“තවුස් සස්නෙහි මා මෙසේ සිද්ධි ලබා, වසීභාවයට පැමිණ සිටින කල්හි තුන් ලොවට නායක වූ දීපංකර නම් බුදුරජාණන් වහන්සේ පහළ වූහ.”
“උන්වහන්සේ පිළිසිඳ ගන්නා කල්හි ද, උපදින කල්හි ද, බුදු බවට පත්වන කල්හි ද, දම්සක් පවත්වන කල්හි ද යන සිව් අවස්ථාවන්හි දී ධ්‍යාන සුවයෙහි ඇලී සිටි මම ඒ නිමිති නොදුටුවෙමි.”
ඒ කාලයෙහි දශබලධාරී දීපංකර බුදුරජාණන් වහන්සේ, සාරලක්‍ෂයක් රහතුන් පිරිවරා පිළිවෙලින් චාරිකාවෙහි වඩින්නාහු, රම්මක නම් නුවරට වැඩ සුදස්සන මහා විහාරයෙහි වැඩ වසන සේක. රම්ම නගරවාසීහු, “ශ්‍රමණ නායක දීපංකර බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුදු බවට පත්ව දම්සක් පවත්වා පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙන්නාහු, මෙම නගරයට වැඩමවා සුදස්සන මහා වෙහෙරෙහි වැඩ වෙසෙති” යි අසා, ගිතෙල්, වෙඬරු, බෙහෙත් ද හඳනා පොරෝනා වස්ත්‍රාදිය ද රැගෙන, සුවඳ මල් ආදිය අතැතිව බුදුන් දහම් සඟුන් වැඩසිටි දිශාවට නැඹුරුව ළං ළං වෙත් ම වඩවඩාත් ගෞරව නමස්කාර කරමින් බුදුරජුන් වෙත එළැඹ, වැඳ, සුවඳ මල් ආදියෙන් පුදා, එකත්පසෙක හිඳ දම් දෙසුම් අසා, පසු දිනට දානය සඳහා ආරාධනා කොට හුනස්නෙන් නැඟී ගියහ.
ඒ ගම් වැසියෝ දෙවැනි දින මහා දානයක් පිළියෙල කොට, නගරය අලංකාර කොට, බුදුරදුන් වඩිනා මඟ සරසමින්, දිය දහරින් බිඳී ගිය තැන් පස් ගෙනැවිත් පුරවමින් බිම සමතලා කොට, රිදී පට වැනි වැලි විසුරුවමින් විළඳ හා මල් ඉසිති. නන් විසිතුරු වර්ණයෙන් කළ කොඩි ඔසවති. කෙසෙල් පුන් කලස් පෙළ තබති. එවේලෙහි සුමේධ තාපසයන් වහන්සේ සිය අසපුවෙන් අහසට නැඟී ඒ මිනිසුන්ගේ ඉහළ අහසින් යන්නාහු, ඉතා ප්‍රීතියෙන් සිටි ඔවුන් දැක ‘හේතුව කුමක්දැ’ යි දැනගනු පිණිස අහසින් බැස පසෙක සිට මෙසේ විචාළහ: “පින්වතුනි, කවරකු සඳහා ඔබ මේ මඟ සරසන්නහු ද?” එහෙයින් කියන ලදි:
“ප්‍රත්‍යන්ත දේශයෙහි (පිටිසර) ගම් වැසියෝ දීපංකර බුදුරජුන්ට ආරාධනා කොට සතුටු සිතින් එතුමාණන් වඩිනා මඟ පිරිසිදු කරති.”
“මම එවේලෙහි සිය අසපුවෙන් නික්ම, වැහැරි සිවුරු සුළඟින් ලෙල දෙද්දී අහසින් යමින් සිටියෙමි.”
“එකෙණෙහි සැදැහැයෙන් තුටුපහටු ව ප්‍රීති ඝෝෂා කරමින් සිටි ජනයා දැක අහසින් බැස මම ඒ මිනිසුන්ගෙන් විචාළෙමි.”
“තුටුපහටු ප්‍රීතිමත් බැතිබර මහජනයා විසින් කවරකු හට නම් මේ අඤ්ජස, වටුමායන ආදී නම්වලින් හඳුන්වන මාර්ගය පිරිසිදු කරනු ලැබේ ද?”
