ආමිස දානය, අභය දානය, ධර්ම දානය යි දානය තුන් වැදෑරුම් වේ. මිනිසුන් ගේ හා අන්‍ය සත්ත්වයන්ගේ ද සැපයට හේතු වන ආහාර පානාදි වස්තූන් කම්පල අදහා දීම ආමිස දාන නම් වේ. සත්ත්වයන්ගේ සැපයට හේතු වන නිරවද්‍ය වූ සකල අවිඥානක සවිඥානක වස්තූහු දිය යුත්තාහ. එබැවින් දාන වස්තූන් ගේ වශයෙන් කියත හොත් බොහෝ ආමිස දානයෝ ඇත්තාහ.
සංක්ෂේපයෙන් කියත හොත් බාහිර වස්තු දානය ය, ආභ්‍යන්තරික වස්තු දානය යි ආමිස දානය දෙ වැදෑරුම් බව කිව යුතුය. ආහාර - පාන - වස්ත්‍ර - බෙහෙත් - කෙත් - වතු - රන් - රිදී - මුතු - මැණික් - මිල - මුදල් - ගේ - ඇඳ - පුටු - මේස - පැදුරු - කොට්ට - කැති - උදලු - නගුල් - වෑ - පොරෝ - පිහියා - මල් - සුවඳ - විලවුන් ආදී අවිඥානක වස්තූන් හා ඇත් අස්, මහිෂාදී සවිඥානක වස්තූන් ද දීම බාහිර දාන නම් වේ. ඇස් - ඉස් - මස් - ලේ ආදී තමාගේ ශරීරයේ කොටස් හා දාසත්වයට පැමිණීම් වශයෙන් සම්පූර්ණ ආත්ම භාවය ද දීම ආභ්‍යන්තරික වස්තු දාන නම් වේ.
අභය දානය යනු රජුන් ගෙන් හෝ සොරුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ සිංහ ව්‍යාඝ්‍රාදි නපුරු සතුන්ගෙන් හෝ යක්ෂ ප්‍රේතාදි භූතයන්ගෙන් හෝ ගින්නෙන් දියෙන් සුලඟින් හෝ සත්ත්වයනට භයක් පැමිණි කල්හි ඉන් ඔවුන් මිදවීම හා අනාගතයට ඇති විය හැකි විපත් නො වනු පිණිස ආරක්ෂාව ඇති කිරීමත් ය.
ධර්ම දානය යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාපේක්ෂාවන් නැති ව, අනුන්ට නිග්‍රහ කිරීමේ හෝ තමන් උසස් කිරීමේ හෝ අදහසින් තොරව, කරුණා මෛත්‍රියෙන් අන්‍යන්ට තථාගත ධර්මය කියා දීම ය, ධර්ම කථිකයන් ට සත්කාර කොට බණ කියවීම ය, දහම් පොත් පත් සම්පාදනය කිරීමය, දහම් පොත් පත් මුද්‍රණය කරවා හෝ මිළයට ගෙන හෝ දීම ය, ධර්මය උගන්වන ගුරුවරුන්ට ඒ සඳහා ආධාර කිරීම ය, ධර්මය උගන්නා ශිෂ්‍යනට ඒ සඳහා ආධාර කිරීම ය, දහම් හල් කරවීම ය, පොත් ගුල් පිහිටුවීම ය, තථාගත ධර්මයෙන් අන්‍ය වූ නිරවද්‍ය විද්‍යා ශාස්ත්‍ර උගැන්වීම ය, ඒවා උගන්වන තැන් ඇති කිරීම ය යන ආදිය සිදු කිරීම ය.
කරුණු කියා දී අබෞද්ධයන් බෞද්ධයන් කර වීම ය, බුදු සස්නෙහි නො පහන් අය පැහැද වීම ය, බෞද්ධ වූවන් සුචරිතයෙහි පිහිට වීම ය, සිල් සමාදන් නො වන්නවුන් සීල සමාදානයෙහි යෙදවීම ය, ගිහියන් පැවිදි කරවා බුදු සස්නට ඇතුළු කරවීම ය, පැවිද්දන් ශීලාදී ගුණයෙන් සම්පූර්ණ කිරීමෙහි යෙදවීම ය, රූපා - රූප ධ්‍යානයන් හා අභිඥා උපදවා ගැනීමෙහි උත්සාහවත් කරවීම ය, ශ්‍රාවක බෝධියෙන් නිවන් පතනුවන් විදසුන් වඩා මග පල ලබා ගැනීමෙහි උත්සාහ වත් කර වීම ය, ඒවාට උපදෙස් දීම ය, යෝගාවචරයනට අනුබල දීම ය යන මොහු ද ධර්ම දානයෝය.