පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා අයත් දෙයක් කම් පල සලකා දීම දාන නම් වේ. අභිධර්ම ක්‍රමයෙන් කියත හොත් තමා අයත් දෙය දීම් වශයන් උපදනා චේතනාව දාන යැයි කියනු ලැබේ.
ආහාර පාන වස්ත්‍රාදි දාන වස්තූන්ට ද දාන යන නම කියති. මෙහි එය අදහස් කරනු නො ලැබේ. ගුණාදියෙන් තමාට උසස් අයට ගෞරව පෙරදැරිව කරන දීම පූජා නම් වේ. ගුණාදියෙන් තමා හා සම වූවන්ට ද පහත් වූවන්ට ද උපකාර වශයෙන් මෛත්‍රී කරුණා පෙරදැරිව දීම අනුග්‍රහ නම් වේ. ණයට දීම, ණය ගෙවීම, පඩි දීම, බදු ගෙවීම යනාදිය පූජා හෝ අනුග්‍රහ නොවන බැවින් දාන සංඛ්‍යාවටනො ගනු ලබේ. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් පවත්වන ලද දානය ම බෝධිත්‍රය අතුරෙන් යම් කිසිවක් හෝ නිවන හෝ පතා කරන කල්හි දාන පාරමිතාව නම් වේ. චර්‍ය්‍යාපිටකාර්ථ කතාවෙහි වනාහි:
“කරුණූපාය කොසල්ල පරිග්ගහිතා අත්තූපකරණ පරිච්චාග චේතනා දානපාරමිතා” යයි කරුණාවෙන් හා උපා දන්නා නුවණින් වැළඳ ගන්නා ලද ආත්මෝපකරණ පරිත්‍යාග චේතනාව දාන පාරමිතාව යයි දක්වා තිබෙන්නේ මහා බෝධි සත්ත්වයන්ගේ දාන පාරමිතාව ය.
ලොවුතුරා බුදුවීමට විවරණ ලත් මහ බෝසත්හු එදින ම, “කුමක් කිරීමෙන් බුදු විය හැකි ද? බුදුවන්නට කල යුතු දේවල් කවරහු දැ” යි සිය නැණින් සොයති. එසේ බුද්ධ කාරක ධර්මයන් සොයන මහබෝසතුන් විසින් පළමු කොට දැක පළමුවෙන් සමාදන් වන්නා වූ ධර්මය දාන පාරමිතාව ය.
“හන්ද බුද්ධකරෙ ධම්මෙ විචිනාමි ඉතො චිතො
උද්ධං අධො දසදිසා යාවතා ධම්මධාතුයා.
විචිනන්තො තදා දක්ඛිං පඨමං දානපාරමිං
පුබ්බකෙහි මහෙසීහි අනුචිණ්ණං මහාපථං
ඉමං ත්වං පඨමං තාව දළ්හං කත්වා සමාදිය,
දානපාරමිතං ගච්ඡ යදි බොධිං පත්තුමිච්ඡසි”
මේ අප බෝසතුන් විවරණ ලැබ පාරමී ධර්මයන් සෙවීමේ දී දාන පාරමිතාව දැක සමාදන් වූ සැටි දැක්වෙන බුද්ධවංශ පාලියේ එන ගාථා තුනෙකි. ඒවායේ තේරුම මෙසේ ය:
මම දැන් මේ ධර්මධාතු සංඛ්‍යාත ලෝකයෙහි දෙව් ලොව ද මිනිස් ලොව ද යන සැම තැන ම දශ දිශාවෙහි ම ඔබ මොබ බුද්ධකාරක ධර්මයන් සොයමි.
සොයන්නා වූ මම එකල්හි පෙර බුදුවරයන් ගිය මහා මාර්ගය වූ දාන පාරමිතාව පළමු කොට දුටුයෙමි.
ඉදින් නුඹ සම්බෝධියට පැමිණෙනු කැමැත්තෙහි නම් පළමු කොට ම මේ දාන පාරමිතාව තද කොට ගනුව. දාන පාරමිතාව පුරව. - යනුයි.
