පුස්තක ලේඛන කථාව

star_outline

මෙසේ දක්වන ලද ක්‍රමයෙන් බුද්ධත්වයට පැමිණ පිරිනිවියා වූ ධර්මාධිරාජ වූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුදුව වැඩ සිටි පන්සාළිස් අවුරුද්දක් ඇතුළත දිව්‍ය මනුෂ්‍යාදීන්ට අනුශාසනා කළා වූ යම් යම් ධර්මයෙක් ඇද්ද, ඒ ධර්මය මහා කාශ්‍යප ස්ථවිරාදී සිවුපිළිසිඹියාපත් මහ රහතුන් වහන්සේ විසින් ධර්ම සංගායනා කොට, විනය සූත්‍ර අභිධර්ම යැයි කියා පිටක වශයෙන් ද නිකායාදී වශයෙන් ද බෙදා තැබුවාහු ය.

අප බුදුන් පිරිනිවී වර්ෂයෙහි අජාසත් රජුගෙන් සහාය ලැබ රජගහ නුවර දී කළ මේ පළමුවෙනි ධර්ම සංගායනාවෙහි ද, එසේම එකසිය දසවෙනි වර්ෂයෙහි යස ස්ථවිරාදී සත්සියයක් මහ රහතුන් විසින් විශාලා මහ නුවර දී කළ දෙවෙනි ධර්ම සංගායනාවෙහි ද, දෙසිය දහඅටවෙනි වර්ෂයෙහි මොග්ගලී පුත්‍ර ස්ථවිර ප්‍රමුඛ දහසක් මහරහතුන් විසින් පැළලුප් නුවර දී කළ තුන්වෙනි ධර්ම සංගායනාවෙහි ද, දෙසිය තිස් අටවෙනි වර්ෂයෙහි මෙම සිරිලක අනුරාධපුර නුවර දී අරිට්ඨ ථෙර මහා මහින්ද ස්ථවිරාදී අටසැට නමක් පමණ ත්‍රිවිද්‍යාදී ගුණ සම්පන්න මහා ක්ෂීණාශ්‍රවයන් වහන්සේ ප්‍රධාන කොට දහසක් භික්ෂු සංඝයා වහන්සේ ථූපාරාම විහාරයට රැස්ව කළ සතරවෙනි ධර්ම සංගායනාවෙහි ද විස්තර ශ්‍රී ධර්මෝවාද සංග්‍රහය ආදී ධර්ම ප්‍රකරණයන් බලා දැනගත යුතු ය.

මෙහි කියන ලද සංගායනාවලට ඇතුළත් පිටකත්‍රයෙන් විනය පිටකයට පාරාජික, පචිති, චුල්ලවග්ග, මහාවග්ග, පරිවාර පාළි කියා පොත් පහ ද, සූත්‍ර පිටකයට – තිස් හතරක් සූත්‍රයකින් ප්‍රතිමණ්ඩිත වූ දීඝ නිකාය ද, එකසිය පණස් දෙකක් සූත්‍රයන්ගෙන් යුක්ත වූ මජ්ඣිම නිකාය ද, සත් දහස් සත්සිය දෙසැටක් සූත්‍රයන්ගෙන් හෙබියා වූ සංයුක්ත නිකාය ද, නව දහස් පන්සිය පනස් හතක් සූත්‍රයන්ගෙන් සමලංකෘත වූ අංගුත්තර නිකාය ද, ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්ත නිපාත, විමාන වත්ථු, පේත වත්ථු, ථෙර ගාථා, ථෙරී ගාථා, ජාතක, නිද්දේස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංස, චරියාපිටක යන පසළොස් ප්‍රකරණයකින් යුක්ත වූ ඛුද්දක නිකාය ද යන සඟි පහක් ද, අභිධර්ම පිටකයට ධම්මසංගණී, විභංග, ධාතු කථා, පුග්ගල පඤ්ඤත්ති, කථාවත්ථු, යමක, පට්ඨාන යන සප්ත ප්‍රකරණයක් ද ඇතුළත් වන්නේ ය.

