දස දහසක් ලෝක ධාතු අඳුරු කොට (මංගල බුදුරජුන්) පිරිනිවි කල්හි උන්වහන්සේට පසු කාලයෙහි ‘සුමන’ නම් ශාස්තෘන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයෙහි භික්‍ෂූන් කෝටි ලක්‍ෂයක් වූහ. දෙවැන්න කාඤ්චන පර්වතයෙහි දී විය; එහි අනූ දහසක් කෝටියකි. තෙවැන්නෙහි අසූ දහසක් කෝටියකි. එදවස බෝසතාණෝ මහත් ඍද්ධි හා මහානුභාව ඇති ‘අතුල’ නම් නාග රාජයා ව සිටියහ. ඔහු “බුදුරජෙක් උපන්නේය” යි අසා ඥාති සමූහයා පිරිවරා නාග භවනයෙන් නික්ම, කෝටි ලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවරා ගත් භාග්‍යවතුන් වහන්සේට දිව්‍යමය තූර්ය නාදයෙන් පූජා පවත්වා, මහදන් දී, වෙන වෙන ම (එක් එක් නමට) සිවුරු ජෝඩු බැගින් දී සරණයෙහි පිහිටියේය. ඒ ශාස්තෘන් වහන්සේ ද ඔහුට “අනාගතයෙහි බුදු වන්නෙහි ය” යි විවරණ දුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය ‘ඛේම’ නම් විය. ‘සුදත්ත’ නම් රජ පියා විය. ‘සිරිමා’ නම් දේවිය මව වූවාය. ‘සරණ’ සහ ‘භාවිතත්ත’ දෙනම අග්‍ර ශ්‍රාවකයෝ වූහ. ‘උදේන’ නම් තෙරණුවෝ උපස්ථායක වූහ. ‘සෝණා’ සහ ‘උපසෝණා’ දෙනම අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. නා ගස බෝධිය විය. ශරීරය අනූ රියනක් උස් විය. ආයු ප්‍රමාණය අවුරුදු අනූ දහසක් විය.
“මංගල බුදුරජුන්ට පසුව, සියලු ධර්මයන්ගෙන් අසම වූ, සියලු සත්ත්වයන්ට උතුම් වූ, ‘සුමන’ නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.”