තිස්ස බුදුරජුන්

star_outline

සිද්ධාර්ථ බුදුන් වහන්සේට මෑත භාගයෙහි මෙයින් අනූ දෙකපකට මත්තෙන් වූ එක් කපක තිස්ස හා ඵුස්ස නමින් බුදුවරු දෙනමක් පහළ වූහ. තිස්ස බුදුරජුන්ගේ ශ්‍රාවක සමාගම් තුනකි. පිළිවෙලින් භික්ෂූන් කෝටි සියයක් ද, කෝටි අනූවක් ද, කෝටි අසූවක් ද රැස්වූහ. එදවස බෝසතාණෝ මහත් භෝග ඇති, මහත් කීර්ති ඇති සුජාත නම් ක්‍ෂත්‍රියෙක් ව ඉපිද, (පසුව) තාපස පැවිද්දෙන් පැවිදි ව මහත් සෘද්ධි ආනුභාව ඇත්තෙක් බවට පත් වූහ. “බුදුරජාණන් වහන්සේ නමක් උපන්හ” යි අසා දිව්‍යමය මදාරා, පියුම් සහ පරසතු මල් ගෙන, සිව් පිරිස් මැද වඩින තථාගතයන් වහන්සේට පූජා කළහ. (එම මල්) අහසෙහි මල් වියනක් මෙන් පිහිටියේය. ඒ බුදුන් වහන්සේ ද “මෙයින් කල්ප අනූ දෙකකට පසු නුඹ බුදු වන්නෙහිය” යි විවරණ දුන්හ. ඒ බුදුන් වහන්සේගේ විස්තර මෙසේය:

  1. නගරය: ඛේම
  2. පියා: ජනසන්ධ රජ (ක්‍ෂත්‍රිය)
  3. මව: පදුමා දේවිය
  4. අගසව්වෝ: බ්‍රහ්මදේව සහ උදය මහරහතන් වහන්සේලා
  5. උපස්ථායක: සමංග (සම්භව) තෙරණුවෝ
  6. අග්‍ර ශ්‍රාවිකාවෝ: ඵුස්සා සහ සුදත්තා තෙරණියෝ
  7. බෝධිය: පියා ගස (අසන)
  8. ශරීර උස: හැට රියනකි
  9. ආයු කාලය: වසර ලක්‍ෂයකි.

සිද්ධාර්ථ බුදුන් වහන්සේට පසුව, අසම වූ, ප්‍රතිපුද්ගලයෙකු (සමාන කළ හැකි අයෙකු) නොමැති, අනන්ත සීල ඇති, අසීමිත කීර්ති ඇති තිස්ස නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.