ධාතු පරිනිර්වාණ කථාව

star_outline

මෙසේ දෙවියන්ට ද දෙවියෙක් වූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හි මහ පොළොව කම්පා වීම් ආදී අනන්ත අප්‍රමාණ ආශ්චර්ය අද්භූත ධර්මයෝ පහළ වූහ.

එකෙණෙහි සහම්පතී මහා බ්‍රහ්මයා ආදීන් විසින් “සබ්බෙව නික්ඛිපිස්සන්ති” යනාදී ගාථාවෝ කියන ලදහ.

තවද අනන්ත අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්මයන්ට ද, සෝවාන් සකෘදාගාමීන් හා පෘථග්ජන සත්ත්වයින්ට ද ස්වකීය ස්වභාවයෙන් එහි සිටගත නොහැකිව, නා නා විරූප වෙස් ගෙන, “අහෝ! බුදුරජාණන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවී සේකැ” යි යනාදී අඳෝනා වදන් කියමින් හඬන්නට වූහ.

එකල්හි තුන් ලොවට නැඟූ පහන් රුකක් වැනි වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවී බව ඇසූ කුසිනාරා නුවර සැට දහසක් පමණ මල්ල රජ දරුවන් හා ඒ නුවර බ්‍රාහ්මණ ගෘහපති ආදී සංඛ්‍යාව ඉක්මවූ සේනාවෝ විලාප දෙමින් පැමිණ, සියලු පූජා විධි සාදාගෙන උපවර්තන නම් සල් උයනට පැමිණ, සියලු පූජා පැවැත්වීමෙන් ම සත් දවසක් ගත කළහ.

සත්වෙනි දින බුදුන්ගේ ශ්‍රී ශරීරය පන්සියයක් සළුපටින් වෙලා, සුවඳ තෙල් පිරූ රන් දෙනක වඩා, අනික් රන් දෙනකින් වසා, දිගින් එකසිය විසි රියන් පමණ වූ ද උසින් සත් විසි රියන් ඇත්තා වූ ද සර්ව සුගන්ධ සම්මිශ්‍ර වූ චන්දන චිතකයක් කරවා, මහත් පෙරහැරින් එයට වඩා ආදාහනය කළහ.

එකල්හි අප භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානය ලෙස “සතර දන්ත ධාතුව ය, දෙ අකු ධාතු ය, ලලාට ධාතු ය” යි යන මේ සත් ධාතූහු විසිර නොගියාහු ය.

සෙසු ධාතූහු අබ ඇට ප්‍රමාණයට ද, කඩ සහල් ප්‍රමාණයට ද, මුං පියලි ප්‍රමාණයට ද විසිර ගියාහු ය.

ඉක්බිත්තෙන් මල්ල රජ දරුවෝ ධාතු සහිත රන් දෙන මහත් පෙරහැරින් වැඩමවා ගෙනවුත්, නුවර මැද සන්ථාගාර ශාලාවෙහි මහා අනර්ඝ පර්යංකයක තබා, රැකවල් ලවා ධාතු පූජාවට පටන් ගත්තාහු ය.

එවේලෙහි රජගහ නුවර ය, විශාලා මහ නුවර ය, කිඹුල්වත්පුර නුවර ය, අල්ලකප්ප නුවර ය, රාමගම් නුවර ය, වෙඨදීප නුවර ය, පාවෙය්‍යක නුවර ය යන සත් රාජ්‍යයක රජවරුන් හා මහ සෙනඟ දුව ගොස් කුසිනාරා නුවර වට කරගෙන, “ධාතු හෝ අපට දෙව, නැතහොත් යුද්ධ කරන්නෙමු ය” යි ඔවුනොවුන් වහසි බස් කිය කියා සිටියාහු ය.

