මෙකල ඇතැමෙක් දුශ්ශීල දානය මහා පාපයකැ යි මහා අපරාධය කැ යි හඬ නගති. බුදුරජාණන් වහන්සේ දක්ෂිණාවිභංග සූත්‍රයෙහි දානමය කුශලය කුඩා මහත්වීම් වශයෙන් දක්ෂිණාර්හයන් හෙවත් ප්‍රතිග්‍රාහකයන් බෙදා දක්වා තිබේ. දුන හොත් දෙන තැනැත්තාට පව් සිදුවන නො දිය යුතු පුද්ගලයකු එහි හෝ අන් තැනක හෝ දක්වා වදාරා නැත. කවරකුට වත් නො දිය යුතු යයි බුදුන් වහන්සේ කොතැනකදී වත් නො වදාළ සේක. යමෙක් කාහට වුවත් නො දීමට අනුශාසනය කෙරේ නම්, හේ ප්‍රතිග්‍රාහකයාගේ ලාභය නැති කිරීමෙන් හා දායකයාගේ කුශලය නැති කිරීමෙන් ද පාපයක් කර ගන්නේ ය. තමාගේ සත්පුරුෂ ගුණය ද නැති කර ගන්නේ ය. දන් දීම් වැළැක්වීම ගැන බුදුන් වහන්සේ වදාරා තිබෙන්නේ මෙසේ ය.
“යො ඛො වච්ඡ, පරං දානං දදන්තං වාරෙති. සො තිණ්ණං අන්තරායකරො හොති, තිණ්ණං පාරිපන්ථිකො, කතමෙසං තිණ්ණං? දායකස්ස පුඤ්ඤන්තරායකරො හොති. පටිග්ගාහකානං ලාභන්තරාය කරො හොති, පුබ්බෙව ඛො පනස්ස අත්තා ඛතො ච හොති උපහතොව.”
(අංගුත්තර නිකාය - තික නිපාත)
“වච්ඡය, යමෙක් අනුන්ට දන් දෙන්නකු එයින් වළක්වා ද හේ තිදෙනකුට අන්තරාය කරන්නේ වේ. තිදෙනකුගේ වස්තුව පැහැර ගන්නා සොරෙක් වේ. කවර තිදෙනකුට හේ අන්තරාය කෙරේ ද? දායකයාගේ පිනට අන්තරාය කෙරේ. ප්‍රතිග්‍රාහකයාගේ ලාභයට අන්තරාය කරන්නේ වේ. පළමුවෙන් තමා ගේ සත්පුරුෂ ගුණය හාරා දැමූයේ වේ. සත්පුරුෂ ගුණය නැති කළ කෙනෙක් වේ” ය යනු එහි තේරුම යි.