නාරද බුදුරජුන්

star_outline

ඒ භාග්‍යවතුන් වහන්සේට පසු කාලයෙහි ‘නාරද’ නම් ශාස්තෘන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයෙහි කෝටි ලක්‍ෂයක් භික්‍ෂූහු වූහ. දෙවැන්නෙහි අනූ දහසක් කෝටියකි. තෙවැන්නෙහි අසූ දහසක් කෝටියකි. එකල බෝසතාණෝ ඉසි පැවිද්දෙන් පැවිදි ව පඤ්ච අභිඥා සහ අෂ්ට සමාපත්තීන්හි වසීභාවයට පැමිණ, බුදුරජුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් දී ලොහිත චන්දනයෙන් (රත් සඳුන්) පූජා කළහ. උන්වහන්සේ ද ඔහුට “අනාගතයෙහි බුදු වන්නෙහි ය” යි විවරණ දුන් සේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ නගරය ‘ධඤ්ඤවතී’ නම් විය. ‘සුදේව’ නම් ක්ෂත්‍රිය රජ පියා විය. ‘අනෝමා’ නම් දේවිය මව වූවාය. ‘භද්දසාල’ සහ ‘ජිතමිත්ත’ දෙනම අග්‍ර ශ්‍රාවකයෝ වූහ. ‘වාසෙට්ඨ’ නම් තෙරණුවෝ උපස්ථායක වූහ. ‘උත්තරා’ සහ ‘ඵග්ගුනී’ දෙනම අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. මහා මූණමල් ගස බෝධිය විය. ශරීරය අටඅසූ රියනක් උස් විය. ආයුෂ අවුරුදු අනූ දහසක් විය.

“පදුම බුදුරජුන්ට පසුව, දෙපා ලාභීන්ගෙන් උතුම් වූ, නමින් ‘නාරද’ නම් වූ, අසම වූ, ප්‍රතිපුද්ගලයෙක් නැති සම්බුදුරජාණෝ පහළ වූ සේක.”