මේ කියන ලද පිටකත්‍රය ධර්මයන් අතුරෙන් විනය පිටකයෙහි ධර්මස්කන්ධයෝ විසි එක් දහසෙක, සූත්‍ර පිටකයෙහි ධර්මස්කන්ධයෝ විසි එක් දහසෙක, අභිධර්ම පිටකයෙහි ධර්මස්කන්ධයෝ සතළිස් දෙදහසෙකැ යි කියා අසූ හාර දහසක් ධර්මස්කන්ධයෝ වන්නාහු ය.

මෙසේ දක්වන ලද ත්‍රිපිටක ධර්මයන් හා සියලු අර්ථ කථාවන්, ත්‍රිපිටක පර්යාප්තිධර සිවුපිළිසිඹියාපත් මහ රහතුන් විසින් අක්ෂර පදාදී කිසිවක් නොපිරිහෙළා මුඛ පාඨ වශයෙන් පවත්වාගෙන අවුත්, බුදුන් පිරිනිවී හාරසිය තෙතිස් වන වර්ෂයෙහි මෙම ශ්‍රී ලංකාද්වීපයෙහි රජ පැමිණි වළගම් අබා මහරජ තුමාගේ ආධාර ඇතිව එබඳු මහෝත්තම මහ රහතුන් විසින් බොහෝ කාලයක් බුද්ධ ශාසනය පවත්නා පිණිස මාතලේ දනව්වෙහි අළුලෙන වැඩ හිඳ පොත්වල ලියා අවුරුද්දකින් කෙළවර කරන ලදී.

එතැන් පටන් පන්සිය සොළොස් වර්ෂයක් අතික්‍රාන්තව ගිය කල දඹදිව මධ්‍ය දේශයෙහි මහ බෝ මැඩට නුදුරු වූ එක්තරා ගමක උතුම් වූ බ්‍රාහ්මණ කුලයක උපන් වේදත්‍රයයෙහි කෙළ පැමිණි බ්‍රාහ්මණෝත්තම කෙනෙක් බුදු සස්නෙහි පැහැද ආයුෂ්මත් රේවත නම් ක්ෂීණාශ්‍රවයන් වහන්සේ සමීපයෙහි මහණ ව සියලු පිටකත්‍රය ධර්මය ඉගෙන, බුද්ධඝෝෂ යැයි ප්‍රසිද්ධ ව දඹදිවින් මේ ලක්දිවට පැමිණ, එකල අනුරාධපුරයෙහි මහා විහාරවාසී නොයෙක් දහස් ගණන් භික්ෂූන් වහන්සේලාට ප්‍රධාන වූ ආයුෂ්මත් සංඝපාල ස්ථවිරයන් වහන්සේ කරා ගොස්, සියලු සිංහල අටුවා කථාව ද ථෙරවාද ද අසා “ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ අභිප්‍රාය මේ ය” යි නියම කොට දැන ඒ විහාරයෙහි සංඝ සන්නිපාත කරවා (රැස් කරවා) මෙසේ දැක්වූ සේක.

“ස්වාමීනි, මහා සංඝයා වහන්ස, පිටකත්‍රය අටුවා කරන්නට මට පොත් දෙවා වදාළ මැනව” යි යාච්ඤා කළ සේක.

එකල්හි භික්ෂු සංඝයා වහන්සේ ඔවුන්ගේ සමර්ථ භාවය විමසනු පිණිස ‘සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ’ යන ආදී ගාථාද්වයක් දී “මෙයට අටුවා කළ මැනව. එයින් තොපගේ සමර්ථ භාවය දැන පොත් දෙමු” යි කී සේක.

එකල්හි ආයුෂ්මත් බුද්ධඝෝෂ ස්ථවිරයන් වහන්සේ පිටකත්‍රය පාළිය ද අටුවා කථා ද ඒ ගාථාර්ථයෙහි සංග්‍රහ කොට විශුද්ධි මාර්ග නම් ප්‍රකරණය කළ සේක.

