පදුමුත්තර බුදුරජුන්

star_outline

නාරද බුදුරජුන්ගෙන් පසු කාලයෙහි එක් අසංඛ්‍යයක් ඉක්මවා මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි වූ එක් කල්පයක ‘පදුමුත්තර’ නම් එක් බුදුරජ කෙනෙක් ම පහළ වූ සේක. උන්වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමු වැන්නෙහි කෝටි ලක්‍ෂයක් භික්‍ෂූහු වූහ. දෙවැන්න වේභාර පර්වතයෙහි විය; එහි අනූ දහසක් කෝටියකි. තෙවැන්නෙහි අසූ දහසක් කෝටියකි. එකල බෝසතාණෝ ‘ජටිල’ නම් මහා ප්‍රදේශාධිපතියෙක් වී බුදුරජුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට සිවුරු සහිත දානය දුන්නේය. උන්වහන්සේ ද ඔහුට “අනාගතයෙහි බුදු වන්නෙහි ය” යි විවරණ දුන් සේක. පදුමුත්තර බුදුරජුන්ගේ කාලයෙහි තීර්ථකයෝ (මිසදිටුවන්) නො වූහ. සියලු දෙවි මිනිස්සු බුදුන් ම සරණ ගියහ. උන්වහන්සේගේ නගරය ‘හංසවතී’ නම් විය. ‘ආනන්ද’ නම් ක්ෂත්‍රිය රජ පියා විය. ‘සුජාතා’ නම් දේවිය මව වූවාය. ‘දේවල’ සහ ‘සුජාත’ දෙනම අග්‍ර ශ්‍රාවකයෝ වූහ. ‘සුමන’ නම් තෙරණුවෝ උපස්ථායක වූහ. ‘අමිතා’ සහ ‘අසමා’ දෙනම අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. සලල (Salala) වෘක්‍ෂය බෝධිය විය. ශරීරය අටපනස් රියනක් උස් විය. ශරීරාලෝකය හාත්පස දොළොස් යොදුනක් පැතිර ගත්තේය. ආයුෂ අවුරුදු ලක්‍ෂයක් විය.

නාරද බුදුන් වහන්සේට පසුව, දෙපා ඇත්තන් අතර උතුම් වූ, මැඩිය නොහැකි සාගරයක් වන් ගුණ ඇති පදුමුත්තර නම් ජිනේන්ද්‍රයන් වහන්සේ ලොව පහළ වූ සේක.