කොණ්ඩඤ්ඤ බුදුරජුන්

star_outline

භාග්‍යවත් දීපංකර බුදුරජුන්ගෙන් පසු කාලයෙහි එක් අසංඛ්‍යයක් ඉක්මවා ‘කොණ්ඩඤ්ඤ’ නම් බුදුරජාණෝ ලොව පහළ වූහ. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත (රැස්වීම්) තුනක් විය. පළමු සන්නිපාතයෙහි කෝටි ලක්‍ෂයක් ද, දෙවැන්නෙහි කෝටි දහසක් ද, තෙවැන්නෙහි අනූ කෝටියක් ද වූහ. එකල බෝසතාණෝ ‘විජිතාවී’ නම් සක්විති රජ වී, බුදුරජුන් ප්‍රමුඛ කොට කෙළ ලක්‍ෂයක් මහා සංඝයාට මහදන් පැවැත්වූහ. ශාස්තෘන් වහන්සේ බෝසතුන්ට “අනාගතයේ බුදු වන්නේය” යි විවරණ දී දම් දෙසු සේක. හෙතෙම ශාස්තෘන් වහන්සේගේ ධර්ම කථාව අසා රාජ්‍යය පවරා දී පැවිදි විය. ඔහු ත්‍රිපිටකය උගෙන, අෂ්ට සමාපත්ති හා පඤ්ච අභිඥා උපදවා (ධ්‍යානයෙන්) නොපිරිහී බඹලොව උපන්නේ ය. කොණ්ඩඤ්ඤ බුදුරජුන්ගේ නගරය ‘රම්මවතී’ නම් විය. පියා ‘සුනන්ද’ නම් ක්ෂත්‍රිය රජ විය. මව ‘සුජාතා’ නම් දේවිය වූවාය. ‘භද්ද’ හා ‘සුභද්ද’ දෙනම අග්‍ර ශ්‍රාවකයෝ වූහ. උපස්ථායක තෙම ‘අනුරුද්ධ’ නම් විය. ‘තිස්සා’ සහ ‘උපතිස්සා’ දෙනම අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. බෝධිය සල් ගස යි. ශරීරය අටඅසූ රියනක් උස් විය. ආයු ප්‍රමාණය අවුරුදු ලක්‍ෂයක් විය. එහෙයින් කියන ලදී:

“දීපංකර බුදුරජුන්ට පසුව, අනන්ත තෙද ඇති, අප්‍රමාණ කීර්ති ඇති, මැනිය නොහැකි ගුණ ඇති, ළං විය නොහැකි තරම් තෙද ඇති, ‘කොණ්ඩඤ්ඤ’ නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.”