ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ සම්පත්තියද දානය මහත් ඵල වීමට කරුණෙකි. ගුණවත් ප්‍රතිග්‍රාහකයන්ට දෙන දානය මහත් ඵල වේ. ගුණ හීනයන්ට දෙන දානය අල්ප ඵල වන්නේය. එහෙත් දායකයා ගුණ සම්පන්න නම් කා හට වුව ද කරන දීම මහත්ඵල වේ. එබැවින්
“යො සීලවා දුස්සීලෙසු දදාති දානං
ධම්මේන ලද්ධං සුපසන්නචිත්තො.
අභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා දායකතො විසුජ්ඣති”
යි දක්ෂිණාවිභංග සූත්‍රයේ වදාරා තිබේ. යම් සිල්වතෙක් පහන් සිතින් දැහැමින් ලත් දෙය කර්ම කර්මඵලය විශ්වාස කොට දුශ්ශීලයන්ට දේ ද, ඒ දීම දායකයා ගේ වශයෙන් මහත්ඵල වන්නේය යනු එහි අදහස යි.
අන්‍ය සත්ත්වයන්ට - පුද්ගලයන්ට අනුග්‍රහ කිරීමේ අදහස උසස් ගුණයකි. ප්‍රධාන පව් සියල්ල ම අනුන්ට කරන නපුරුකම් ය. විපත් ය. අනුන්ට අනුග්‍රහ කිරීමේ අදහස යමෙකුට ඇති නම් හේ අනුන්ට අපරාධ නො කරන්නේ ය.
එබැවින් සිල් සමාදන් වූවත් නූවූවත් හේ සිල්වතෙකි. මහ බෝසත්හු නිතර ම අනුන්ට අනුග්‍රහ කිරීමේ අදහස ඇත්තේ ය. එබැවින් එතුමෝ නිතර ම සිල්වත්හු ය. ගුණවත්හු ය. තමන් ගුණවත් බැවින් මහබෝසතුන් විසින් දෙන දානය කවරකුට දුනත් එය උතුම් පිනක් වන්නේය. වෙසතුරු රජතුමා කිසි ගුණයක් නැති ජූජක බමුණාට දුන් දානය මහපොළොව ද සෙලවී ගිය මහ පිනක් වූයේ එහෙයිනි. මහබෝසතුන්ගේ දාන පාරමිතාව උපමා නැති තරම් විශාල ව්‍යාපාරයෙකි. එහි විශාලත්වය -
“සො සාගරෙ ජලධිකං රුධිරං අදාසි
භූමිං පරාජිය සමං සමදාසි දානං
මෙරුප්පමාණමධිකඤ්ච සමොලි සීසං
ඛෙ තාරකාධිකතරං නයනං අදාසි”
යනුවෙන් දක්වා තිබේ “ඒ මහබෝසතාණන් වහන්සේ සාගරයේ ජලයට අධික කොට ලේ දුන් සේක. මහ පොළොව පරදවා ඇඟ මස් දුන් සේක. මහමෙරේ ප්‍රමාණයට අධික කොට ඔටුනු පළන් හිස් දන් දුන් සේක. අහසේ තරුවලට අධික කොට ඇස් දුන් සේක"යනු එහි තේරුම යි.
සිල්වතුන් සොයා දන් දෙන්නට ගිය හොත් මහ බෝසත් කෙනකුට ඉහත කී වස්තූන් දෙන්නට කිසි කලෙක සිදු නො වන්නේ ය. කෙනකු ගේ ලේ මස් ඇස් ඉස් පිළිගන්නා සිල්වතා කවරේ ද? ඒවා පිළිගැනීමට කැමති වන සිල්වතුන් නො සෙවිය හැකි බැවින් මහ බෝසතාණන් වහන්සේ සාගර ජලය පරදවා ලේ දන් දෙන්නට ඇත්තේ ද දුශ්ශීලයන්ට ම ය. මහ පොළොව පරදවා ඇඟ මස් දෙන්නට ඇත්තේ ද දුශ්ශීලයන්ට ම ය. මහමෙර පරදවා හිස් දෙන්නට ඇත්තේ ද දුශ්ශීලයන්ට ම ය. අහසේ තරු පරදවා ඇස් දෙනට ඇත්තේ ද දුශ්ශීලයන්ට ම ය.
දන් දීම සඳහා සිල්වතුන් ම සොයන්නට ගිය හොත් මහ බෝසත් කෙනකුට දාන පාරමිතාව සම්පූර්ණ කොට කිසි කලෙක බුදුවන්නට නො ලැබෙන්නේ ය. එබැවින් මහ බෝසත්හු ප්‍රතිග්‍රාහක විභාගයක් නො කොට ම දන් දෙති. එහෙත් එතුමෝ ගුණවත් ප්‍රතිග්‍රාහකයන් ලත් කල්හි ඒ උතුමන්ට වඩා ආදරයෙන් දන් දෙති.
ප්‍රත්‍යේක බෝධි පාරමිතාව ගැන පොත පතේ දැක්වෙන කරුණු ඇත්තේ ස්වල්පයෙකි. ප්‍රතිග්‍රාහකයන් සම්බන්ධයෙන් ප්‍රත්‍යේක බෝධි සත්ත්වයන් ගේ පිළිපැදීමත් මහා බෝධි සත්ත්වයන්ගේ පිළිපැදීම වැනි විය යුතුය. ශ්‍රාවක බෝධි සත්ත්වයන් ගේ චරිත අනුව බලන කල්හි ප්‍රතිග්‍රාහකයන් සොයා දන් දීම ඔවුනට යහපත් බව කිව යුතුය. එහෙත් තමන් වෙත පැමිණෙන කවර ප්‍රතිග්‍රාහකයෙකුට වුව ද විභාගයක් නැතිව ශ්‍රාවක බෝධි සත්ත්වවරු ද දන් දෙති. ඔවුහු භික්ෂු භික්ෂුණී උපාසකෝපාසිකාවනට විශේෂයෙන් දන් දෙති.
කලින් සිය නිවෙස තීර්ථකයන්ට පැන් පොකුණක් කර තුබුණු උපාලි ගෘහපතිතුමා රත්නත්‍රය සරණ යාමෙන් පසු තීර්ථකයනට සිය නිවසට පැමිණීම තහනම් කළේය. භික්ෂු භික්ෂුණී උපාසකෝ-පාසිකාවන්ට සිය නිවස විවෘත කළේය. පැමිණෙන තීර්ථකයනට නිවසෙන් පිටතට ගෙන ගොස් දෙන ලෙස සේවකයනට අණ කළේ ය. තීර්ථකයන්ට දීම සම්පූර්ණයෙන් නො නැවැත් විය. ශ්‍රාවක බෝධිය පතනුවන් විසින් උපාලි ගෘහපතිතුමා ගේ දන් දීම ආදර්ශයට ගත යුතුය.