අවිදූර නිදාන කථාව

star_outline

බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව වසන කල්හි ‘බුද්ධ කෝලාහලය’ නම් වූ ආන්දෝලනයක් ඇති විය. ලෝකයෙහි ආන්දෝලන තුනක් ඇති වේ:

  1. කල්ප කෝලාහලය (කල්පය විනාශ වීම පිළිබඳ ඝෝෂාව)
  2. බුද්ධ කෝලාහලය (බුදු කෙනෙකු පහළ වීම පිළිබඳ ඝෝෂාව)
  3. චක්කවත්ති කෝලාහලය (සක්විති රජ කෙනෙකු පහළ වීම පිළිබඳ ඝෝෂාව)

එහි දී, වසර ලක්‍ෂයක් ඇවෑමෙන් කල්ප විනාශය වන්නේ යැයි දැනගත් විට ‘ලෝකබ්‍යුහ’ නම් කාමාවචර දෙවිවරු හිසකෙස් විසුරුවාගෙන, හඬන මුහුණින් යුතුව, දෑතින් කඳුළු පිස දමමින්, රතු වස්ත්‍ර හැඳ, ඉතා විරූපී වෙස් ගෙන මිනිසුන් ගැවසෙන තැන්වල ඇවිදිමින් මෙසේ පවසති:
“නිදුකාණෙනි, මෙයින් වසර ලක්‍ෂයක් ගිය තැන කල්ප විනාශය වන්නේය. මේ ලෝකය විනාශ වන්නේය. මහා සාගරය ද වියළී යන්නේය. මේ මහා පොළොව ද මහමෙර පර්වත රාජයා ද දැවී විනාශ වන්නේය. බ්‍රහ්ම ලෝකය දක්වාම ලෝක විනාශය සිදුවන්නේය. එබැවින් නිදුකාණෙනි;

  1. මෛත්‍රිය වඩන්න.
  2. කරුණාව වඩන්න.
  3. මුදිතාව වඩන්න.
  4. උපේක්ෂාව වඩන්න.
  5. මව්පියන්ට උපස්ථාන කරන්න.
  6. කුල දෙටුවන් පුදන්න.”

මෙය ‘කල්ප කෝලාහලය’ නම් වේ.
වසර දහසක් ඇවෑමෙන් සර්වඥතා ඥානය ඇති බුදු කෙනෙක් ලොව පහළ වන්නේ යැයි දැනගත් ලෝක පාලක දෙවිවරු, “නිදුකාණෙනි, මෙයින් වසර දහසක් ඇවෑමෙන් බුදු කෙනෙක් ලොව පහළ වන්නේය” යි ඝෝෂා කරමින් ඇවිදිති. මෙය ‘බුද්ධ කෝලාහලය’ නම් වේ.
වසර සියයක් ඇවෑමෙන් සක්විති රජ කෙනෙක් පහළ වන්නේ යැයි දැනගත් දෙවිවරු “නිදුකාණෙනි, මෙයින් වසර සියයක් ඇවෑමෙන් සක්විති රජෙක් ලොව පහළ වන්නේය” යි ඝෝෂා කරමින් ඇවිදිති. මෙය ‘චක්කවත්ති කෝලාහලය’ නම් වේ. මේ ත්‍රිවිධ කෝලාහලයෝ ඉතා මහත් වන්නාහ.

ඒ ආන්දෝලන අතරින් බුද්ධ කෝලාහල ශබ්දය අසා දස දහසක් සක්වල දෙවිවරු එකට රැස්ව, “අසවල් සත්ත්වයා බුදු වන්නේය” යි නිශ්චිතව දැනගෙන ඔහු වෙත එළඹ ආරාධනා කරති. එසේ ආරාධනා කරන්නේ ද පෙර නිමිති පහළ වූ පසුව ය. එකල්හි සියලු දෙවිවරු එක එක සක්වලට අයත් චාතුම්මහාරාජික, ශක්‍ර, සුයාම, සන්තුසිත, සුනිම්මිත, වසවර්ති යන දෙවිවරුන් හා මහා බ්‍රහ්මයන් සමඟ එකම සක්වලකට රැස්ව, තුසිත භවනයෙහි වෙසෙන බෝසතුන් වෙත ගොස් මෙසේ අයැද සිටියහ:
“නිදුකාණෙනි, ඔබ වහන්සේ විසින් දස පාරමිතාවන් පුරන ලද්දේ;

  1. ශක්‍ර සම්පත්තිය පතා නොවේ.
  2. මාර සම්පත්තිය පතා නොවේ.
  3. බ්‍රහ්ම සම්පත්තිය පතා නොවේ.
  4. සක්විති රජ සැප පතා නොවේ.

ලෝකයා සසරින් එතෙර කරවීම පිණිස සර්වඥතා ඥානය පතාගෙනම පාරමී දම් පුරන ලදී. නිදුකාණෙනි, බුදු වීමට මේ සුදුසු කාලයයි! නිදුකාණෙනි, බුදු වීමට මේ සුදුසු කාලයයි!”

Story Illustration තුසිත දෙව්ලොවදී දෙවියන් විසින් බුදු වීමට ආරාධනා කිරීම