සිද්ධාර්ථ බුදුරජුන්

star_outline

ධම්මදස්සී බුදුන් වහන්සේට මෑත භාගයෙහි, මෙයින් කල්ප අනූ හතරකට මත්තෙන් වූ එක් කපක එකම සිද්ධාර්ථ බුදුන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනකි. පළමු සමාගමේදී කෝටි ලක්‍ෂයක් ද, දෙවැන්නෙහි කෝටි අනූවක් ද, තෙවැන්නෙහි කෝටි අසූවක් ද වශයෙන් භික්ෂූන් වහන්සේලා රැස්වූහ. එදවස බෝසතාණෝ මහත් තෙද බල ඇති, අභිඥා බලයෙන් යුත් මංගල නම් තාපසයෙක් ව, මහත් වූ ජම්බු (දඹ) ඵලයක් ගෙනවුත් තථාගතයන් වහන්සේට පූජා කළහ. ශාස්තෘන් වහන්සේ එම ඵලය වැළඳූ සේක. ඉන්පසු “කල්ප අනූ හතරක් ගිය තැන නුඹ බුදු වන්නේය” යි බෝධිසත්ත්වයන්ට විවරණ දුන්හ. උන්වහන්සේගේ විස්තර මෙසේය:

  1. නගරය: වේභාර
  2. පියා: ජයසේන රජ
  3. මව: සුඵස්සා දේවිය
  4. අගසව්වෝ: සම්බල සහ සුමිත්ත මහරහතන් වහන්සේලා
  5. උපස්ථායක: රේවත තෙරණුවෝ
  6. අග්‍ර ශ්‍රාවිකාවෝ: සීවලී සහ සුරාමා තෙරණියෝ
  7. බෝධිය: කිණිහිරි ගස (කණිකාර)
  8. ශරීර උස: හැට රියනකි
  9. ආයු කාලය: වසර ලක්‍ෂයකි.

ධම්මදස්සී බුදුන් වහන්සේට පසුව, අහස මැදට පත් සූර්යයා මෙන් සියලු අන්ධකාරය නසා සිද්ධාර්ථ නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.