දන් දීම සෑම දෙනාට ම කළ හැකි පහසු දෙයක් නොවේ. දන් දීමේ අපහසු කම දුප්පත් කම ම නොවේ. සුළු දෙයක් නොවටිනා දෙයක් තමනට ප්‍රයෝජනයක් නැති දෙයක් දීම සැමට ම කල හැකි වුවද, උසස් දෙයක්, වටිනා දෙයක්, දුනහොත් පාඩුවන තමාට ප්‍රයෝජනවත් දෙයක් දීම බොහෝ දුරට සිත දියුණු කරගත් - නුවණ දියුණු කරගත් අයට මිස, අන්‍යයන්ට නො කළ හැකිය. උසස් දේ නො දී, වටිනා දේ නොදී දාන පාරමිතාව සම්පූර්ණ නො කළ හැකිය. වටිනා දේ උසස් දේ දීම වනාහි යුද්ධයක් කිරීම සේ අමාරු වැඩක් බව “දානං ච යුද්ධං ච සමානමාහු” යනුවෙන් දක්වා තිබේ. උසස් දේ දීමේ දුෂ්කරත්වය දසණ්ණක ජාතකයේ මෙසේ දක්වා තිබේ. එය සත්තක නිපාතයේ ජාතකයෙකි.
පෙර බරණැස් නුවර විසූ මද්දව නම් රජෙක් ඉතා වටිනා දෙයක් දී එහි ආශාව නිසා රෝගාතුර විය. මානසික රෝගය බෙහෙත් වලින් සුව කළ නොහෙන බැවින් රජු සුවපත් කරනු පිණිස රජ මිදුලේ ක්‍රීඩා දැක්වීමක් කලහ. එහි එක් පුරුෂයෙක් දෙතිස් අඟලක් දිග තියුණු කඩුවක් ගිල්ලේය. රජ එය දැක පුදුම වී ලෝකයෙහි එයට වඩා තවත් දුෂ්කර දෙයක් ඇත්තේ දැ යි ඇමතියකුගෙන් විචාළේ ය. එකල්හි ඇමති තෙමේ -
“ගිලෙය්‍ය පුරිසො ලොභා අසිං සම්පන්න පායිනං
යොච වජ්ජා දදාමීති තං දුක්කරතරං තතො
සබ්බඤ්ඤං සුකරං ඨානං එවං ජානහි මාගධ”
මගධ රජ්ජුරුවනි, පුරුෂයෙක් ධන ලෝභයෙන් මුවහත් වූ අනුන්ගේ ලේ බොන්නා වූ කඩුව ගිලින්නේය. යමෙක් තමා අයත් දෙයක් අනුන්ට දෙමිය කියා නම් (දෙන්නට පොරොන්දු වේ නම්) එය කඩුව ගිලීමට වඩා දුෂ්කරය. ලෝකයෙහි ඇති අන් කරුණු සියල්ල ම පහසුය. දෙමි යයි කීම ම ඒ සියල්ලට දුෂ්කර වේ යයි කීයේ ය. එය අසා මගධ රජ අන් ඇමතියකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා තවත් දුෂ්කර දෑ ඇත්තේ දැයි විචාළේ ය. එකල්හි ඇමති තෙමේ කියනුයේ -
“න වාචමුපජීවන්ති අඵලං ගිරමුදීරිතං
යො ච දත්වා අවාකයිරා තං දුක්කරතරං තතො
සබ්බඤ්ඤං සුකරං ඨානං එවං ජානාහි මාගධ.”