ඒ බස් ඇසූ මල්ල රජ දරුවෝ කියන්නාහු, “අපගේ ගම් කෙතක යම් රුවනක් උපන්නේ නම් එය අපට ම අයිතිය. තොපි කිරි බොන දා අපි මෝරු නොබිව්වෙමු. අපි ධාතු නොදෙමු. අපි ධාතු නොදෙමු යි තොපි යුද්ධ කරනු කැමති නම් අපිත් කැමතිය” යි මාන්නය වඩන්නා වූ වහසි බස් කියා කලහය වැඩි කළහ.

ඉදින් යුද්ධ වී නම් එක නුවරක් තබා දඹදිව තෙසැට දහසක් රාජධානිවල සියලු රජ සෙනඟ ආවේ වී නමුත් මල්ල රජවරු ජය ගනිති ම ය.

එසමයෙහි දඹදිව සියලු රජ දරුවන්ට ආචාර්ය වූ ද්‍රෝණ නම් බමුණු තෙම, “භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ තැන දී කලහ කර ගත්තාහු නම් සුදුසු නොවේ” යි සිතා, ‘ද්‍රෝණ ගර්ජනා’ නම් අවවාදයක් කොට ඒ රජ දරුවන් සමගි කරවා, ධාතු බෙදීමට පටන් ගෙන, රජ දරුවන්ගේ යම් ප්‍රමාදයක් බලා දකුණු දළදා වහන්සේ සොරකම් කොට හිස් වෙළුමෙහි සඟවා තැබුවේ ය.

ඒ බව දුටු ශක්‍ර දේවේන්ද්‍ර තෙම, “දකුණු දළදා වහන්සේට පුදන්නට මොහු සුදුස්සෙක් නොවේ” යි සිතා, සියුම් අතක් මවා එයින් ගෙන සත් රුවන් කරඬුවක දමා ශක්‍ර පුරයට ගෙන ගොස් සිළුමිණි සෑය නම් වූ ධාතු චෛත්‍යයට වඩා අද දක්වා පූජා කරන්නේ ය.

ඉක්බිත්තෙන් බමුණු තෙම මගධ නැළියෙන් දෙ නැළිය බැගින් ධාතු අට කොටසක් කොට රජ දරුවන්ට බෙදා දී, පසුව හිස අතගා බලා දකුණු දළදාව නොදැක ශෝකයෙන්, ධාතු බෙදූ ලාස්ස (මිනුම් භාජනය) රජ දරුවන්ගෙන් ඉල්ලා ගත්තේ ය.

එකල පිප්ඵලි නුවර මෝරිය රජ දරුවෝ බුදුන් පිරිනිවී බව අසා පසුව අවුත් ආදාහන ස්ථානයෙන් අඟුරු ගෙන ගියාහු ය.

මෙසේ ධාතු බෙදූ ඉක්බිත්තෙන් අජාසත් රජ්ජුරුවෝ තමන්ගේ ධාතු කොටස ගෙන කුසිනාරා නුවර පටන් රජගහ නුවර දක්වා පස් විසි යොදුන් මාර්ගයෙහි ඒ ඒ තැන සිට, මහත් පුද සිරිත් පවත්ව පවත්වා මහත් පෙරහැරින් සත් අවුරුදු සත් මස් සත් දවසකින් රජගහ නුවරට පැමිණ, එහි මහත් වූ දාගැබක් බඳවා ධාතු නිදන් කොට ශක්ති පමණින් පූජා කළාහු ය.

සෙසු රජ දරුවෝ තමන් ලත් ලත් ධාතු කොට්ඨාසයන් යථා ශක්තියෙන් පුද පුදා තම තමන්ගේ නුවරවලට ගෙන ගොස් දාගැබ් බඳවා මහත් වූ පූජා කළාහු ය.

ද්‍රෝණ නම් බමුණු තෙම තමන් ලත් ලාස්ස ගෙන තමන්ගේ නුවර කුම්භ නම් චෛත්‍යයක් ද, පිප්ඵලි මෝරිය රජ දරුවෝ තමන් ලත් අඟුරු තබා අංගාර නම් චෛත්‍යයක් ද බඳවා යථා ශක්තියෙන් පූජා කළාහු ය.