මිනිස්සු මෙසේ පිළිතුරු දුන්හ: “සුමේධ හිමිපාණෙනි, දීපංකර බුදුරජාණෝ බුද්ධත්වයට පැමිණ උතුම් දම්සක් පවත්වා චාරිකාවෙහි හැසිරෙන්නාහු, අපගේ නුවරට පැමිණ වැඩමවා සුදස්සන මහා විහාරයෙහි වැඩ වෙසෙන බව ඔබ නො දන්නහු ද? අපි ඒ බුදුරජුන්ට දානය සඳහා ආරාධනා කළෙමු. දැන් අපි ඒ බුදුරජුන්ට මඟ සරසමු.” සුමේධ තවුසාණෝ මෙසේ සිතූහ: “බුද්ධ යන වචනය පවා ලොව ඉතා දුර්ලභය. එතුමාණන්ගේ පහළ වීම ගැන කියනු කිමෙක් ද? මා ද මේ මිනිසුන් සමග දසබලයන් වහන්සේ වඩිනා මඟ සරසන්නට වටී.” එතුමා මිනිසුන්ට කීවේය: “පින්වතුනි, ඉදින් ඔබ මේ මඟ බුදුරජාණන්ට සරසන්නාහු නම්, මට ද එක් මාර්ග කොටසක් දෙනු මැනව. මම ද ඔබ හා එක්ව මඟ සරසමි.” ජනයා ද “යහපති” යි එය පිළිගෙන, සුමේධ තවුසා මහා සෘද්ධිමතකු බව දත් හෙයින් ජලයෙන් කැඩී බිඳී ගිය මඩ වගුරක් තවුසාණන්ට දුන්හ. එතුමා බුද්ධාලම්භන ප්‍රීතියෙන් මෙසේ සිතීය: “මම මේ මඟ කොටස සෘද්ධි බලයෙන් සකස් කිරීමට පොහොසත් වෙමි. එහෙත් එසේ කිරීමෙන් මාගේ සිත සතුටු විය නොහැකිය. අද මම කය වෙහෙසා වතාවතක් කිරීම සුදුසුය” යි සිතා පස් ගෙනැවිත් එපෙදෙස පුරවන්නට වූහ.
එහෙත් ඒ කොටස සකසා අවසන් වීමට පෙර දශබලධාරී දීපංකර බුදුරජාණන් වහන්සේ, මහානුභාව සම්පන්න ෂඩ් අභිඥාලාභී සාරලක්‍ෂයක් මහා රහතුන් වහන්සේ පිරිවරාගෙන, දෙවියන් විසින් දිව්‍ය මල් සුවඳින් පුදද්දී, දිව්‍ය සංගීත පවත්වද්දී, මිනිසුන් විසින් මිනිස් සුවඳ මල් ආදියෙන් පුදද්දී, අනන්ත වූ බුදු සිරියෙන් රත්ගල් තලාවක විජෘම්භණය කරන සිංහයකු මෙන්, ඒ අලංකාරවත් ලෙස සරසන ලද මඟට පිළිපන් සේක. සුමේධ තවුසාණෝ ඇස් හැර, සැරසූ මඟින් වඩින්නා වූ දීපංකර බුදුරජුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අලංකෘත වූ, අසූවක් අනුව්‍යඤ්ජනයෙන් බබළන්නා වූ, බඹයක් පමණ වූ රැස් දහරින් වට වූ, නිල්වන් අහසෙහි විදුලිය මෙන් අක්බඹමරු වූ ද යුගල වී නික්මෙන්නා වූ ද ෂඩ්වර්ණ ඝන බුද්ධ රශ්මිය විහිදුවමින්, රූපශ්‍රීයෙන් අගතැන්පත් බුදු සිරුර බලා, “මවිසින් අද බුදුරජුන්ට දිවි පිදිය යුතුය. බුදුරජාණෝ මඩ නො පාගත්වා, මැණික් පාලමක් මෙන් මගේ පිට මඩිමින් සාරලක්‍ෂයක් රහතුන් සමඟ වඩිත්වා. ඒ මට බොහෝ කලක් හිත සුව පිණිස වන්නේය” යි සිතා, කෙස් කළඹ මුදා අඳුන් දිවි සම හා ජටා වැහැරි සිවුරු ආදිය කළු පැහැති මඩෙහි අතුරා, මැණික් පාලමක් මෙන් මඩ මතුයෙහි මුනින් වැතිර ගත්හ. එහෙයින් කියන ලදි:
“මවිසින් විචාරන ලද ඒ ජනයෝ මෙසේ ප්‍රකාශ කළහ: ‘ලෝකයෙහි අති උතුම්, ලොවට නායක වූ දීපංකර බුදුරජාණෝ උපන්හ. උන්වහන්සේට අඤ්ජස, වටුමායන යනාදී නම් ඇති මේ මාර්ගය සරසමු’.”
“‘බුද්ධ’ යන වචනය අසත් ම මට මහත් ප්‍රීතියක් උපන. ‘බුද්ධ... බුද්ධ...’ යන වචනය නැවත නැවතත් කියමින් මම මගේ සතුට පළ කළෙමි.”
“මම එහි සිට සතුටින් පිනාගිය, සංවේගයට පත් සිත් ඇති ව මෙසේ සිතුවෙමි: ‘මම මේ බුදු සසුන් නමැති කෙතෙහි පින් බිජුවට රෝපණය කරමි. මේ උතුම් අවස්ථාව මා මගහැර නොයාවා’.”