මගධ රජ්ජුරුවනි, වචනය නිසා ජීවත් වන්නෝ නැත. එබැවින් වචනය නිෂ්ඵලය. යමෙක් කී සැටියට ම වස්තු ලෝභය දුරු කොට කී දේ දෙයි නම් එය ම දුෂ්කර කාරණය ය. ලෝකයේ ඇති අන් සියල්ල ම පහසු යයි කීයේය. එය ඇසූ රජතුමා මම පොරොන්දු වූ සැටියට ම දුෂ්කර දෙයක් කළෙමි යි සතුටු වී ශෝකය තුනී කර ගෙන: සමීපයේ සිටි මහ බෝසත් සේනක පඬිතුමා ගෙන් කියන ලද කරුණු දෙකට වඩා තවත් දුෂ්කර කරුණු ඇත්දැ යි විචාළේ ය. සේනක පණ්ඩිතයෝ කියන්නාහු-
“දදෙය්‍ය පුරිසො දානං අප්පං වා යදි වා බහුං
යො ච දත්වා නානුතප්පෙ තං දුක්කරතරං තතො
සබ්බඤ්ඤං සුකරං ඨානං එවං ජානාහි මාගධ”
මිනිස් තෙමේ ස්වල්ප වූ ද මහත් වූ ද දාන දෙන්නේය. යමෙක් උසස් දෑ වටිනා දෑ දී දුන් දෙය ගැන පසුව නො තැවේ නම්, එය ම දුෂ්කර කාරණය වන්නේ ය. මගධ රජ්ජුරුවනි, අන් සියල්ල ම එයට වඩා පහසු කරුණු යයි කීහ. මහ බෝසතුන් ගේ කීම අසා මගධ රජතුමා මම දැන් දුෂ්කර කරුණු දෙකක් සම්පූර්ණ කළෙමිය. මා වැන්නකුට දුන් දෙය ගැන ශෝක කිරීම නුසුදුසුය. ඒ තුන් වන දුෂ්කර කාරණය ද මා විසින් සිදු කළ යුතු යැයි සලකා ශෝකය දුරු කර ගත්තේ ය. දීමෙහි ඇත්තා වූ දුෂ්කරත්වය මේ කථාවෙන් දත හැකිය.
දීම කොතරම් දුෂ්කර කරුණක් වුව ද සම්බෝධියට පැමිණෙනු කැමතියන් විසින් එය කල යුතු ම ය. දන් දිය හැකි වන තරමට ධෛර්‍ය්‍යය දියුණු කර ගැනුමෙන් ද, නුවණ දියුණු කර ගැනීමෙන් ද, දීම පුරුදු කිරීමෙන් ද, උසස් දෑ දිය හැකි තත්වයට පැමිණිය හැකි ය. දාන පාරමිතා නො පිරිය හැකි තැනැත්තාට ඉතිරි පාරමිතා ද නො පිරිය හැකිය. දාන පාරමිතාව දියුණු කර ගත් තරමට ඉතිරි පාරමිතා ද පිරිය හැකි ය. දාන පාරමිතාව ගුණයන්ගේ ප්‍රතිෂ්ඨාව ය. දන් දීමට නො සමත් තැනැත්තා කෙරෙහි උසස් ගුණ නො පිහිටිය හැකි ය.
ඇතැමුන් දානය පහත් කොට සුළු කොට කථා කරන්නේ නො දැනීම හෝ කපටිකම හෝ නිසාය. දීම කෙනෙකුගේ ගුණ මැනීමේ කෝදුව ය. හැම ගුණයෝම පරිත්‍යාගය මුල් කොට ඇත්තෝය. ප්‍රාණඝාතයෙන් වැළකීම එක් ගුණයකි. රුපියලක් පරිත්‍යාග කිරීමට සමත් තැනැත්තේ රුපියලක ලාභය නිසා ද, රුපියලක අලාභය නිසා ද, ප්‍රාණඝාතය නො කරයි. එහෙත් ප්‍රාණඝාතයෙන් වැළකුම නිසා රුපියල් පහක දහයක අලාභයක් වත හොත් හේ ප්‍රාණඝාතයෙන් වැළකීමට සමත් නොවේ. රුපියල් පහක් දහයක් පරිත්‍යාග කිරීමට සමත් තැනැත්තා ම එයින් වැළකීමට සමත් වේ. රුපියල් දහසක් පරිත්‍යාග කිරීමට සමත් තැනැත්තේ දහසක ලාභයටද ප්‍රාණඝාතයෙන් වැළකීමට සමත් වේ. දහසකට වන අලාභය රැක ගැනීම පිණිස ද ඔහුට ප්‍රාණඝාතයෙන් වැළකිය හැකිය.
