අනෝමදස්සී බුදුරජුන්

star_outline

උන්වහන්සේට පසු කාලයෙහි එක් අසංඛ්‍යයක් ඉක්මවා එක ම කල්පයක බුදුවරු තෙදෙනෙක් පහළ වූහ. එනම්: අනෝමදස්සී, පදුම, නාරද යන බුදුවරු ය. ‘අනෝමදස්සී’ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් විය. පළමු සන්නිපාතයෙහි භික්‍ෂූහු අට ලක්‍ෂයක් වූහ. දෙවැන්නෙහි සත් ලක්‍ෂයකි. තෙවැන්නෙහි සය ලක්‍ෂයකි. එකල බෝසතාණෝ මහත් ඍද්ධි හා මහානුභාව ඇති, අනේක කෝටි ලක්‍ෂයක් යක්‍ෂයින්ට අධිපති වූ එක්තරා යක්‍ෂ සේනාධිපතියකු ව සිටියහ. ඔහු “බුදුරජෙක් උපන්නේය” යි අසා පැමිණ බුදුරජුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට මහදන් දුන්නේය. ශාස්තෘන් වහන්සේ ද ඔහුට “අනාගතයෙහි බුදු වන්නෙහි ය” යි විවරණ දුන් සේක. අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේගේ නගරය ‘චන්දවතී’ නම් විය. ‘යසවා’ නම් රජ පියා විය. ‘යසෝධරා’ නම් දේවිය මව වූවාය. ‘නිසභ’ සහ ‘අනෝම’ දෙනම අග්‍ර ශ්‍රාවකයෝ වූහ. ‘වරුණ’ නම් තෙරණුවෝ උපස්ථායක වූහ. ‘සුන්දරී’ සහ ‘සුමනා’ දෙනම අග්‍ර ශ්‍රාවිකාවෝ වූහ. කුඹුක් ගස බෝධිය විය. ශරීරය අටපනස් රියනක් උස් විය. ආයුෂ අවුරුදු ලක්‍ෂයක් විය.

“ශෝභිත බුදුරජුන්ට පසුව, දෙපා ලාභීන්ගෙන් උතුම් වූ, අසීමිත කීර්ති ඇති, තේජස් ඇති, මැඩිය නොහැකි වූ, ‘අනෝමදස්සී’ නම් සම්බුදුරජාණෝ පහළ වූ සේක.”