විපස්සී බුදුන් වහන්සේට අපර භාගයෙහි මෙයින් කල්ප තිස් එකකට පෙර වූ එකම කපක සිඛී සහ වෙස්සභූ යන බුදුන් වහන්සේලා දෙනමක් උපන්හ. සිඛී බුදුන් වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනකි. පිළිවෙලින් භික්ෂූන් ලක්‍ෂයක් ද, අසූ දහසක් ද, සැත්තෑ දහසක් ද රැස්වූහ. එදවස බෝසතාණෝ අරින්දම නම් රජෙක් ව, බුදුපාමොක් මහ සඟනට සිවුරු සහිත මහ දන් පවත්වා, සත් රුවනින් සැරසූ හස්ති රත්නයක් ද, ඇතෙකුගේ ප්‍රමාණයට කැප භාණ්ඩ ද පූජා කළහ. උන්වහන්සේ ද බෝසතුන් “මෙයින් එක් තිස් වැනි කල්පයෙහි නුඹ බුදු වන්නේය” යි ප්‍රකාශ කළහ. ඒ බුදුරජුන්ගේ විස්තර මෙසේය:
- නගරය: අරුණවතී
- පියා: අරුණ රජ (ක්‍ෂත්‍රිය)
- මව: පභාවතී දේවිය
- අගසව්වෝ: අභිභූ සහ සම්භව මහරහතන් වහන්සේලා
- උපස්ථායක: ඛේමංකර තෙරණුවෝ
- අග්‍ර ශ්‍රාවිකාවෝ: සඛිලා (මඛිලා) සහ පදුමා තෙරණියෝ
- බෝධිය: ඇටඹ ගස (පුණ්ඩරීක)
- ශරීර උස: හැත්තෑ රියනකි. ශරීර ප්‍රභාව යොදුන් තුනක් පැතිරී පැවතුණි.
- ආයු කාලය: වසර හැත්තෑ දහසකි.
විපස්සී බුදුන් වහන්සේට පසුව, දෙපා ලාභීන්ගෙන් උතුම් වූ, අසම වූ, ප්‍රතිපුද්ගලයෙකු නැති සිඛී නම් ජිනේන්ද්‍රයන් වහන්සේ පහළ වූ සේක.