පදුම බුදුරජුන්

star_outline

උන්වහන්සේට පසු කාලයෙහි ‘පදුම’ නම් ශාස්තෘන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයෙහි කෝටි ලක්‍ෂයක් භික්‍ෂූහු වූහ. දෙවැන්නෙහි ලක්‍ෂ තුනකි. තෙවැන්නෙහි ගම් බිම් නැති ආරණ්‍යයෙහි මහාවන ලැහැබක වාසය කරන භික්‍ෂූන් ලක්‍ෂ දෙකකි. එකල තථාගතයන් වහන්සේ ඒ වන ලැහැබෙහි වසන කල්හි, බෝසතාණෝ සිංහයෙකු ව ඉපිද, නිරෝධ සමාපත්තියට සමවැදී හුන් ශාස්තෘන් වහන්සේ දැක පහන් සිතින් වැඳ, පැදකුණු කොට, පීති සොම්නස ඉපිදවා තෙවරක් සිංහ නාද පවත්වා, සත් දිනක් මුළුල්ලේ බුද්ධාලම්බන ප්‍රීතිය අත් නොහැර, ප්‍රීති සැපයෙන් ම ගොදුරු පිණිස ද නොගොස් (ජීවිත පරිත්‍යාගයෙන්) ළඟ ම සිටියේය. ශාස්තෘන් වහන්සේ සත් දිනක් ඇවෑමෙන් නිරෝධයෙන් නැඟී සිට, සිංහයා දෙස බලා “භික්‍ෂු සංඝයා කෙරෙහි ද සිත පහදවා සංඝයා වඳීවා” යි සිතා “භික්‍ෂු සංඝයා පැමිණේවා” යි අධිෂ්ඨාන කළ සේක. එකෙණෙහි ම භික්‍ෂූහු පැමිණියහ. සිංහයා සංඝයා කෙරෙහි සිත පැහැදවීය. ශාස්තෘන් වහන්සේ ඔහුගේ සිත බලා “අනාගතයෙහි බුදු වන්නෙහි ය” යි විවරණ දුන් සේක. පදුම භාග්‍යවතුන් වහන්සේගේ නගරය ‘චම්පක’ නම් විය. ‘අසම’ නම් රජ පියා විය. ‘අසමා’ නම් දේවිය මව වූවාය. ‘සාල’ සහ ‘උපසාල’ දෙනම අග්‍ර ශ්‍රාවකයෝ වූහ. ‘වරුණ’ නම් තෙරණුවෝ උපස්ථායක වූහ. ‘රාමා’ සහ ‘සුරාමා’ දෙනම අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. මූණමල් (Sona) ගස බෝධිය විය. ශරීරය අටපනස් රියනක් උස් විය. ආයුෂ අවුරුදු ලක්‍ෂයක් විය.

Story Illustration පදුම බුදුන් හමුවේ සිංහ රාජයෙක්ව ඉපිද විවරණ ලැබීම

“අනෝමදස්සී බුදුරජුන්ට පසුව, දෙපා ලාභීන්ගෙන් උතුම් වූ, නමින් ‘පදුම’ නම් වූ, අසම වූ, ප්‍රතිපුද්ගලයෙක් නැති සම්බුදුරජාණෝ පහළ වූ සේක.”