොවේ. එහෙයින් ප්‍රඥප්ති ධර්ම ප්‍රහාණයට යෝග්‍ය වූවාහු නො වන බවද දත යුතු. නිර්වාණ පරමාර්ථය ද ප්‍රහාතව්‍ය ධර්මයක් නොවේ. නමුත් ප්‍රහාතව්‍ය ධර්ම සියල්ල ම පරමාර්ථ ධර්ම බව දත යුතු. මේ ප්‍රහාණ කෘත්‍යයෙහි ලා පරමාර්ථ ප්‍රඥප්ති ධර්ම වෙන් කර ගත යුතු ආකාරයයි.

සාක්ෂාත් කරණ කෘත්‍යය නම් :- කයින් හා ඥානයෙන් ස්පර්ශ කිරීමයි.

එහි නිර්වාණ ධර්මයාගේ කාය ස්පර්ශය “කායේන අමතං ධාතුං ඵුසිත්වා” යන දේශනාවෙන් හා ‘‘පහිතත්තො සමානො කායෙන චෙව පරමත්ථ සච්චං සච්ඡිකරොති” යන දේශනාවෙන් පෙනේ. නිර්වාණ ධර්මයාගේ කාය ඥාන ස්පර්ශය ඇති පරිදි දැක්වීමට ප්‍රථම ලෞකික තදඞ්ග ශාන්තීන්ගේ කාය චිත්ත ස්පර්ශය ඇති පරිදි සුඛාවබෝධය සඳහා දක්වනු ලැබේ. යමකුගේ ශරීරයෙහි ජ්වර රෝගය (උණ) හට ගෙන බලවත් දාහය ඇති වී මහත් වූ දුකින් පීඩිතව වාසය කරන්නේ නම්:- ඒ දුඃඛය ඔහුගේ රූප කයෙහි පවත්නා ධර්මයක් වූයෙන් එය කයින් ස්පර්ශ කරන ලද්දක් වේ. රෝගය ක්ෂණයකින් සුව කරන්නට සමර්ථ වූ ඖෂධයක් වැළඳීමෙන් ක්ෂණයකින් රෝගය සුව වූයේ නම් ඒ රෝග සුවය නමැති සුඛය ද ඔහුගේ රූප කයෙහි ම වූයෙන් කයින් ස්පර්ශ කරන ලද්දක් වේ. රෝගයෝ වනාහි රෝග සුවය නමැති ශාන්තිය පැමිණීමෙන් සුව වෙති. රෝග සුවය නමැති ශාන්තිය කයේ ස්පර්ශ නොවී නම් රෝග සුවය ද කිසි කලෙක නොවේ. එසේ නොවී නම් රෝග සුවය නමැති සුඛයෙන් රෝගියාට ප්‍රයෝජනයක් ද නොවේ. එහෙයින් රෝගය මෙන් ම රෝග සුවය නමැති ශාන්තිය ද කයෙහි ස්පර්ශව පවත්නා ධර්මයක් බව දත යුතු. මේ රූප කයෙහි හට ගන්නා වූ රෝගයන්ගේ නිවීම රූප කයින් ස්පර්ශ කරනු ලබන ආකාරයයි.

ප්‍රේමණීය පුත්‍රදාරාවන්ගේ මරණය හේතුකොට ගෙන මහත් ශෝකාග්නියෙන් පෙළෙමින් සිටින්නා වූ පුද්ගලයකුට සද්ධර්ම ශ්‍රවණය කරන්නට ලැබීමෙන් ශෝකාග්නිය නිවී ගිය කල්හි නාම කයෙහි පැවති ශෝකාග්නිය හා එහි නිවීම නමැති ශාන්ති සුඛය යන දෙක ම ඔහුගේ නාම කයෙහි ම වූයෙන් නාම කයින් ස්පර්ශ කරන ලද්දාහු වෙති. මේ නාම කයෙහි හට ගන්නා වූ ශෝකාදීන්ගේ නාම කයෙහි ස්පර්ශ වන ආකාරයයි.

අනාගත ධර්මයන්ගේ ස්පර්ශය මෙසේ දතයුතු. එක්තරා පුරුෂයෙක් තෙම යම්කිසි අපරාධයක් කිරීම හේතුකොට ගෙන රජු විසින් තුන් දිනකින් මතු හිස සිඳ මැරීමට නියම කරන ලද්දේ ය. ඔහුගේ ඥාති මිත්‍රයන්ගේ ඉල්ලීම හේතු කොට ගෙන දෙවන දවස්හි ඔහුට සමාව දෙන ලද්දේ ය. මේ උපමාවෙහි කියන ලද පුරුෂයාට සමාව නොදෙන ලද්දේ නම් තුන්වන දිනයෙහි ඒකාන්තයෙන් ජීවිතක්‍ෂයට පමුණුවන්නා වූ ශස්ත්‍ර ප්‍රහාරය ඔහුගේ රූප කයෙහි පතිත වන්නේ ය. සමාව දීම හේතු කොට ගෙන ඔහු ඉන් මිදුනේ ය. ඒ මිදීම නමැති ශාන්ති සුඛය වනාහි මතු ශරීරයෙහි ස්පර්ශ වන ශස්ත්‍ර ප්‍රහාරයාගේ නිවීම හෙයින් ශස්ත්‍ර ප්‍රහාරය යම් තැනකට වේ නම් ශාන්තිය ද එතනට ම වන ධර්මයකි. එහෙයින් එය රූප කයින් ස්පර්ශ කරන ලද ධර්මයක් වේ. නිදහස් කරන ලද බව ඇසූ වහා ම මහත් වූ ප්‍රීතියට පැමිණ ඒ ශාන්ති සුඛය නාම කයින් ස්පර්ශ කරනු ලබන්නේ ය. මේ අනාගත ධර්මයන් නාම කයෙහි හා රූප කයෙහි ස්පර්ශ වන ආකාරයයි.