එකල්හි පෘථිවිය කම්පා වීම් ආදී බොහෝ ආශ්චර්ය අද්භූත ධර්මයෝ පහළ වූහ. ඒ දුටු මහා විහාරවාසී භික්ෂු සංඝයා වහන්සේ සිංහල අටුවා හා පිටකත්‍රය පාළි පොත් දුන් සේක.

එකල්හි ආයුෂ්මත් බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ මහානාම රජුගෙන් ලබන ලද ආධාර ඇතුව මහා විහාරයට දක්ෂිණ දිශා භාගයෙහි වූ ප්‍රධානඝර නම් වූ ප්‍රාසාදයෙහි වෙසෙමින් සිංහල භාෂාවෙන් තිබූ ත්‍රිවිධ අටුවා මූල භාෂාව වූ මාගධික භාෂාවට පෙරළා පිටකත්‍රයට අටුවා කළ සේක.

ඒ සිංහල අටුවා නම් බුදුන්ගේ විස්තර දේශනාව ය. එය වනාහි සංගීති කථාවෙහි ආ නයින් කරන ලද ත්‍රිවිධ සංගායනාවට ඇතුළත් වූ මෙම ශ්‍රී ලංකාද්වීපයෙහි සර්වඥ ශාසනය ප්‍රථම කොට පිහිටවූ මහා මහින්ද නම් ක්ෂීණාශ්‍රවයන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් විසින් ලංකා ශාසනාභිවෘද්ධිය පිණිස සිංහල භාෂාවෙන් කළා වූ මහා අටුවාව ද, කුරුන්‍දට්ඨ කථාව හා මහා පච්චරි අටුවාව ද යන අටුවාත්‍රයෙන් කුරුන්‍දට්ඨ කථාව පාළි භාෂාවට පෙරළා කරන ලද සත් විසි දහසක් පමණ ග්‍රන්ථයන්ගෙන් යුක්ත වූවෙන් තිබූ මහා අටුවාව පාළි භාෂාවට පෙරළා කරන ලද සුමංගල විලාසිනී නම් වූ දික්සඟි අටුවාව ද, එසේම පපඤ්චසූදනී නම් මැදුම් සඟි අටුවාව ද, සාරත්ථප්පකාසිනී නම් වූ සංයුත් සඟි අටුවාව ද, එසේම මනෝරථපූරණී නම් වූ අංගුත්තර සඟි අටුවාව ද, කුදු ගොත් සඟියට ඇතුළත් පඤ්ච දශ ප්‍රකරණයන්ට පිළිවෙළින් ම පරමත්‍ථජෝතිකා නම් ඛුද්දක පාඨ අටුවාව ද, ඉතිවුත්තක අටුවාව ද, සුත්ත නිපාත අටුවාව ද, විමාන වත්ථු අටුවාව ද, පේත වත්ථු අටුවාව ද, ථෙර ගාථා අටුවාව ද, ථෙරී ගාථා අටුවාව ද, නිද්දේස අටුවාව ද, පටිසම්භිදා අටුවාව ද, අපදාන අටුවාව ද, බුද්ධවංශ අටුවාව ද, නෙත්තිප්පකරණ අටුවාව ද, ඊට අනතුරුව මහා පච්චරි අටුවා කථාව ද පාළි භාෂාවට පෙරළා කරන ලද අත්ථසාලිනී නම් ධම්මසංගණී අටුවාව ද, එසේම සම්මෝහවිනෝදනී නම් විභංග ප්‍රකරණ අටුවාව ද, පරමත්‍ථදීපනී නම් පඤ්ච ප්‍රකරණ අටුවාව ද යන මේ ආදී ත්‍රිපිටක අර්ථ කථාවන් යථෝක්ත ක්‍රමයෙන් පාළියට නඟා කළ සේක.

මෙසේ බුද්ධඝෝෂ ස්වාමීන් විසින් සියලු දේශාන්තර වාසීන්ට හිත වැඩ පිණිස උපදවා ලූ පිටකත්‍රය අටුවා කථාවන් කෙළවර වූ කල්හි මෙසේ ම මහා පෘථිවිය කම්පා විය. මේ පිටකත්‍රය අටුවා කථා කිරීම එක් අවුරුද්දකින් නිම වූ සේක.