“‘ඉදින් ඔබ බුදුරජුන් සඳහා මඟ සරසන්නහු නම්, මට එක් මඟ කොටසක් දෙනු මැනව. මම ද අඤ්ජස, වටුමායන නම් වූ මඟ සරසන්නෙමි’ යි කීවෙමි.”
“එකල්හි ඔවුහු මට මඟ සැරසීම සඳහා කොටසක් දුන්හ. ‘බුද්ධ... බුද්ධ...’ යනුවෙන් සිතමින් මම එදා මඟ සරසමින් සිටියෙමි.”
“මාගේ කොටස නිම කිරීමට පෙර, දීපංකර මහා මුනීහු සවැදෑරුම් අභිඤ්ඤා ලාභී, තාදී ගුණ ඇති, කෙලෙස් මල දුරු කළ සාරලක්‍ෂයක් මහා රහතුන් සමග මඟට පිළිපන් සේක.”
“පෙරගමන් යාම් පැවතිණි. බොහෝ බෙර වාදනය කෙරිණි. සතුටු වූ දෙවි මිනිස්සු සාධු නාද පැවැත්වූහ.”
“දෙවියෝ මිනිසුන් දකිති. මිනිස්සු ද දෙවියන් දකිති. ඒ දෙපිරිස ම දෑත් එක්කොට වදිමින් බුදුරජුන් අනුව යති.”
“දෙවියෝ දිව්‍ය තූර්ය වාදනය කරති. මනුෂ්‍යයෝ මානුෂික තූර්ය වාදනය කරති. ඒ දෙපිරිස ම වාදනය කරමින් තථාගතයන් වහන්සේ පසුපස යති.”
“අහසෙහි සිටි දෙවියෝ දිව්‍යමය වූ මදාරා මල්, පියුම් හා පරසතු මල් දසදිසාවෙහි විසුරුවති.”
“බිම සිටි මිනිස්සු සපු, සල්ල, බක්මී, නා, දොඹ, වැටකේ මල් ඒ ඒ දිසාවෙහි සිට උඩට විසි කරති.”
“මම එහිදී කෙස් වැටිය මුදා, වැහැරි සිවුර සහ සම්කඩ මඩ මතුයෙහි අතුරා එහි යටිකුරු ව වැතිරුණෙමි.”
“බුදුරජාණෝ සිසුන් සමග මා මැඩගෙන වඩිත්වා. මඩ නො පාගත්වා. එය මට බොහෝ කලක් හිත පිණිස වන්නේය.”
සුමේධ තවුසාණෝ මඩ මත වැතිර සිටිමින් ම ඇස් හැර දීපංකර බුදුරජුන්ගේ සම්බුදු සිරිය බලමින් මෙසේ සිතූහ: “ඉදින් මම කැමති වන්නේ නම් අද ම සියලු කෙලෙස් නසා රහත් බවට පත් ව සඟ පිරිසෙහි නවකයකු වී රම්ම නගරයට පිවිසිය හැකිය. එහෙත් අප්‍රසිද්ධ වෙස් ගෙන මා පමණක් කෙළෙසුන් නසා නිවනට පැමිණීමෙන් ඇති ඵලය කුමක්ද? දීපංකර බුදුරජුන් මෙන් උතුම් සම්මා සම්බුදු බවට පැමිණ, මහා ජනයා දහම් නැවට නංවා සංසාර සාගරයෙන් එතැර කොට පසුව පිරිනිවෙන්නේ නම්, එය මට සුදුසු ය.” ඉක්බිති, අෂ්ට ධර්මයන් සම්පූර්ණ කොට බුදු බව පිණිස අධිෂ්ඨාන කොට වැඳහොත්හ. එහෙයින් මෙසේ කියන ලදි:
“පොළොවෙහි සැතපී සිටි මා සිතෙහි මෙබඳු අදහසක් පහළ විය: ‘මම කැමති වන්නේ නම් අද ම මාගේ සියලු කෙළෙස් දවාලිය හැකිය’.”
“‘එසේ අප්‍රසිද්ධ වේශයෙන් මෙහිදී දහම් පසක් කිරීමෙන් මට ඇති ඵලය කුමක් ද? මම සර්වඥතා ඥානයට පැමිණ දෙවියන් සහිත ලෝකයෙහි බුදුවරයෙක් වන්නෙමි’.”
“‘තම ශක්තිය දන්නා පුරුෂයකු වශයෙන් එකලාව සසර එතැර වීමෙන් කවර ප්‍රයෝජනයක් ද? සර්වඥ බවට පැමිණ දෙවියන් සහිත ලෝකයා එතැර කරවන්නෙමි’.”
“‘පුරුෂෝත්තමයන් වහන්සේ උදෙසා කරන ලද මේ ජීවිත පරිත්‍යාගය හේතුවෙන් සර්වඥ බවට පැමිණ, මම බොහෝ ජනයා සසරින් එතැර කරවමි’.”
