සංඥාපනය

star_outline

“පන්සිය ජාතක පොත් වහන්සේ” යයි සිංහල බෞද්ධ ජන සමූහයාගේ අතිශය ගෞරවයට පාත්‍ර වූ සිංහල ජාතක පොත වනාහි පාළි ජාතකට්ඨ කථාවේ සිංහල පරිවර්තනයකි.

ජාතකට්ඨ කථාවේ සම්පුර්ණ පරිවර්තනය එක කාලයක දී වත් එක් කෙනෙකුන් විසින් වත් කරණ ලද්දක් නො වන බව එහි දැක්වෙන භාෂා විලාසයෙන් මනාව පැහැදිලි වේ. හැම ජාතක කථාවක්ම නිදානය, වර්තමාන කථාව, අතීත කථාව, ධර්ම ව්‍යාකරණය, සමොධානය යන කොටස් පහකින් යුක්ත වේ. හැම පරිවර්තකයාම මේ ක්‍රමය දිගටම ගෙණ ගිය බැව් පෙණේ.

නිදානය:

“එක් සමයෙක්හි බුදුහු දෙව්රම් වෙහෙර වැඩවසන සේක් භාවනා කිරීමෙහි හරණ ලද වීර්ය්‍ය ඇති භික්ෂු කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.”

වර්තමාන කථාව:

“බුදුරජානන් වහන්සේ සැවැත් නුවර වසන කල්හි එම නුවර වසන්නා වූ එක් කුල පුත්‍රයෙක් ජේතවනාරාමයට ගොස් බුදුන්ගෙන් බණ අසා රත්නත්‍රයෙහි ප්‍රසන්න වූ සිත් ඇතිව කාමයෙහි ආදිනව හා ප්‍රව්‍රජ්‍යාවෙහි අනුසස්.”

අතීත කථාව:

“යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහ බෝසතානෝ සාත්තු නායක කුලයෙහි පිළිසිඳ ගෙණ....”

ධර්ම ව්‍යාකරණය:

“මෙසේ නැවතත් ධර්ම දේශනා කොට දුඃඛය සමුදය නිරෝධය මාර්ග යයි කියන ලද චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට වදාළ සේක.”

සමොධානය:

“ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ අතීත කථාවත් වර්තමාන කථාවත් දෙක එක්කොට අනුසන්ධි ගළපා එසමයෙහි මරුකතර ගියා වූ සෙසු පිරිස නම් දැන් මේ බුදු පිරිස් වන්නාහ. එසමයෙහි සාත්තුනායක පුත්‍ර නම් දැන් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.”

හැම ජාතක කථාවකම මෙම ක්‍රමය නොවෙනස්ව පවතී. එහෙත් ඒ ඒ කොටස්වල පෙණෙන භාෂාවිලාස විසදෘශතාවයෙන් මෙය බොහෝ කර්තෘවරුන්ගේ කෘතියක් බව පැහැදිලි වේ.

භාෂාව වනාහි මධුරය, සරලය, අසන්නන් ප්‍රිය කරණ සුලු ය ගාම්භීර්යයෙන් තොරය. හැම ක්‍රියාකාරක සම්බන්ධයකම වාගේ අන්තර් වාක්‍ය කීපයක් පවත්නේ ය.

“ඒ ලොභි වෙළෙඳා තලිය අතින් ගෙණ, රන්තලියක් 'වනැ' යි තලිය පිට ඉදිකටුවෙන් හිරක් ඇඳ රන් බව දැන 'මොවුන්ට කිසිවක් නොදීම මේ තලිය ගෙණ යෙමි' සිතා 'මේ තලිය කුමක් අගීද? අඩ මදටකුත් පමණ මේ තලියට මිල නැත්තේ ය' යි කියා බිමට දමා උනස්නෙන් නැඟී ගියේය.”

“ලෝභි වෙළෙඳා නැඟී ගියේ ය.” යන මේ ප්‍රධාන වාක්‍යය ඇතුළේ අන්තර්වාක්‍ය කීයක් තිබේ දැයි සසඳන්න. ජාතක පොත මුළුල්ල බඳු යෙදුම් වලින් ගහනය.

මුල් ජාතක කථා 50 කින් යුක්ත වූ මෙම කොටස ශ්‍රී ලංකා ප්‍රකාශක පොත්හල අයිතිකරු වූ සද්ගුණවත් ජී. පී. ඩී. ජිනදාස මහත්මයාගේ ආරාධනය පරිදි අපි සකස් කරලීමු. එහෙත් අනවකාශ මධ්‍යයෙහි මෙය නිම කරන්ට සිදුවූ හෙයින් යම්කිසි ප්‍රමාද දොෂාදියකින් සිදුවූවක් ඇතොත් එහි දී සමාධිය භජනය කරත්වා. මෙය මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පැමිණ වූ ජී. පී. ඩී. ජිනදාස මහත්මයාට නිරොග සුවය ලැබේවා.

අමරමෝලි නායක ස්ථවීර 1961-4-7 දින විද්‍යොදය විශ්ව විද්‍යාලයේදීය.