ඉක්බිත්තෙන් ආයුෂ්මත් බුද්ධඝෝෂ ස්ථවිරයන් වහන්සේ ලක්දිව තමන් වහන්සේ විසින් කළමනා කටයුතු නිමවා මධ්‍ය මණ්ඩලයෙහි මහා බෝධීන් වහන්සේ වඳිනා කැමති ව භික්ෂු සංඝයා වැඳ අවසර ගෙන නැවත දඹදිවට වැඩි සේක.

මෙසේ අටුවා කථා ලිවූ තැන් පටන් සසිය අසූ තුන් වර්ෂයක් අතික්‍රාන්ත ව ගිය කල්හි පරාක්‍රමබාහු නම් මහ රජාණන්ගේ සහාය ලැබ දිඹුලාගල වනවාසී මහා කාශ්‍යප ස්ථවිර ප්‍රමුඛ පිටකත්‍රයධර බොහෝ භික්ෂූන් විසින් බුද්ධඝෝෂ ස්වාමීන් කළ අර්ථ කථාවල ප්‍රකාශ නොවී සැඟවී තිබූ ලීනාර්ථ දහසක් ග්‍රන්ථයන්ගෙන් යුත් සාරත්ථදීපනී නම් වූ විනය ටීකාව ද, සූත්‍ර පිටකයෙහි සුමංගල විලාසිනී නම් අටුවාවට දුතිය සාරත්ථ මඤ්ජුසා නම් ටීකාව ද, සාරත්ථප්පකාසිනී නම් අටුවාවට තතිය සාරත්ථ මඤ්ජුසා නම් ටීකාව ද, මනෝරථපූරණී නම් අටුවාවට චතුත්ථ සාරත්ථ මඤ්ජුසා නම් ටීකාව ද, අභිධර්ම පිටකයෙහි අත්ථසාලිනී නම් අටුවාවට ප්‍රථම පරමත්‍ථප්පකාසිනී නම් ටීකාවක් ද අනුටීකාවක් ද, සම්මෝහවිනෝදනී නම් අටුවාවට දුතිය පරමත්‍ථප්පකාසිනී නම් ටීකාවක් ද අනුටීකාවක් ද, පරමත්‍ථදීපනී නම් අටුවාවට තෘතිය පරමත්‍ථප්පකාසිනී නම් මූල ටීකාවක් ද අනුටීකාවක් ද කොට අවුරුද්දකින් නිම කළාහු ය. මෙහි දී ද පෘථිවිය කම්පා විය.

මින් පසු ධර්මපාල තෙරුන් විසින් කරන ලද සාරත්ථ මඤ්ජුසා නම් විසුද්ධි මාර්ග ටීකාව ද, අනුරුද්ධ නම් තෙරුන් විසින් කරන ලද අභිධම්මත්‍ථසංගහයෙහි ලීනාර්ථයන් ප්‍රකාශ කොට ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් විසින් කරන ලද අභිධම්මත්‍ථ විභාවිනී නම් ටීකාව ද, ආනන්ද තෙරුන් විසින් කරන ලද සච්චසංඛේපය ද, ඛේම නම් තෙරුන් විසින් කරන ලද ඛේම නම් ප්‍රකරණය ද, කාත්‍යායන තෙරුන් විසින් කරන ලද සංගනන්දී පවුත්තිකා නම් ටීකාව ද, එසේම විමලබෝධි ටීකාව ද, බුද්ධරක්ඛිත තෙරුන් විසින් කරන ලද ජිනාලංකාරය ද, සච්චසංඛේප වර්ණනාව ද, එසේම පරමත්‍ථ විනිශ්චය වර්ණනාව ද, ශාරිපුත්‍ර ස්ථවිරයන්ගේ ශිෂ්‍ය ස්වාමීන් විසින් කරන ලද අත්ථසාලිනී නම් සච්චසංඛේප වර්ණනාව හා නොයෙක් ක්ෂුද්‍ර ප්‍රකරණය ද, කාත්‍යායන තෙරුන් විසින් කරන ලද නෙත්තිප්පකරණය ද, ධර්මපාල තෙරුන් විසින් කරන ලද ථෙර ගාථා ථෙරී ගාථා අර්ථ කථා නම් වූ අපර ටීකාව ද, එසේම පරමත්‍ථදීපනී නම් වූ විමාන වත්ථු පේත වත්ථු වර්ණනාද්වය ද, ධම්මසිරි තෙරුන් විසින් කරන ලද කුදුසික ද, සංඝරක්ඛිත තෙරුන් විසින් කරන ලද සුබෝධාලංකාර, වුත්තෝදය, කුදුසික ටීකාව ය, සම්බුද්ධ ගුණ වර්ණනාව ය යන පොත් සතර ද, බුද්ධදත්ත නම් තෙරුන් විසින් කරන ලද විනය විනිශ්චය ද, බුද්ධනාග තෙරුන් විසින් කරන ලද කංඛාවිතරණී ටීකාව ද, සාගරමති නම් තෙරුන් විසින් කරන ලද විනය සංග්‍රහය ද යන මේ ආදී පාළි භාෂාවෙන් කරන ලද නොයෙක් ප්‍රකරණයන් ඇත්තේ ය.