“‘සසර නමැති සැඩ පහර සිඳ දමා, කාම, රූප, අරූප යන තුන් භවය වනසා දමා, දහම් නැවට නැඟ දෙවියන් සහිත ලෝකයා එතැර කරවන්නෙමි’.”
මක්නිසාද යත්, බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්නහුට:
“මිනිසත් බව, ලිංග සම්පත්තිය (පුරුෂයෙකු වීම), හේතු සම්පන්න වීම (රහත් වීමේ වාසනාව), බුදු කෙනෙකු හමුවීම, පැවිදි බව, ගුණ සම්පත්තිය (ධ්‍යාන ආදිය), ජීවිත පරිත්‍යාගය සහ බලවත් ඡන්දය (කැමැත්ත) යන මේ කරුණු අට සම්පූර්ණ වීමෙන් ප්‍රාර්ථනාව සමෘද්ධි වේ.”
- මිනිසත් භවයෙහි සිට බුදු බව පතන්නහුගේ ම ප්‍රාර්ථනාව සඵල වේ. නාගයකු, ගුරුළකු හෝ දෙවියකු වී කරන ප්‍රාර්ථනාව සඵල නොවේ.
- මිනිසත් භවයෙහි ද පුරුෂයකු කරන ප්‍රාර්ථනාව ම සඵල වේ. ස්ත්‍රියක, පණ්ඩකයකු, නපුංසකයකු හෝ උභතෝ ව්‍යාඤ්ජනකයකු කරන ප්‍රාර්ථනාව සඵල නොවේ.
- පුරුෂයා වුව ද එම අත්බැව්හි රහත් බවට පත්වීමට තරම් හේතු සම්පත් ඇත්තහුගේ ප්‍රාර්ථනාව ම සඵල වේ. එයින් අන් අයකුගේ ප්‍රාර්ථනාව සඵල නොවේ.
- හේතු සම්පන්න වුව ද ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි ප්‍රාර්ථනා කරන්නහුට ම සඵල වේ. බුදුරජුන් පිරිනිවි කල්හි චෛත්‍යයක් හෝ බෝධියක් ළඟ ප්‍රාර්ථනා කරන්නා හට සඵල නොවේ.
- බුදුරජුන් සමීපයෙහි ප්‍රාර්ථනා කළ ද පැවිදි වේශයෙන් සිටියහුට ම සඵල වේ. ගිහි වේශයෙන් සිටියහුගේ ප්‍රාර්ථනාව සඵල නොවේ.
- පැවිද්දකු වුව ද පඤ්ච අභිඤ්ඤා සහ අෂ්ට සමාපත්ති ලාභියකු ම විය යුතුය. එම ගුණයෙන් තොර වූවහුගේ ප්‍රාර්ථනාව සඵල නොවේ.
- ගුණ සම්පන්න වුව ද යමෙකු විසින් තම ජීවිතය බුදුරජුන්ට පරිත්‍යාග කරන ලද්දේ වේ ද, එබඳු වූ අධිකාර සම්පන්න පුද්ගලයාගේ ම ප්‍රාර්ථනාව සඵල වේ.
- අධිකාර සම්පන්න වුව ද, බුද්ධකාරක ධර්ම (පෙරුම් දම්) පිරීම සඳහා මහත් කැමැත්තක්, මහත් උත්සාහයක්, මහත් වීර්යයක් හා මහත් ගවේෂණයක් ඇත්තා හට ම ප්‍රාර්ථනාව සමෘද්ධි වේ.
මේ කරුණෙහිලා ඡන්දයේ (කැමැත්තේ) මහත් බවට උපමාවකි. බුදු බව පතන්නා හට මෙබඳු සිතක් තිබිය යුතුය:
- “සම්පූර්ණ සක්වල ගැබ එක ම ජලාශයක් වුවත් තම බාහු බලයෙන් පිහිනා එතැරට යන්නට යමකු සමත් වේ ද, ඔහු බුදු බවට පත් වේ.”
- “මුළු සක්වල ගැබ එක ම උණ පඳුරක් වී නම් යමකු ඒ උණ ගස් මැඩගෙන පාගමනින් එතැරට යන්නට සමත් වේ ද, ඔහු බුදු බවට පත් වේ.”
- “සියලු සක්වල ගැබ තුළ අඩයටි හෙවත් උල් ආයුධ අතරක් නැති සේ සිටුවා තිබේ ද, යමකු ඒ අඩයටි තල මත පා තබමින් එතැරට යන්නට සමත් වේ ද, ඔහු බුදු බවට පත් වේ.”
- “මුළු සක්වල ගැබ ගිනිදැල් රහිත ගිනි අඟුරින් පිරුණේ වේ ද, යමකු එම ගිනි අඟුරු පාගමින් එතැරට යන්නට සමත් වේ ද, ඔහු බුදු බවට පත් වේ.”
