පදුමුත්තර බුදුන් වහන්සේගෙන් පසුව කල්ප තිස් ලක්‍ෂයක් (පාලියට අනුව කල්ප හැත්තෑ දහසක්) ඉක්ම ගිය පසු, සුමේධ සහ සුජාත නමින් බුදුන් වහන්සේලා දෙනමක් එකම කපක උපන්හ. සුමේධ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක සමාගම් තුනකි. ප්‍රථම සමාගමෙහි සුදස්සන නගරයේදී රහතන් වහන්සේලා කෙළ සියයක් (කෝටි සියයක්) විය. දෙවැන්නෙහි අනූ කෝටියකි. තුන්වැන්නෙහි අසූ කෝටියකි. එදවස බෝසත්හු ‘උත්තර’ නම් මානවකයෙක් වී, නිධන් කොට තිබූ අසූ කෙළක් ධනය වියදම් කොට බුදුපාමොක් මහා සඟනට මහ දන් දී, දහම් අසා, සරණෙහි පිහිටා ගිහිගෙන් නික්ම පැවිදි වූහ. උන්වහන්සේ ද “අනාගතයේ නුඹ බුදු වන්නේය” යි විවරණ දුන්හ. සුමේධ බුදුන් වහන්සේගේ විස්තර මෙසේය:
- නගරය: සුදස්සන
- පියා: සුදත්ත රජ
- මව: සුදත්තා දේවිය
- අගසව්වෝ: සරණ සහ සබ්බකාම මහරහතන් වහන්සේලා
- උපස්ථායක: සාගර තෙරණුවෝ
- අග්‍ර ශ්‍රාවිකාවෝ: රාමා සහ සුරාමා තෙරණියෝ
- බෝධිය: බක්මී ගස (මහානීප)
- ශරීර උස: අසූ අට රියනකි
- ආයු කාලය: වසර අනූ දහසකි.
පදුමුත්තර බුදුන් වහන්සේට පසුව, ළං විය නොහැකි (තෙද ඇති), උග්‍ර තේජස් ඇති, සකල ලෝකයටම උතුම් වූ සුමේධ නම් මුනීන්ද්‍රයන් වහන්සේ ලොව පහළ වූ සේක.