එයින් මෑත භාගයෙන් කල්ප එක්දහස් අටසියයක් මතුයෙහි (ගෙවුණු තැන) එකම කපක පියදස්සී, අත්ථදස්සී, ධම්මදස්සී නමින් බුදුන් වහන්සේලා තෙනමක් පහළ වූහ. පියදස්සී බුදුන් වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනක් විය. ප්‍රථමයෙහි භික්ෂූන් කෙළ ලක්‍ෂයකි (කෝටි ලක්‍ෂයකි). දෙවැනි සමාගමෙහි අනූ කෝටියකි. තෙවැන්නෙහි අසූ කෝටියකි. එදවස බෝසතාණෝ කස්සප නමින් (බමුණු මානවකයෙක් ව) ඉපිද ත්‍රිවේදයේ පරතෙරට ගියෝ, බුදුන් වහන්සේගෙන් දහම් අසා කෝටි ලක්‍ෂයක් ධන පරිත්‍යාගයෙන් සංඝාරාමයක් කරවා සරණ හා සිල්හි පිහිටියෝය. ඉක්බිති බුදුන් වහන්සේ, “කල්ප එක්දහස් අටසියයක් ඇවෑමෙන් නුඹ බුදු වන්නෙහිය” යි විවරණ දුන්හ. ඒ බුදුන් වහන්සේගේ විස්තර මෙසේය:
- නගරය: අනෝම
- පියා: සුදින්න රජ
- මව: චන්ද්‍රා දේවිය
- අගසව්වෝ: පාලිත සහ සබ්බදස්සී මහරහතන් වහන්සේලා
- උපස්ථායක: ශෝභිත තෙරණුවෝ
- අග්‍ර ශ්‍රාවිකාවෝ: සුජාතා සහ ධම්මදින්නා තෙරණියෝ
- බෝධිය: කුඹුක් ගස (කකුධ)
- ශරීර උස: අසූ රියනකි
- ආයු කාලය: වසර අනූ දහසකි.
සුජාත බුදුන් වහන්සේට පසුව, තමන් විසින්ම ධර්මය අවබෝධ කරගත් (ස්වයම්භූ), ළං විය නොහැකි තෙද ඇති, අසම වූ බුදුවරුන්ට පමණක් සම වූ, මහත් කීර්ති ඇති පියදස්සී නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.