තවද බුද්ධදත්ත තෙරුන් විසින් මධුරාත්‍ථවිලාසිනිය ද, මහානාම තෙරුන් විසින් පටිසම්භිදාර්ථ වර්ණනාව ද, උපසේන තෙරුන් විසින් මහා නිද්දේසාර්ථ කථාව ද, වජිරබුද්ධි තෙරුන් විසින් වජිරබුද්ධි ටීකාව ද, චන්දගෝමී විසින් විනය සංග්‍රහය හා අංගුත්තර ටීකාව ද, ශාරිපුත්‍ර තෙරුන් විසින් පඤ්චිකා ප්‍රදීප ටීකාව ද, කාශ්‍යප තෙරුන් විසින් විමතිවිනෝදනිය ද, රේවත තෙරුන් විසින් විනය විනිශ්චය ටීකාව ද, බුද්ධනාග තෙරුන් විසින් විනයාත්‍ථ මඤ්ජුසාව ද, වාචිස්සර තෙරුන් විසින් සීමාලංකාර සංග්‍රහය ද, තිපිටකාලංකාර තෙරුන් විසින් විනයාලංකාරය ද, ඤාණාභිවාස ධර්මසේනාපති සංඝරාජ තෙරුන් විසින් නෙත්ති ටීකාව ආදී ප්‍රකරණයන් ද, ආනන්ද තෙරුන් විසින් අභිධම්ම මූල ටීකාව ද, කාශ්‍යප තෙරුන් විසින් මෝහවිච්ඡේදනිය ද, විමලබුද්ධි තෙරුන් විසින් අභිධම්මත්‍ථසංගහ පුරාණ ටීකා යන මේ ආදී ප්‍රකරණයන් ද, වාචිස්සර සාමිපාදයන් විසින් සච්චසංඛේප පුරාණ ටීකාව ද, මහාබෝධි තෙරුන් විසින් පරමත්‍ථවිනිශ්චය නම් පුරාණ ටීකාව ද, සුමංගල තෙරුන් විසින් අභිධම්මාවතාර අභිධම්මත්‍ථසංගහ යන පුස්තකද්වයට අභිනව ටීකාවක් ද, මහා සාමි තෙරුන් විසින් අභිනව නාමරූප පරිච්ඡේදය ද, මහා ශ්‍රාවක භූත කාත්‍යායන ක්ෂීණාශ්‍රවයන් වහන්සේ විසින් මහා නිරුත්තිය ආදී නිරුත්ති ප්‍රකරණයන් ද, ධර්මකීර්ති තෙරුන් විසින් බාලාවතාරය ද, අග්ගවංසාචරිය තෙරුන් විසින් සද්දනීතිය ද, බුද්ධප්පිය තෙරුන් විසින් රූපසිද්ධිය ද, අරිමද්දනපුර ආමාත්‍යයෙකු විසින් න්‍යාය ප්‍රදීප ටීකාව ද, දාඨානාග තෙරුන් විසින් නිරුත්තිසාර මඤ්ජුසාව ද, විජිතාවී තෙරුන් විසින් කාත්‍යායන වර්ණනාව ද, යමක තෙරුන් විසින් චුල්ල නිරුත්තිය ද, සබ්බගුණ තෙරුන් විසින් සද්දකලිකය ද, රතනසිරි තෙරුන් විසින් සද්දත්‍ථචින්තාව ද, ඡප්පට තෙරුන් විසින් සංක්ෂේප වර්ණනාව හා සූත්‍ර නිර්දේශය ආදී ප්‍රකරණයන් ද, නාගිත තෙරුන් විසින් සද්දසාරත්‍ථජාලිනී ආදී ප්‍රකරණයන් ද, මොග්ගල්ලායන තෙරුන් විසින් මොග්ගල්ලායනය හා අභිධානප්පදීපිකාව ද, පියදස්සී තෙරුන් විසින් පද සාධනය ද, වනරතන තෙරුන් විසින් පයෝග සිද්ධිය ද, තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ තෙරුන් විසින් පඤ්චිකා ප්‍රදීපය ද, ධර්මකීර්ති තෙරුන් විසින් දාඨාවංශය ද, උපතිස්ස තෙරුන් විසින් සමන්තකූට වර්ණනාව හා රසවාහිනිය ද කරන ලද්දේ ය.