යමෙක් මේ උපමාවලින් දැක්වූ එකක්වත් දුෂ්කර යැයි නො සිතා, “මම මේවා තරණය කොට පරතෙරට යමි” යි සිතන තරම් මහත් කැමැත්තකින්, උත්සාහයකින්, වීර්යයකින් හා සොයා යාමකින් යුක්ත වේ ද, ඔහුගේ ප්‍රාර්ථනාව සඵල වේ. අනෙකෙකුගේ නොවේ. සුමේධ තවුසාණෝ මේ අෂ්ට ධර්මයන් සම්පූර්ණ කොට බුදු බව පිණිස අධිෂ්ඨාන කොට මඩ මත වැතිර සිටියහ.
දීපංකර බුදුරජාණන් වහන්සේ ද එහි වැඩම කොට තවුසාණන්ගේ හිස පැත්තේ වැඩසිට, මැණික්මය සිහිමැදුරක් විවෘත කරන්නාක් මෙන් පස් පැහැයෙන් බබළන ඇස් යුවල හැර, මඩ මතුයෙහි වැතිර සිටින සුමේධ තාපසයන් දැක, “මේ තවුසා බුදු බව ප්‍රාර්ථනා කොට වැතිර සිටියි. මොහුගේ ප්‍රාර්ථනාව සඵල වේදෝ නො වේදෝ” යි අනාගතය දැනගන්නා නුවණින් බලන සේක්, “මෙයින් සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ඉක්ම ගිය පසු ගෞතම නමින් බුදු වන්නේය” යි දැන, වැඩසිටි පියවරෙහි ම පිරිස් මැද වදාළ සේක: “උතුම් තපෝ ගුණයෙන් යුත්, මඩෙහි වැතිරී සිටින මේ තවුසා ඔබ දකින්නහු ද?” “එසේ ය, ස්වාමීනි.” “මොහු බුදු බව පතා සිටියි. මොහුගේ ප්‍රාර්ථනාව සඵල වන්නේය. සාර අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මතුයෙහි ගෞතම නමින් බුදු වන්නේය. එම අත්බැව්හි කපිලවත්ථු නම් නගරය නිවාස වන්නේය. මායා දේවිය මව වන්නීය. සුද්ධෝදන මහා රජතුමා පියා වන්නේය. අගසව් වනුයේ උපතිස්ස ය. දෙවැනි සව් කෝලිත ය. බුද්ධ උපස්ථායක ආනන්ද නම් වන්නේය. අග්‍ර ශ්‍රාවිකාව ඛේමා වන්නීය. දෙවැනි ශ්‍රාවිකාව උප්පලවණ්ණා වන්නීය. මොහු නුවණින් මුහුකුරා ගිය කල්හි මහබිනික්මන කොට, ප්‍රධන් වීර්යය කොට, නුග රුක් මුල කිරි බත් පිළිගෙන, නේරඤ්ජනා ගං තෙරදී වළඳා, බෝමළුවට නැඟ, ඇසතු රුක් මුල දී බුද්ධත්වය අවබෝධ කරන්නේය.” එහෙයින් මෙසේ කියන ලදි:
සුමේධ තාපසයාණන් මඩ මත ඒදණ්ඩක් සේ වැතිර සිටින අයුරු
“සියලු ලෝකයන් තත්ත්වාකාරයෙන් අවබෝධ කළ, පුද පූජා පිළිගැනීමට සුදුසු වූ දීපංකර බුදුරජාණෝ මගේ හිස ළඟ සිට මේ වචන වදාළහ.”
“ජටා මඬුළු දරන, උග්‍ර තපස් ඇති මේ තවුසා දෙස බලව්. මෙතැන් සිට අප්‍රමාණ කල්ප ගණනක් ඉක්ම ගිය කල්හි මොහු ලෝකයෙහි බුදු බවට පත් වන්නේය.”
“කපිල නම් රම්‍ය වූ නගරය මොහුට නිවාස වන්නේය. එයින් නික්මුණු ඒ තථාගතයන් වහන්සේ ප්‍රධන් වීර්යය කොට දුෂ්කර ක්‍රියා කරන්නාහ.”
“ඒ තථාගතයන් වහන්සේ අජපාල රුක් මුල්හි වැඩහිඳ, එහිදී කිරිපිඬු පිළිගෙන නේරඤ්ජනා නදිය වෙත පැමිණෙන්නාහ.”
“නේරඤ්ජනා ගං තෙර දී කිරිපිඬු වැළඳූ ඒ ජිනේන්ද්‍රයන් වහන්සේ, මනාව සකසන ලද උතුම් මාර්ගයෙන් බෝධි මූලය වෙත පැමිණෙන්නාහ.”
“ඉක්බිති ඒ අනුත්තර වූ මහා යසස් ඇති තථාගතයන් වහන්සේ බෝමැඩ පැදකුණු කොට, ඇසතු ගස මුල දී බුද්ධත්වය ලබන්නාහ.”
“මොහුගේ වැදූ මව මායා නම් වන්නීය. පියා සුද්ධෝදන නම් වන්නේය. මේ තෙම ගෞතම නම් වන්නේය.”
