‘සන්තිකේ නිදානය’ (ළඟ හේතුව) යනු “භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක; විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක” යනාදී වශයෙන් ඒ ඒ තැන්වල වැඩවසන කල්හි ඒ ඒ ස්ථානයන්හිදීම ලැබෙන්නකි. එසේ කියන ලද නමුත්, එය ද මුල පටන් මෙසේ දත යුතුය: බෝමැඬ දී උදාන වාක්‍යය පහළ කොට ජය පළඟෙහි වැඩසිටි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු අදහසක් පහළ විය. “මම කල්ප ලක්ෂයක් අධික වූ සාරාසංඛ්‍යයක් මුළුල්ලෙහි මේ පළඟ සඳහා සසර සැරිසැරුවෙමි. ඒ කාලය තුළ මම මේ පළඟ සඳහාම අලංකාර වූ හිස බොටුවෙන් සිඳ දුනිමි; අඳුනෙන් සැරසූ ඇස් සහ හෘදය මාංශ උපුටා දුනිමි; ජාලිය කුමරු වැනි පුතුන් ද, කණ්හාජිනා කුමරිය වැනි දියණියන් ද, මද්‍රී දේවිය වැනි භාර්යාවන් ද අනුන්ගේ දාසභාවය සඳහා දුනිමි. මේ මාගේ ජය පළඟයි; උතුම් පළඟයි. මෙහි වැඩහුන් මාගේ අදහස් මුදුන්පත් විය. තවම මෙයින් නොනැගිටිමි” යි සිතා නොයෙක් කෝටි ලක්ෂ ගණන් සමාපත්තීන්ට සමවදිමින් සත් දිනක් එහිම වැඩහුන් සේක. ඒ සඳහාම “ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විමුක්ති සුව විඳිමින් සත් දිනක් එකම පර්යංකයෙන් වැඩ සිටි සේක” යි (උදාන 1; මහාවග්ග 1) වදාරන ලදී.