තවද මෙහි සඳහන් නොවූවා වූ ශබ්ද ශාස්ත්‍රඥ ධර්ම විනය දත් පණ්ඩිතයන් විසින් කරන ලද්දා වූ නොයෙක් ප්‍රකරණයෝ ඇත්තාහු ය. මේ කියන ලද අර්ථ කථා ටීකා වෙය්‍යාකරණාදී පාළි පොත් හැර පරාක්‍රමබාහු නම් නරපතීන් විසින් කරන ලද විසුද්ධි මාර්ග සන්නය ද, පූර්වෝක්ත චන්දගෝමීන් විසින් කරන ලද අභිධම්මත්‍ථසංගහ සන්නය ද, පරාක්‍රම නම් අමාත්‍යෝත්තමයන් විසින් සිංහල භාෂාවට නඟන ලද පන්සිය පණස් ජාතක පොත ද, තවත් ඒ ඒ කාලවල දී නොයෙක් පණ්ඩිතයන් විසින් හෙළ බසින් රචනා කොට ඇසුවා වූ පූජාවලිය, රත්නාවලිය, සද්ධර්මාලංකාරය, බෝධිවංශය, සද්ධර්ම රත්නාකරය, ප්‍රදීපිකා, සාරාර්ථ සංග්‍රහ, ශ්‍රී සද්ධර්මෝවාද සංග්‍රහ ආදී ප්‍රකරණයෝ ද ඇත්තාහු ය.

තවද ශ්‍රී සද්ධර්මෝවාද සංග්‍රහාදී ධර්ම ප්‍රකරණයන්හි ආ නයින් “බුද්ධඝෝෂ ස්වාමීන් විසින් මේ මේ අටුවා කළේය” යි මීට ප්‍රථම දැක්වූයේ වී නමුත් කුදු ගොත් සඟියට ඇතුළත් පොත්වලින් සමහරකට කරන ලද අර්ථ වර්ණනාවෝ “ධර්මපාල තෙරුන් විසින් කරන ලද්දෝය” යි ඒ ඒ අර්ථකථාදීන්ගේ හා වෙනත් ධර්ම ප්‍රකරණයන්හි ප්‍රකාශ වන්නේ ය. එය පණ්ඩිතයන් විසින් විනිශ්චය කටයුතු ය.

මෙතෙකින් මේ බුද්ධ වංශයෙහි ධර්ම සංගායනා කථාවන් හා දේශනාර්ථ කථාදී පුස්තක ලේඛන කථාව නිමි.