“ආශ්‍රව රහිත වූ, වීතරාගී වූ, සන්සුන් සිත් ඇති, සමාහිත වූ කෝලිත සහ උපතිස්ස යන දෙදෙනා අග්‍ර ශ්‍රාවකයෝ වන්නාහ. ආනන්ද නම් උපස්ථායකයා ඒ බුදුරජුන්ට උවටැන් කරන්නේය.”
“ඛේමා සහ උප්පලවණ්ණා දෙදෙනා අග්‍ර ශ්‍රාවිකාවෝ වන්නාහ. ඔවුහු ආශ්‍රව රහිතය, වීතරාගීය, සන්සුන් සිත් ඇත්තාහ, සමාහිතය. ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධි වෘක්‍ෂය ඇසතු යැයි කියනු ලැබේ.”
සුමේධ තවුස් තෙම, “මාගේ ප්‍රාර්ථනාව සමෘද්ධි වන්නේය” යි දැන මහත් සොම්නසට පැමිණියේය. මහා ජනයා දීපංකර බුදුරජුන්ගේ වචනය අසා “සුමේධ තවුසාණෝ බුද්ධ බීජයකි, බුද්ධ අංකුරයකි” යි සතුටු වූහ. ඔවුනට මෙසේ ද සිතිණි: “යම් සේ පුරුෂයකු ගඟක් තරණය කරන විට ළඟම පිහිටි තොටින් එතැර වන්නට නො හැකි වූ විට පහළ පිහිටි තොටින් එතර වේ ද, එමෙන් අපි ද දීපංකර බුදුරජුන්ගේ සසුනෙහි මඟඵල නො ලබන්නෝ නම්, අනාගතයෙහි යම් දවසක ඔබ බුදු වන්නහු ද, එදවස ඔබගේ හමුවෙහි මඟඵල ලබන්නට සමත් වෙමු” යි ප්‍රාර්ථනා කළහ. දීපංකර බුදුරජහු ද බෝසතුන්ට ප්‍රශංසා කොට මල් අට මිටකින් පූජා කොට පැදකුණු කොට වැඩියහ. ඒ සිව් සුවහසක් රහත්හු ද ගඳ මල් ආදියෙන් පූජා කොට පැදකුණු කොට වැඩියහ. දෙව් මිනිස්සු ද එසේම පූජා කොට වැඳ නික්ම ගියහ.
බෝධිසත්ත්වයෝ සියල්ලෝ ම නික්ම ගිය කල්හි මඩෙහි වූ සයනයෙන් නැඟිට, පාරමී ධර්ම විමර්ශනය කිරීම සඳහා මල්රැස මතුයෙහි පර්යංකයෙන් (පළඟ බැඳ) වැඩසිටියහ. එසේ වැඩසිටි කල්හි දසදහසක් සක්වල දෙවියෝ රැස්ව සාධු නාද පවත්වමින් බෝසතුන්ට මෙසේ පැවසූහ: “ආර්ය සුමේධ තාපසයන් වහන්ස, පැරණි බෝධිසත්ත්වවරුන් පාරමී ධර්ම විමර්ශනය සඳහා පර්යංකයෙන් වැඩසිටි කල්හි යම් පූර්ව නිමිති පහළ වී ද, අදත් ඒ සියල්ල පහළ වී ඇත. නිසැකයෙන් ම ඔබ බුදු වන්නාහ. යමකු සඳහා මේ පෙර නිමිති පහළ වේ ද එතුමාණන් ඒකාන්තයෙන් බුදු වන බව අපි දනිමු. ඔබ වීර්යය දැඩි කොට දැඩිව අල්ලා ගනු මැනවි” යි, බෝසතුන්ට නන් අයුරින් ස්තුති කළහ. එහෙයින් මෙසේ කියන ලදි:
“අසම වූ දීපංකර මහර්ෂීන් වහන්සේගේ මේ වචනය අසා, ‘මේ බුද්ධ බීජයක් (අංකුරයක්) ය’ යි සිතා දසදහසක් සක්වල දෙව්මිනිස්සු සතුටු වූහ.”
“මහා ශබ්ද පවත්වති. අත්පොළසන් නාද පවත්වති. ප්‍රීති ඝෝෂා පවත්වති. දෙවියන් සහිත දසදහසක් ලෝකවාසීහු දෑත් එක්කොට නමස්කාර කරති.”
“ඉදින් අපි මේ ලෝකනාථයන් වහන්සේගේ ශාසනය වරදවා ගත්තෙමු නම් (මඟඵල නොලැබුවෙමු නම්), අනාගත කාලයෙහි මෙතුමාණන් හමුවන්නෙමු.”
“යම් සේ මිනිස්සු ගඟකින් එතැර වන්නාහු, ඉදිරි තොට වැරදුනේ නම් පහළ තොටින් මහ ගඟ එතැර වෙති.”
