ඵුස්ස බුදුන් වහන්සේට අපර භාගයෙහි මෙයින් කල්ප අනූ එකකට මත්තෙන් විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේගේ ශ්‍රාවක සමාගම් තුනකි. පිළිවෙලින් භික්ෂූන් හැට අට ලක්‍ෂයක් ද, එක් ලක්‍ෂයක් ද, අසූ දහසක් ද වූහ. එදවස බෝසතාණෝ මහත් සෘද්ධි හා මහානුභාව ඇති අතුල නම් නාග රාජයෙක් ව, සත් රුවනින් කැටයම් කළ රන්මුවා මහා පීඨයක් (පුටුවක්) භාග්‍යවතුන් වහන්සේට පූජා කළහ. ඒ බුදුරජාණෝ ද “මෙයින් කල්ප අනූ එකකට පසු නුඹ බුදු වන්නේය” යි විවරණ දුන්හ. ඒ බුදුරජුන්ගේ විස්තර මෙසේය:
- නගරය: බන්ධුමතී
- පියා: බන්ධුමා රජ
- මව: බන්ධුමතී දේවිය
- අගසව්වෝ: ඛණ්ඩ සහ තිස්ස මහරහතන් වහන්සේලා
- උපස්ථායක: අශෝක තෙරණුවෝ
- අග්‍ර ශ්‍රාවිකාවෝ: චන්ද්‍රා සහ චන්දමිත්තා තෙරණියෝ
- බෝධිය: පළොල් ගස (පාටලි)
- ශරීර උස: අසූ රියනකි. (උන්වහන්සේගේ) ශරීර ප්‍රභාව සැම කල්හි සත් යොදුන් පැතිරී පැවතුණි.
- ආයු කාලය: වසර අසූ දහසකි.
ඵුස්ස බුදුන් වහන්සේට පසුව, දෙපා ලාභීන්ගෙන් උතුම් වූ, (ධර්මය දකින) ඇස් ඇති විපස්සී නම් සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.