මේ ජාතක අර්ථ වර්ණනාව; ‘දූරේ නිදානය’ (දුර ඇති හේතුව), ‘අවිදූරේ නිදානය’ (නුදුරු හේතුව) සහ ‘සන්තිකේ නිදානය’ (ළඟ හේතුව) යනුවෙන් නිදාන තුනක් දක්වා වර්ණනා කරන කල්හි, යම් කෙනෙක් එය අසත් ද, ඔවුන් එය මුල සිටම දැන ගන්නා බැවින් මැනවින් දත් අය වන්නාහුය. එබැවින් ඒ නිදාන තුන දක්වාම මෙය වර්ණනා කරන්නෙමු.
එහිලා පළමුව ඒ නිදානයන්ගේ කාල පරිච්ඡේදය දත යුතුය. දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාමුල කරන ලද ප්‍රාර්ථනා ඇති මහා සත්ත්වයින් වහන්සේගේ, වෙස්සන්තර ආත්මභාවයෙන් චුත වී තුසිත පුරයෙහි උපත ලැබීම දක්වා පවත්නා කථා පුවත ‘දූරේ නිදානය’ නම් වේ. තුසිත භවනෙන් චුත වී බෝමැඩ දී සර්වඥතා ඤාණය ලැබීම දක්වා පවත්නා කථා පුවත ‘අවිදූරේ නිදානය’ නම් වේ. බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැන්හි වැඩ වෙසෙන කල්හි ඒ ඒ තැනේදීම ලැබෙන (දේශනා කරන ලද) කරුණු ‘සන්තිකේ නිදානය’ නම් වේ.