එක්දහස් පන්සියක් වූ ක්ලේශයෝ වනාහි සත්ත්වයන්ගේ හෘදයෙහි දැල්වෙන්නා වූ ගිණි කඳු එක්දහස් පන්සියයකි. පෘථග්ජන සත්ත්වයෝ මේ වනාහි ස්කන්ධයන්ගෙන් නිරතුරුව දවනු ලැබෙත්. ඒ දුක්ඛයෙන් මිදෙනු කැමති පුද්ගලයන් විසින් භව බොහෝ ගණනක් මුලුල්ලෙහි පාරමී ධර්මයන් පුරා අන්තිම භවයෙහි ශීල විශුද්ධ්‍යාදි සප්ත විශුද්ධි ධර්මයන් සම්පූර්ණ කළ කල්හි ඔවුහු සෝවාන් මගට පැමිණෙත්. එකල ඔවුන්ගේ සතන් වල පැවති දෘෂ්ටි විචිකිත්සා යන ගිණිකඳු දෙක නිවෙත්. අතීතයෙහි රැස්කරන ලද අපාය ප්‍රතිසන්ධිය ගෙන දිය හැකි අකුශල කර්ම සඞ්ඛ්‍යාත නිරය බීජයන් අතුරුදහන් වීමෙන් අපායෙහි ඉපදිය යුතු ස්කන්ධයෝ ද නිරුද්ධ වෙති. ඒ ක්ලේශ ස්කන්ධ නිරෝධය නිර්වාණ ධාතුවයි. ස්වකීය හෘදයෙහි දැල්වෙමින් පැවති ඒ ගිණිකඳු දෙකේ නිවීම ඔවුන්ගේ චිත්ත සන්තානවල ම වූ හෙයින් එය නාම කාය සඞ්ඛ්‍යාත කයින් ස්පර්ශ කරන ලද්දක් වේ. දෘෂ්ටි විචිකිත්සා නමැති ගිණිකඳු දෙක නිවී ගියේ ය, අපායෝත්පත්තිය ද සිඳී ගියේයයි ඥානයෙන් දැනගත් කල්හි ඒ ක්ලේශ ස්කන්ධ නිරෝධය (නිවන) ඥානයෙන් ස්පර්ශ කරන ලද්දේ වේ. මේ නිර්වාණ ධාතුව කාය ඥාන ද්වයෙන් ස්පර්ශ කරනු ලබන ආකාරයයි. නිර්වාණ සුඛය මෙසේ කාය ඥානද්වයෙන් ස්පර්ශ කළ හැක්කේ පරමාර්ථ වශයෙන් ඒකාන්තයෙන් ඇත්තා වූ ධර්මයක් හෙයිනි. ඉදින් පරමාර්ථ වශයෙන් නැත්තා වූ මනුෂ්‍යයන්ගේ ව්‍යවහාරයෙහි පමණක් ඇති ප්‍රඥප්තියක් වී නම් එය කිසිසේත් කයින් හෝ ඥානයෙන් ස්පර්ශ කළ නොහේ. සස විසාණය (සා අඟ) ඒකාන්තයෙන්ම නැති, මනුෂ්‍යයන්ගේ ව්‍යවහාරයෙහි පමණක් ඇති ප්‍රඥප්තියකි. එහෙයින් සා අඟක් කිසිවකුට සොයා ගත නොහේ. කිසිවකුට කයින් ස්පර්ශ කළ නොහේ. මෙයින් අන්‍ය ප්‍රඥප්ති ධර්මයෝ ද මේ සස විසාණය මෙන් කාය ඥාන ද්වයෙන් ස්පර්ශ කළ නො හැක්කා වූ ධර්මයෝ වෙත්. යම් ධර්මයක් එසේ ස්පර්ශ කළ හැක්කේ නම් එය පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයක් යයි දත යුතු. මේ සාක්ෂාත් කරණ කෘත්‍යයෙහි ලා පරමාර්ථ ප්‍රඥප්ති ධර්ම බෙදාගත යුතු ආකාරයයි.

මෙතෙකින් නිර්වාණ විනිශ්චයේ ප්‍රථම පරිච්ඡේදය නිමි.