මෙසේ දස ථූපයන් පිහිටියායින් පසු මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ධාතුවලට වන අන්තරාවක් දැක අජාසත් මහරජහට දැන්වූ කල්හි ඒ රජු විසින් ධාතු නිධානයක් කළහ.

එහි විස්තර ද, ධර්මාශෝක මහ රජ විසින් කළ අසූ හාර දහසක් චෛත්‍යයන්ගේ විස්තර ද, දෙවෙනි පෑතිස් රජ, දුටුගැමුණු රජ ආදී නරේන්ද්‍රයන් විසින් කළ මහා චෛත්‍ය ආදී සුවහස් ගණන් චෛත්‍යයන්ගේ විස්තර ද ථූපවංශයෙහි ප්‍රකාශ ක්‍රමයෙන් බලා දැනගත යුතු ය.

ධාතු පරිනිර්වාණය

මෙසේ ලෝ වැඩ කළා වූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසනය අන්තර්ධාන වූවායින් පසු, බුදුන් පිරිනිවී පන්දහසක් වස් ඉකුත්ව ගිය කල්හි වෙසක් මස පුර පසළොස්වක් දිනයෙහි මෙම ශ්‍රී ලංකාද්වීපයෙහි වූ මහියංගනාදී සියලු චෛත්‍යයන්හි පිහිටි සියලු ධාතු ආකාශයට පැන නැඟී, අහසින් වැඩ අනුරාධපුරයෙහි මහා චෛත්‍යයෙහි (රුවන්වැලිසෑයෙහි) ධාතු ගර්භයට වැඩ, එහි පිහිටි සියලු ධාතූන් හා එයිනුත් අහසට පැන නැඟී එක හුයක අමුණන ලද මුතු පෙළක් සේ ඔවුනොවුන් පසුපස්සෙහි නික්ම, මිණිනාග දිවයින දෙමයිල් නා රජුන්ගෙන් පිළිගෙන අප බුදුන් වැඩහිඳ බණ දෙසූ මිණි පළඟ මතුයෙහි රැස්වන සේක.

නැවත ඒ මිණිපළඟ හා සියලු ධාතු ආකාශයෙන් වැඩ අප බුදුන් මරසෙන් බිඳ බුදු වූ අපරාජිත භූමියට (බෝධි මණ්ඩලයට) බස්නා සේක.

එකෙණෙහි දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, නාග ලෝකාදී සියලු තන්හි පිහිටි ධාතූන් වහන්සේ ද බෝමැඩ එම ධාතූන් වහන්සේ හා සමඟ එක්ව එයින් ජීවමාන බුදුන් සේ බුදු රුවක් නිර්මිත වෙයි.

ඒ නිර්මිත බුදුහු එහි පැමිණ දස දහසක් සක්වළ සියලු දිව්‍ය බ්‍රහ්මයන් බල බලා සිටිය දී ආකාශයට පැන නැඟී යමක ප්‍රාතිහාර්ය කොට බෝමැඩට බැස වැඩ හිඳින සේක.

එවේලෙහි ධාතු ස්කන්ධයෙන් පැන නැඟි තේජස්කන්ධය බඹලොව දක්වා පැන නැඟී එයින් ධාතු අන්තර්ධානය වන සේක.

Story Illustration ධාතූන් වහන්සේලා ඒකරාශී වී බුදු රුවක් මවා පාන අයුරු

මෙතෙකින් මේ බුද්ධ වංශයෙහි පරිනිර්වාණ කථාව හා ධාතු පරිනිර්වාණ කථාව නිමි.

අනු මාතෘකා
keyboard_arrow_rightපුස්තක ලේඛන කථාවstar_outline