වැදෑ රට හස්ති ග්‍රාමයෙහි විසූ උග්ග සිටු තුමා ගේ චරිතය ද දන් දෙන්නවුන් විසින් සැලකිය යුත්තකි. එය අංගුත්තර නිකායේ අෂ්ටක නිපාතයේ ගෘහපති වර්ගයේ දක්නා ලැබේ. දිනක් තථාගතයන් වහන්සේ වැදෑ රට හස්ති ග්‍රාමයෙහි වැඩ වෙසෙන සේක්, උග්ග සිටු තුමා ආශ්චර්‍ය්‍ය කරුණු අටක් ඇති කෙනෙකැ යි වදාළ සේක. එය ඇසූ එක් භික්ෂුවක් උග්ග සිටු තුමා වෙත ගොස් “මහතාණෙනි, ඔබ කෙරෙහි ආශ්චර්‍ය්‍ය කරුණු අටක් ඇතහ යි තථාගතයන් වහන්සේ වදාළ සේක. පින්වත! ඔබ කෙරෙහි ඇති ඒ ආශ්චර්‍ය්‍ය කරුණු මොනවා දැ යි අපි දැන ගනු කැමැත්තම්හ. අපටද ඒවා කියනු මැනව” යි කීහ.
උග්ග සිටුතුමා තමා කෙරෙහි ඇති ආශ්චර්‍ය්‍ය කරුණු අටක් ඒ භික්ෂුවට ප්‍රකාශ කෙළේය. භික්ෂූන් වහන්සේ බුදුන් වහන්සේ වෙත ගොස් උග්ග සිටු තුමා කී කරුණු උන්වහන්සේට සැළකළහ. තථාගතයන් වහන්සේ ඒ සියල්ල එසේ ම යයි ස්ථිර කළ සේක. පිළිගත් සේක. ඒවා දනු කැමැත්තන් විසින් අංගුත්තර නිකායෙන් බලාගත යුතුය. ඒවායින් එක් කරුණක් දැක්වෙන්නේ මෙසේ ය.
“අනච්ඡරියං ඛො පන භන්තෙ, සංඝෙ නිමන්තිතෙ දෙවතා උපසංකමිත්වා ආරොචෙන්ති, අසුකො ගහපති භික්ඛු උභතො භාග විමුත්තො, අසුකො පඤ්ඤා විමුත්තො, අසුකො කායසක්ඛී, අසුකො දිට්ඨිප්පත්තෝ, අසුකො සද්දාවිමුත්තො, අසුකො සද්ධානුසාරි, අසුකො ධම්මානුසාරි, අසුකො සීලවා කල්‍යාණ ධම්මො, අසුකෝ දුස්සීලො පාපධම්මොති, සංඝං ඛො පනාහං භන්තෙ පරිවිසන්තො නාභිජානාමි එවං චිත්තං උප්පාදෙතා, ඉමස්ස වා ථොකං දෙම ඉමස්ස වා බහුකන්ති, අථඛ්වාහං භන්තෙ සමචිත්තොව දෙමි. අයං ඛො මෙ භන්තෙ ජට්ඨො අච්ඡරියො අබ්භූතො ධම්මො සංවිජ්ජති.”
මේ උග්ග සිටුතුමා ඔහුගේ එක් ආශ්චර්‍ය්‍ය කරුණක් ඒ භික්ෂුවට සැලකළ සැටි දැක්වෙන අංගුත්තර නිකායේ එන පාඨයෙකි. ඒ පාඨයෙන් දැක්වෙන්නේ උග්ග සිටුතුමා සංඝයා හට ආරාධනා කොට දන් දෙන්නට සැරසෙන විට රාත්‍රියෙහි දෙවියන් අවුත් ඒ සිටුවරයාට පසු දින දන් පිළිගැනීමට පැමිණෙන භික්ෂූන්ගේ තතු කියන බවත්, එතුමා “මේ භික්ෂුව සිල්වත්ය. මේ භික්ෂුව දුශ්ශීල ය” යි දැන ගෙන ම දන් දෙතත් සිල්වතුන්ට වැඩි කොට දෙන්නටත් දුශ්ශීලයන් ට මඳ කොට දෙන්නටත් නො සිතා, රහත් නො රහත් සිල්වත් දුසිල් සැමට සම සිතින් සම සේ දෙන බවත් එතුමා කෙරහි ඇති සවන ආශ්චර්‍ය්‍ය කරුණ බව ය.
උග්ග සිටුතුමා අනාගාමී ආර්‍ය්‍ය පුද්ගලයෙකි. දුශ්ශීලයනට දීම පාපයක් නම් අනාගාමී පුද්ගලයෙකු වූ උග්ග සිටුතුමා දැන දැන ම කෙසේ නම් දුශ්ශීලයනට දන් දේ ද? නො දේ ම ය. ඇතැමුන් කියන සැටියට දැන දැනම දුශ්ශීලයනට දන් දීම පපයක් නම්, බුදුන් වහන්සේ එය උග්ග සිටුතුමා ගේ මහා ගුණයක් කොට ආශ්චර්‍ය්‍ය කරුණක් කොට නො වදාරන සේක. මේ කාරණයෙන් පෙනෙන්නේ දුශ්ශීලයන් හැර සිල්වතුන් තෝරා දන් දෙනවාට වඩා හැමට ම දීම උසස් බව ය. දුශ්ශීලයන්ට දන් දීම පාපයකැ යි කියන්නවුන් එසේ කියන්නේ ආගම නො දැනීම නිසා හෝ ඊර්‍ය්‍යාව නිසා හෝ වඩ වඩා ලාභ උපදවා ගැනීම පිණිස හෝ විය යුතුය.