අඹුදරුවන් පරිත්‍යාග කිරීමේ ශක්තිය ඇති තැනැත්තාට අඹු දරුවන්ට හානි කරන අඹු දරුවන් නසන්නට තැත් කරන සතුරා නොමරා ප්‍රාණ ඝාතයෙන් වැළකිය හැකිය. ජීවිතය පරිත්‍යාග කිරීමේ ශක්තිය ඇති තැනැත්තා හට දිවි නසන්නට තැත් කරන සතුරා නො නසා ප්‍රාණඝාතයෙන් වැළකිය හැකි ය. මෙසේ ඒ ඒ පුද්ගලයන්ට කවර ගුණ ධර්මයක් වුවත් පිරිය හැකි වන්නේ, ගුණ ධර්මයෙහි පිහිටා සිටිය හැකි වන්නේ ත්‍යාග ශක්තියේ හැටියට බව දත යුතුය.
ගුණ ධර්මයන් ගේ වටිනා කම, ප්‍රමාණ කරනු ලබන්නේ ද ත්‍යාගයෙනි. ශතයක් වත් අලාභය ඉවසීමේ ශක්තිය නැති තැනැත්තා විසින් සිල් සමාදන් වී නිකන් සිටින කාලයේ කීමට පමණක් රක්නා ශීලය ශතයකුදු නො වටනේය. රුපියලක් රැක ගැනීමට හෝ රුපියලක් ලබා ගැනීමට හෝ සිකපදය නො ඉක්ම වන්නා ගේ ශීලය රුපියලක් වටනේය. රුපියල් සියයක් දහසක් දසදහසක් ලක්‍ෂයක් කෝටියක් නිසා කඩ නො කරන්නා වූ ශීලය ඒ ඒ තරමට වටනේය. අඹු දරුවන් නිසා නො කඩ කරන ශීලය අඹු දරුවන් පමණ ද, ශරීරාවයවයන් නිසා නො කඩ කරන ශීලය ශරීරාවයවයන් පමණද, ජීවිතය නිසා නො කඩ කරන ශීලය ජීවිතය පමණ ද වටිනා බව දත යුතුය. ඉතිරි ගුණ ධර්මයන් ගේ වටිනා කම් ද කියන ලද්දට අනුව තේරුම් ගත යුතුය. මෙසේ ත්‍යාග ශක්තිය ම ගුණ ධර්මයන්ගේ ප්‍රතිෂ්ඨාව ද මිම්ම ද වන බැවින් දාන පාරමිතාව ගුණ ධර්මයන් ගේ රජ බව කිව යුතු ය. එබැවින් මහ බෝසත්හු පළමු කොටම එය සමාදන් වෙති.
දාන පාරමිතාව පාරමීන්ගේ රජ වතු දු, බෞද්ධයන් සැම දෙන නිවන් පතන නමුදු, වර්තමාන බෞද්ධයන්ගෙන් වැඩි දෙනෙක් දාන පාරමිතාවේ ඉතා පහත් තැනක සිටින්නෝ ය. දීමේ ශක්තිය තබා තව ම බොහෝ බෞද්ධයන්ට දාන කථාව ඇසිය හැකි ශක්තියවත් ලැබී නැත. ඔවුහු දන් දීම ගැන කථා කළ හොත් බණ කියුව හොත් ධර්මකථිකයාට පවා බැණ බැණ යෙති. දාන කථා ශීල කථා ස්වර්ග කථාදිය පිළිවෙළින් කියමින් දහම් දෙසීම කළ යුතු වුවද ඔවුන්ගේ කරදරය නිසා වර්තමාන ධර්මකථිකයනට දාන කථාව හැර දමා දහම් දෙසන්නට සිදු වී තිබේ. ගිහියන්ගේ තත්ත්වය පමණක් නොව මේ අතින් පැවිද්දන්ගේ තත්වය ද සංවේග ජනකය.
අකීර්ති තාපසයන් වහන්සේ තමන් වහන්සේට වළඳන්නට තුබූ ආහාරය පිළිවෙළින් තෙදිනක් තමන් නිරාහාරව සිටගෙන දන් දුන්නාහ. අපේ වර්තමාන පැවිදි උතුමන් වහන්සේලා ගෙන් ඇතැමෙක් දීම තමන් විසින් කළ යුත්තක් බව පවා නො දනිති. දීම ගිහියන්ට මිස පැවිද්දන්ට අයත් නොවන වැඩක් සැටියට ඔවුහු සිතති. මේ තත්ත්වයෙන් නො නැඟී සිටින තෙක් ඔවුනට නිවනට ලං විය හැකි නො වේ.