“එමෙන් අපි සියල්ලෝ ම ඉදින් මේ ජිනේන්ද්‍රයන් වහන්සේ මගහැරුණහොත්, අනාගත කාලයෙහි මෙතුමාණන් හමුවන්නෙමු.”
“ලෝකය දත්, පූජාවන් පිළිගැනීමට සුදුසු වූ දීපංකර බුදුරජාණෝ මගේ කර්මය (ප්‍රණිධිය) විවරණය කොට දකුණු පාදය එසවූහ (වැඩියහ).”
“එහි සිටි යම් ජින පුත්‍රයෝ (රහතන් වහන්සේලා) වූවාහු ද, ඒ සියල්ලෝ මා පැදකුණු කළහ. මිනිස්සු ද නාගයෝ ද ගන්ධර්වයෝ ද මට වැඳ නික්ම ගියහ.”
“සඟුන් පිරිවරා ගත් ලෝකනායකයන් වහන්සේ මාගේ දර්ශන පථයෙන් ඉවත්ව ගිය කල්හි, සතුටු සිත් ඇති ව මම අසුනෙන් නැඟී සිටියෙමි.”
“මම සුවයෙන් සැප ඇත්තෙක් වීමි. ප්‍රමෝදයෙන් ප්‍රීති වූවෙක් වීමි. එවේලෙහි ප්‍රීතියෙන් පිනාගියේ, පළඟ බැඳ ගත්තෙමි.”
“මේ දසදහසක් ලෝක ධාතුවෙහි මට සමාන තවුසෙක් නැත. සෘද්ධි ධර්මයන්හි අසම වෙමි. මෙවැනි සැපයක් ලැබීමට එය හේතු විය.”
“මා පළඟ බැඳ හිඳිත් ම දසදහසක් සක්වල වාසීහු ‘ඒකාන්තයෙන් ඔබ බුදු වන්නෙහිය’ යි මහා නාද පැවැත්වූහ.”
“පෙර බෝසත්වරුන් උතුම් පර්යංකයෙන් වැඩ සිටින විට යම් පෙර නිමිති පහළ වී ද, අද ද ඒ නිමිති දක්නා ලැබේ.”
“ශීතල දුරු වෙයි. උෂ්ණය ද සංසිඳෙයි. අද මේ පෙර නිමිති පෙනෙන්නට තිබේ. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“දසදහසක් ලෝක ධාතූහු නිශ්ශබ්ද වෙති, අවුල් වියවුල් රහිත වෙති. අද මේ පෙර නිමිති පෙනෙන්නට තිබේ. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“මහා සුළං නො හමයි. ගංගාවෝ ගලා නො යති. අද මේ පෙර නිමිති පෙනෙන්නට තිබේ. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“ගොඩ දිය පිපෙන සියලු මල් එකෙණෙහි පිපෙයි. අද මේ සියල්ල පිපී ඇත. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“වැල් වේවා රුක් වේවා එකෙණෙහි ගෙඩිවලින් බර වෙයි. අද මේ සියල්ල ඵල දරා ඇත. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“අහසෙහි ඇති රත්න ද පොළොවෙහි ඇති රත්න ද එකෙණෙහි බබළයි. අද මේ රත්න බබළමින් ඇත. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“මානුෂික වූ ද දිව්‍යමය වූ ද තූර්ය වාදනයෝ එකෙණෙහි වැයෙති. අද මේ දෙවර්ගය ම රාව නංවයි. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“විචිත්‍ර වූ මල් වැසි එකෙණෙහි අහසින් වසී. අද මේවා වැසෙමින් පවතී. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“මහා සාගරය නැවී යයි (රළ සංසිඳෙයි). දසදහසක් සක්වල කම්පා වෙයි. අද මේ දෙකම සිදු වෙමින් පවතී. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“දසදහසක් සක්වල නිරයන්හි ගිනි එකෙණෙහි නිවී යයි. අද මේ ගිනි නිවී ඇත. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“සූර්යයා විමල (කැළැල් නැති) වෙයි. සියලු තාරකාවෝ පෙනෙන්නට තිබෙති. අද මේවා ද පෙනෙන්නට තිබේ. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“වැසි නො වැස ම පොළොවෙන් ජලය උඩට මතු වෙයි. අද මෙසේ පොළොවෙන් ජලය උනයි. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“තාරකා සමූහයා ද අහස් කුසෙහි ඇති නැකැත් තරු ද බබළයි. සඳ විශාඛා නැකත හා එක්වෙයි. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“බිලයන්හි වසන සතුන් ද ගුහාවල වසන සතුන් ද තම වාසස්ථානවලින් පිටතට නික්මෙති. අද මේ සත්තු එළියට පැමිණ සිටිති. