අත්ථදස්සී බුදුන් වහන්සේට මෑත භාගයෙහි ධම්මදස්සී නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනකි. ප්‍රථමයේදී කෝටි සියයක් ද, දෙවැන්නෙහි කෝටි හැත්තෑවක් ද, තෙවැන්නෙහි කෝටි අසූවක් ද වශයෙන් භික්ෂූන් වහන්සේලා රැස්වූහ. එදවස බෝසතාණෝ සක් දෙව් රජව ඉපිද දිව මල් සුවඳින් හා දිව්‍ය සංගීතයෙන් පූජා කළෝය. උන්වහන්සේ ද “අනාගතයේ නුඹ බුදු වන්නෙහිය” යි බෝසතුන්ට විවරණ දුන්හ. උන්වහන්සේගේ විස්තර මෙසේය:
- නගරය: සරණ
- පියා: සරණ රජ
- මව: සුනන්දා දේවිය
- අගසව්වෝ: පදුම සහ ඵුස්සදේව මහරහතන් වහන්සේලා
- උපස්ථායක: සුනෙත්ත තෙරණුවෝ
- අග්‍ර ශ්‍රාවිකාවෝ: ඛේමා සහ සබ්බනාමා තෙරණියෝ
- බෝධිය: රත්කරව් ගස (රත්තංකුර). එය ‘බිම්බිජාල’ ගස යැයි ද කියති.
- ශරීර උස: අසූ රියනකි
- ආයු කාලය: වසර ලක්‍ෂයකි.
එම මණ්ඩ කල්පයේදීම, මහත් කීර්ති ඇති ධම්මදස්සී බුදුන් වහන්සේ (පහළ වූ සේක). උන්වහන්සේ මෝහාන්ධකාරය දුරු කර දෙවියන් සහිත ලෝකයෙහි බැබළුණ සේක.