රේවත බුදුරජුන්

star_outline

උන්වහන්සේට පසු කාලයෙහි ‘රේවත’ නම් ශාස්තෘන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයෙහි ගණනක් නැත (ගණන් කළ නොහැකි තරම් ය). දෙවැන්නෙහි කෝටි ලක්‍ෂයක් භික්‍ෂූහු වූහ. තෙවැන්නෙහි ද එපමණ ම ය. එකල බෝසතාණෝ ‘අතිදේව’ නම් බ්‍රාහ්මණයකු ව ඉපිද ශාස්තෘන් වහන්සේගේ දහම් අසා, සරණ ශීලයෙහි පිහිටා, හිසෙහි ඇඳිලි බැඳ, ඒ ශාස්තෘන් වහන්සේගේ කෙළෙස් ප්‍රහාණය පිළිබඳ ගුණ වර්ණනා කොට උතුරු සළුවෙන් පූජා කළේය. උන්වහන්සේ ද ඔහුට “බුදු වන්නෙහි ය” යි විවරණ දුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය ‘ධඤ්ඤවතී’ නම් විය. පියා ‘විපුල’ නම් ක්ෂත්‍රිය රජ විය. මව ‘විපුලා’ නම් දේවිය වූවාය. ‘වරුණ’ සහ ‘බ්‍රහ්මදේව’ දෙනම අග්‍ර ශ්‍රාවකයෝ වූහ. ‘සම්භව’ නම් තෙරණුවෝ උපස්ථායක වූහ. ‘භද්දා’ සහ ‘සුභද්දා’ දෙනම අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. නාග වෘක්‍ෂය බෝධිය විය. ශරීරය අසූ රියනක් උස් විය. ආයුෂ අවුරුදු සැට දහසක් විය.

“සුමන බුදුරජුන්ට පසුව, උපමා කළ නොහැකි, සමාන කෙනෙකු නොමැති, මැනිය නොහැකි (ගුණ ඇති), උත්තම ජින වූ, ‘රේවත’ නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.”