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“සත්ත්වයන්ගේ උකටලී බවක් (නොසතුටක්) නැත. ඔවුහු එකෙණෙහි සතුටු වෙති. අද මේ සියල්ලෝ සතුටු ව සිටිති. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“එකල්හි රෝග සංසිඳෙයි. සාගිනි විනාශ වී යයි. අද මේ පෙර නිමිති පෙනෙන්නට තිබේ. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“එකල්හි රාගය තුනී වෙයි. ද්වේෂය සහ මෝහය විනාශ වී යයි. අද මේ සියල්ල පහව ගොස් ඇත. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“එකල්හි බියක් ඇති නොවේ. අද මෙය දකින්නට ලැබේ. ඒ ලකුණෙන් අපි දනිමු, ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“රජස් (දුහුවිලි) ඉහළට නො නඟියි. අද මෙය දකින්නට ලැබේ. ඒ ලකුණෙන් අපි දනිමු, ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“අමිහිරි ගන්ධය පහව යයි. දිව්‍ය ගන්ධය හමා එයි. අද එබඳු සුවඳක් හමයි. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“අරූපී දෙවිවරුන් හැර අනෙක් සියලු දෙවිවරු පෙනෙන්නට සිටිති. අද මේ සියල්ලෝ පෙනෙති. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“යම්තාක් නිරය ඇද්ද, ඒ සියල්ල එකෙණෙහි දර්ශනය වෙයි. අද මේ සියල්ල පෙනෙන්නට තිබේ. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“එකල්හි බිත්ති, දොරවල් සහ පර්වත ආවරණයක් නොවී අහස මෙන් විවෘත වෙයි. අද මේවා එසේ වී ඇත. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“ඒ මොහොතෙහි (සත්ත්වයන්ගේ) චුත වීමක් හෝ උපත ලැබීමක් සිදු නොවේ. අද මේ පෙර නිමිති පෙනෙන්නට තිබේ. ඒකාන්තයෙන් ම ඔබ බුදු වනු ඇත.”
“වීර්යය දැඩි කරන්න. නොනැවතී ඉදිරියටම යන්න. අපි මේ බව දනිමු. ඔබ ඒකාන්තයෙන්ම බුදු වනු ඇත.”
බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ සහ දස දහසක් සක්වල දෙවියන්ගේ වචන අසා, වඩාත් උද්යෝගිමත් වී මෙසේ සිතූහ: “බුදුවරුන්ගේ වචන හිස් නොවෙයි, බුදුවරුන්ගේ කථාවෙහි වෙනස් වීමක් නැත.
- යම් සේ අහසට වීසි කළ කැටයක් බිම වැටීම නියත ද,
- උපන් සත්ත්වයාගේ මරණය නියත ද,
- අරුණ උදාවීමත් සමඟ සූර්යයාගේ උදාවීම නියත ද,
- ගුහාවෙන් නික්මුණු සිංහයාගේ නාද කිරීම නියත ද,
- ගැබ්බර ස්ත්‍රිය දරුවා බිහි කිරීම නියත ද,
එලෙසින් ම බුදුවරුන්ගේ වචනය ද ඒකාන්තයෙන් ම සත්‍ය වන්නේ ය. මම ද නියතයෙන් ම බුදු වන්නෙමි.” එහෙයින් මෙසේ කියන ලදී -
“බුදුරජාණන් වහන්සේගේ ද දස දහසක් සක්වල දෙවියන්ගේ ද යන දෙපාර්ශ්වයේ ම වචන ඇසූ මම, සතුටු වී ප්‍රීතියෙන් පිනා ගොස්, එකල මෙසේ සිතුවෙමි.”
“බුදුවරයෝ දෙයාකාර වචන ඇත්තෝ නොවෙති. ජිනවරු හිස් වචන ඇත්තෝ නොවෙති. බුදුවරුන්ගේ බොරුවක් නැත. මම ඒකාන්තයෙන් ම බුදු වන්නෙමි.”
“යම් සේ අහසට විසි කළ ගල් කැටය ඒකාන්තයෙන් ම බිම වැටේ ද, එමෙන් බුදු උතුමන්ගේ වචනය ද ඒකාන්තයෙන් ම සත්‍ය වේ.”
“යම් සේ සියලු සත්ත්වයන්ට මරණය නියත ද, එමෙන් බුදු උතුමන්ගේ වචනය ද ඒකාන්තයෙන් ම සත්‍ය වේ.”
“රාත්‍රිය ගෙවී ගිය කල්හි සූර්යයාගේ උදාව යම් සේ නියත ද, එමෙන් බුදු උතුමන්ගේ වචනය ද ඒකාන්තයෙන් ම සත්‍ය වේ.”
“ගුහාවෙන් නික්මුණු සිංහයාගේ නාද කිරීම යම් සේ නියත ද, එමෙන් බුදු උතුමන්ගේ වචනය ද ඒකාන්තයෙන් ම සත්‍ය වේ.”
“ගැබ්බර ස්ත්‍රීන් දරුවන් බිහි කිරීම යම් සේ නියත ද, එමෙන් බුදු උතුමන්ගේ වචනය ද ඒකාන්තයෙන් ම සත්‍ය වේ.”