විශාඛාවගේ පූර්වාරාම පූජාව

star_outline

තවද අප භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ඉතිරි ජීවිතය පසු කළ පරිදි පූජාවලිය, ශ්‍රී සද්ධර්මාවාද සංග්‍රහය ආදී ධර්ම ප්‍රකරණයන්හි විස්තරව ආයේ වී නමුදු, ඒ සියල්ල මෙයට අන්තර්ගත කිරීමෙන් ග්‍රන්ථ බාහුල්‍ය වන බැවින් මෙතැන් සිට ඉතා සංක්ෂේපයෙන් දක්වනු ලැබේ.

මේ කපට ලක්ෂයක් වන කපින් මත්තෙහි ලොව පහළ වූ පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි එක් උපාසිකාවක් ඒ බුදුන් ප්‍රමුඛ මහ සඟනට මහ දන් පවත්වා, ඒ බුදුන් පාමුලෙහි වැඳ වැටී, “මතු නුඹ වහන්සේ වැනි බුදු කෙනෙකු හට අග්‍ර උපස්ථායිකාව වෙම්වා” යි ප්‍රාර්ථනා කොට, එතැන් පටන් කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දෙව් මිනිස් සැප අනුභව කොට අවුත්, අප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි භද්දිය නුවර මෙන්ඩක මහා සිටුතුමාගේ පුත් ධනඤ්ජය සිටුතුමා නිසා සුමනා දේවීන් කුස පිළිසිඳ දස එකඩ මස් ඇවෑමෙන් මව් කුසින් බිහි වූ කල “විශාඛාවෝ ය” යි නම් තැබූහ.

ඒ සිටු කුමාරිකාව සත් හැවිරිදි කල එම නුවරට බුදුන් වැඩි පුවත අසා, බුදුන් දකිනු පිණිස පන්සියයක් කුමාරිකාවන් හා පෙර මගට ගොස් බුදුන් දැක වැඳ බණ අසා සහපිරිවරින් සෝවාන් ඵලයෙහි පිහිටා, එයින් මෑත භාගයෙහි සැවැත් නුවර මිගාර සිටුතුමාගේ පුත් පූර්ණ වර්ධන කුමාරයන් හා විවාහ මඟුල් බන්ධනයෙන් බැඳී, තමන් සතු මේඝලතා පලඳනාව විකුණා මුදල් කොට, එයින් කෝටි විසි හතක් ධන සම්පත් වියදම් කොට සැවැත් නුවරට නැගෙනහිර දික් භාගයෙහි දහසක් ගබඩාවලින් යුක්තව රන් තොරන් පලඳවා කරවන ලද ‘පූර්වාරාම’ නම් වූ මහා විහාරය, අසූ මහා ශ්‍රාවකයන් ඇතුළු වූ සතළිස් දහස් පන්සිය අසූ එක් නමක් පමණ බුදු පාමොක් මහ සඟනට, බුදුන් අත පැන් වත්කොට පූජා කළාහුය.

Story Illustration විශාඛා මහා උපාසිකාව විසින් පූර්වාරාම විහාරය පූජා කිරීම