සැම දෙනා විසින් පාරමිතා සම්පාදනය කළ යුතු ආකාරය එකක් නො වේ. ලොවුතුරා බුදු බව පතන මහ බෝසතුන් විසින් පාරමිතා සම්පාදනය කළ යුතු ආකාරය එකෙකි. ප්‍රත්‍යේක බෝධිසත්ත්වයන් විසින් පාරමිතා සම්පාදනය කළ යුතු ආකාරය අනෙකකි. ශ්‍රාවක බෝධිසත්ත්වයන් විසින් සම්පාදනය කළ යුතු ආකාරය අනෙකකි. එයින් මහ බෝසතුන් විසින් පාරමී සම්පාදනය කළ යුතු ආකාරය මෙසේ ය:
මහ බෝසතුන්ගේ පාරමිතා සම්පාදනය චතුරංගයකින් යුක්ත විය යුතු ය. දශ පාරමීන් අතුරෙන් එකකුදු අඩු නො කොට සියල්ල ම සම්පාදනය කිරීම ඉන් එක් අංගයෙකි.
ඒවා සම්පාදනය කරන කල්හි දු පලක් නැති වැඩක් කරන්නාක් මෙන්, අනුන් ගේ වුවමනාවකට වැඩක් කරන්නාක් මෙන්, නො සැලකිල්ලෙන් නො කොට, ඉතාම ආදරයෙන් ගෞරවයෙන් සම්පාදනය කිරීම එක් අංගයකි.
දුර ගමනක් යන රෝගියකු නැවති නැවතී යන්නාක් මෙන් පාරමිතා සම්පාදනය කලින් කල නො නවත්වා දිගට ම කර ගෙන යෑම එක් අංගයකි.
කලක් පාරමිතා සම්පාදනය කොට අතහැර නො දමා කොතෙක් කල් හෝ ලොවුතුරා බුදු බවට පැමිණෙන තෙක් ම පාරමී සම්පාදනය කිරීම එක් අංගයෙකි. මේ අංග සතර මහ බෝසතුන්ගේ පාරමී සම්පාදනයේ උපාය සතරෙකි.
තව ද මහා බෝධිය පතන්නහු විසින් පළමු කොට “මාගේ මේ ආත්මභාවය බුදුවරුන්ට පිරිනමමි” යි බුදුවරුන්ට ආත්ම පූජාව කළ යුතු ය. “මා හට ලැබෙන්නා වූ ද, මා විසින් සපයන්නා වූ ද යම් වස්තුවක් වේ නම් ඒ සියල්ල වුව ද යාචකයන් ඇති වුව හොත් දන් දෙමි ය. දී ඉතිරි වූ දෙයක් වේ නම් එ පමණක් ම මාගේ ප්‍රයෝජනයට ගනිමි” යි ලබන්නට පළමු ව ම සියලු වස්තුව දීමට නියම කර ගත යුතු ය. දන් දීමට ඇති බාධක සතර දුරු කර ගත යුතු ය.
දන් දිය හැකි වීමට දීමේ පුරුද්ද තිබිය යුතු ය. නුපුරුද්ද දානයට එක් බාධකයෙකි. දාන වස්තුන් ද තිබිය දී ප්‍රතිග්‍රාහකයන් සිටිය දී යාචකයන් ඉල්ලද්දී දීමට සිත නො නැමෙන්නේ පුරුද්ද මඳ වීමෙනි. එකල්හි මහ බෝසත්හු සිතන්නාහු “මාගේ සිත දානයට නො නැමෙන්නේ පුරුද්දේ මඳ බව නිසා ය. මගේ වස්තුව ලබන්නට ද ප්‍රථමයෙන් මා විසින් දීමට නියම කර ගන්නා ලද්දේ ය. දැන් මා විසින් පුරුද්ද ඇතිවීම පිණිස දන් දීමට පටන් ගත යුතු ය” යි සිතා පළමු වන දාන බාධකය දුරු කර ගනිති.
දාන වස්තුන් මඳ බව හෙවත් දිළිදු කම දාන පාරමිතාවට ඇත්තා වූ එක් මහත් බාධකයෙකි. දීමට වස්තුව මඳ කල්හි මහ බෝසත්හු දැන් මා දිළිඳුව සිටින්නේ පෙර නුදුන් නිසා ය. මා විසින් දැන් ඇති සැටියට ස්වල්ප වශයෙන් හෝ දීම කළ යුතු යි සිතා ඇති සැටියට දන් දෙන්නට පටන් ගැනීමෙන් දෙ වන දාන බාධකය දුරු කර ගනිති.
සිය ගණන් දහස් ගණන් වස්තූන් ඉල්ලන කල්හි එතෙක් දීමට සිත නමා ගැනීම පහසු නො වේ. දහස් ගණන් ලක්‍ෂ ගණන් වටිනා දේවල් ඉල්ලන කල්හි ඒවා දීමට සිත නමා ගැනීම ද දුෂ්කර ය. ඉල්ලන දේවල් වැඩි වීම, දාන වස්තුවල වටිනාකම වැඩිවීම, දාන වස්තූන් උසස් දේවල් වීම දීමට එක් බාධකයෙකි. එබඳු අවස්ථාවල දී මහ බෝසත්හු “මා විසින් පතන දෙය වූ ලොවුතුරා බුදු බව සියල්ලටම උසස් දෙයක, වටිනාකම පමණ කළ නො හෙන දෙයක, බොහෝ වස්තූන් නො දී, උසස් වස්තූන් නොදී ලොවුතුරා බුදු බව නැමැති උසස් දෙය නො ලැබිය හැකි ය. මා විසින් ඒ උසස් දෙය ලැබීම සඳහා බොහෝ වස්තූන් දිය යුතුය. වටිනා වස්තූන් දිය යුතු ය. උසස් වස්තූන් දිය යුතු යයි සිතා තුන් වන දාන බාධකය දුරු කර ගනිති.