කෛරාටික කම වැඩි වැඩි පමණට වඩ වඩා සිල්වතකු සැටියට ලොවට පෙනී සිටිය හැකි ය. එබැවින් කෙනෙක් සිල්වත් ද දුශ්ශීල ද කියා තේරුම් ගැනීම පහසු නොවේ. ලෝකයා විසින් උග්‍ර සිල්වතුන් සැටියට සලකන අය අතර දුශ්ශීලයන් සිටිය හැකි ය. දුශ්ශීලයන් කොට සලකන අය අතර හොඳ සිල්වතුන් ද සිටින්නට බැරි නැත. කෙනෙක් සැබෑවට සිල්වත් ද? නැත ද? යන බව තේරුම් ගත හැකි වන්නේ බොහෝ කල් ළඟින් ආශ්‍රය කළ හොත් ය. එසේ කළත් ඒ බව කල්පනා කරන්නකුට මිස සැමට ම තේරුම් ගත නො හැකි ය. ධර්ම විනය දෙක දත් නුවණැතියකුට මිස අනිකකුට තේරුම් නො ගත හැකිය. එ බැවින් බුදුන් වහන්සේ කොසොල් රජතුමාට,:
“සංවාසෙන ඛො මහාරාජ සීලං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා න ඉත්තරං මනසි කරොතා නො අමනසිකරොතා, පඤ්ඤවතා නො දුප්පඤ්ඤෙන”
යනු වදාළ සේක. අනුන් ගේ තතු සොයා ගැනීම පහසු කාර්‍ය්‍යයක් නො වන බැවින් දානපාරමිතාව පුරන පින්වතා විසින් කවරකුට වුව ද දී තමා ගේ පාරමිතාව සම්පූර්ණ කර ගත යුතු ය. දන් දීමට සිත නමා ගැනීමට දුෂ්කර වී තිබෙන්නේ බොහෝ දෙනාට අනුන් ගේ නුගුණ සෙවීම ම පුරුදු වී තිබෙන බැවිනි. අනුන් ගේ අගුණ සොයන අගුණ ගණන් ගන්නා ස්වභාවය හැර දමා අනුන්ගේ ගුණ සොයන කෙනකු විය යුතු ය. ලෝකයෙහි ගුණයක් ඇත්තේ ම නැති අගුණ ම ඇති පුද්ගලයෙක් සෙවිය නො හැකි ය. යම් කිසි එක් ගුණයක්වත් කා කෙරෙහිත් ඇත. ප්‍රතිග්‍රාහකයා ගේ අගුණ සිහිකරන්නට නො ගොස් ඔහු කෙරෙහි ඇති ගුණයක් සොයා සිත පහදා ගැනීමෙන් දීම කළ හැකි වේ.
ප්‍රතිග්‍රාහකයා හරක් මරන්නේ නම් හේ මිනී නො මරන්නේය, මිනී මරන්නකුට වඩා මේ හරක් මරන්නා ගුණවතෙකැ යි සිතා ගත යුතු ය. ප්‍රතිග්‍රාහකයා මිනීත් මරන්නේ නම් ඔහු මා පියන් නො මරන්නේ ය‚ මා පියනුත් මරණ මේ ලෝකයෙහි මා පියන් නො මරන මොහු හොඳය යි සිතා ගත යුතු ය. මෙසේ අනුන්ගේ ගුණ දක්නට පුරුදු කර ගැනීමෙන් දාන පාරමිතාව පිරීම පහසු වේ. දීම කරුණාව පෙරදැරි කර ගෙන කරන්නා හට දුශ්ශීලයාට දීම වඩාත් පහසු ය.
සිල්වතා ය, දුශ්ශීලයා ය යන දෙදෙනාගෙන් වඩා කරුණාවට පාත්‍ර වන්නේ දුශ්ශීලයා ය. දුශ්ශීලයා දුශ්ශීල භාවයෙන් මෙලොව පිරිහෙයි. මරණින් මතු ද අපාගත වෙයි. එබැවින් හේ අනුකම්පා කළ යුත්තෙකි. මරණින් මතු අපාගත වී මහ දුකට පත් වන්නට සිටින මොහු මාගේ දානයෙන් මඳ සුවයක්වත් ලබාවා යි අනුකම්පා වශයෙන් දුශ්ශීලයාට දිය හැකි ය. දුශ්ශීලයාට දීම පාපයක යන ඇතැම් භවතුන් ගේ කීම ගැන මුළා වී සිල්වතුන් ම සොයන්නට නො සිට කා හට හෝ දන් දී දාන පාරමිතාව සම්පූර්ණ කෙරෙත්වා.