ග්‍රන්ථාරම්භ කථාව

star_outline

තිලෝ සරණ වූ යම් මහා සෘෂිවරයකු (බුදුරජාණන් වහන්සේ) විසින් කල්ප කෝටි දහස් ගණනක් මුළුල්ලෙහි ඉපදෙමින් ලෝවැසියන්ට අප්‍රමාණ වූ යහපතක් කරන ලද්දේ ද,

උන්වහන්සේගේ සිරිපා යුවළ නැමද, ධර්මයට ද දෑත එක් කොට වන්දනා කර, සැමගේ බුහුමනට බඳුන් වූ මහා සංඝරත්නය ද ගෞරවයෙන් පුදා,

තෙරුවන් විෂයයෙහි කරන ලද ඒ නමස්කාරාදී පුණ්‍ය මහිමයෙන් සියලු උවදුරු නසා,

ශෝභාමත් වූ මහා සෘෂි වූ බුදුරජාණන් වහන්සේ විසින් පෙර දවස අර්ථෝත්පත්ති වශයෙන් එළැඹ සිටි කාරණයන් මුල් කරගෙන ‘අපණ්ණක’ ආදී යම් ජාතක කථාවන් දේශනා කරන ලද්දේ ද,

ලෝවැසියන් සසරින් එතැර කිරීම අරමුණු කොට ඇති, දෙවිමිනිසුන්ගේ නායක වූ ශාස්තෘන් වහන්සේ, යම් ඒ ජාතකයන්හි (බුද්ධත්වය පිණිස වූ) අනන්ත වූ බොධිසම්භාර ධර්මයන් දීර්ඝ කාලයක් මුළුල්ලේ පරිපාකයට පත් කළ (පැසවූ) සේක් ද,

ඒ සියලු ජාතකයන් එකට සංග්‍රහ කොට, ධර්ම සංගායනා කළ මහා තෙරවරුන් විසින් ‘ජාතක’ යන නාමයෙන් යමක් සංගායනා කරන ලද්දේ ද,

අපණ්ණකාදී ජාතක මගින් දැක්වෙන, බුදුරජාණන් වහන්සේගේ පරම්පරා කථා මාර්ගය වූ ඒ ‘බුද්ධ වංසය’ බොහෝ කල් පවතිනු කැමති වූ, ‘අත්ථදස්සී’ නම් මහා තෙරුන් වහන්සේ විසින් මා වෙත පැමිණ අයදින ලදුව,

එසේම, ගිහි සංසර්ගයෙන් තොර විහරණ ඇති, හැම කල්හි මා සමග වාසය කරන, ශාන්ත වූ සිත් ඇති, නුවණැති ‘බුද්ධමිත්ත’ තෙරණුවන් විසින් ද,

මහිංසාසක වංසයෙහි උපන්, න්‍යාය ධර්මයන් දන්නා වූ, පිරිසිදු බුද්ධියක් ඇති ‘බුද්ධදේව’ නම් භික්ෂූන් වහන්සේ විසින් ද (එසේම අයදින ලද මම),

මහා පුරුෂයන්ගේ (බෝධිසත්ත්වයන්ගේ) චර්යාවන්ගේ ආනුභාවය අචින්ත්‍යය (සිතා නිම කළ නොහැක). බබළන්නා වූ ඒ ජාතකයන්ගේ අර්ථ වර්ණනාව,

මහා විහාරවාසී තෙරවරුන්ගේ වාචනා මාර්ගය (සම්ප්‍රදාය) ඇසුරු කොට ගෙන දේශනා කරන්නෙමි. මා දේශනා කරන ඒ ධර්මය සත්පුරුෂයෝ මැනවින් ගනිත්වා (අසත්වා)!