නිතර දන් දීම කරගෙන යන්නහුගේ වස්තුව ක්‍රමයෙන් හීන වන්නේ ය. නො නවත්වා දීගෙන යන දායකයා ක්‍රමයෙන් දිළිඳු වේ. දිළිඳු බව මහ දුකෙකි. එබැවින් වස්තු හීනත්වය ගැන සිහිවීම එක් දාන බාධකයෙකි. දීමෙන් වස්තුව හීන වී දිළිඳු වූ මහ බෝසත්හු වස්තුවේ අනිත්‍යතාව හා පෙර දන් දුන්නා මඳ බැවින් දිළිඳු වන බව ද සිතා ඒ බාධකය දුරු කර ගෙන ඇති සැටියෙන් දන් දීම කරති. ශීලාදි පාරමීන් සම්පාදනය කිරීමේ උපාය ද දාන පාරමිතාව සම්බන්ධයෙන් කියන ලද කරුණු අනුව සිතාගත යුතුය.
බුදුවරයන් හට තමන්ගේ ආත්මය භාර කිරීම හෙවත් පුජා කිරීම ද පාරමී සම්පාදනයේ උපායෙකි. කලින් ම තමන්ගේ ආත්මය බුදුවරුන්ට පූජා කොට බුදුවරුන්ට කැප කොට පැරුම් බිමට බැස වීර්‍ය්‍ය කර ගෙන යන්නා වූ මහ බෝසත්නට තමන් ගේ ධනයට හා අඹු දරුවන්ට ද ජිවිතයට ද හානි වන්නා වූ කිනම් උපද්‍රවයක් කුමකින් හෝ කවර පුද්ගලයකුගෙන් හෝ පැමිණියත් මාගේ ආත්මය බුදුවරුන්ට පුදන ලද්දක් ය, මට වන විපතක්, වන හානියක් වේවා, කුමක් වුවත් කම් නැත යයි පාරමිතා භූමියෙන් පහ නො වී එහි ස්ථිරව සිටිය හැකි වේ. එබැවින් මහ බෝසතුන් ගේ ආත්ම පූජාව සකල පාරමිතාවන් ගේ ම සම්පාදනෝපායක් වේ.
නාම-රූප සංඛ්‍යාත සංස්කාරයන්ගේ හෙවත් ස්කන්ධ පඤ්චකයා ගේ අසාරත්වය සලකා ආත්මය කෙරෙහි ඇල්ම තුනී කර ගැනීම හා කරුණා මෛත්‍රීන් දියුණු කිරීමෙන් පර සත්ත්වයන් කෙරෙහි ස්නේහය දියුණු කර ගැනීමත් පාරමී සම්පාදනයේ උපායයෝ ය. ආත්ම ස්නේහය තුනී කර ගත් මහ බෝසත්නට බෝධි සම්භාර සම්පාදනයෙන් වන දුක් ගැහැට අලාභ හානි ඉවසිය හැකි වේ. පර සත්ත්වයන් කෙරෙහි දයාව දියුණු කර ගැනීමෙන් ඔවුන් උදෙසා කොතෙක් වුව ද දුක් ගත හැකි වේ. වෙහෙසිය හැකි වේ. තමන්ගේ ධනය හා සැපය ඔවුන් උදෙසා පරිත්‍යාග කළ හැකි වේ. එබැවින් ආත්ම ස්නේහය තුනී කර ගැනීම හා පර සත්ත්වස්නේහය දියුණු කර ගැනීම පාරමී සම්පාදනයේ උපාය වේ.
මෙතෙකින් දක්වන ලදුයේ මහා බෝධි පාරමිතා සම්පාදනයේ උපායයෝ ය. ප්‍රත්‍යේක බෝධි ශ්‍රාවක බෝධීන්ට පාරමී සම්පාදනය කිරීම මහා බෝධි පාරමිතා සම්පාදනය සේ බර වැඩක් නොවේ. එබැවින් ප්‍රත්‍යේක බෝධි සත්ත්වයන් හා ශ්‍රාවක බෝධිසත්ත්වයෝ මහ බෝසතුන් කරන පරිදි මහා පරිත්‍යාගයන් කොට මහ දුක් ගෙන පාරමී සම්පාදනයේ නො යෙදෙති. ඒ බෝධි දෙක සඳහා පාරමී සම්පාදනය කරනුවන් විසින් මහා බෝධි පාරමිතා සම්පාදනයේ උපාය වශයෙන් දක්වන ලද කරුණුවලින් තම තමන්ගේ තත්ත්වයට යෝග්‍ය කරුණු පාරමී සම්පාදනෝපාය වශයෙන් සලකා ගත යුතුය.