ඉක්බිත්තෙන් සර්ව ලෝක පූජ්‍ය පූජනීය වූ මාගේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අඬගා වදාරා, “හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වෝ වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” යනු බුදුව වැඩ සිටි පන්සාළිස් අවුරුද්ද මුළුල්ලෙහි වදාළ සියලු බුද්ධාවවාදයන් මේ එකම අප්‍රමාද පදයෙහි ඇතුළත් කොට, මේ අන්තිම බුද්ධ වචනයෙන් මුළු ලෝ වැසියන්ට අවවාද කොට, නිහඬ වීමෙන් ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය යන රූප ධ්‍යාන සමාපත්ති සතරට පිළිවෙළින් සමවැදී, එයින් නැගිට ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන අරූප ධ්‍යාන සමාපත්ති සතරට සමවැදුණු සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාස දෙක සංහිඳුනු බව දුටු ආනන්ද ස්ථවිරයන් වහන්සේ ශෛක්ෂ (රහත් නොවූ) හෙයින් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගෙන්, “බුදුන් පිරිනිවී සේක් දැ?” යි ඇසූ සේක. එකල අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ, “ඇවැත් වූ ආනන්ද ස්ථවිරය, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ සේක් නොවෙයි. සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියට සම වන් සේකැ” යි දැන්වූ සේක. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ බුදුන් සේම ප්‍රථම ධ්‍යාන සමාපත්තියෙහි පටන් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය දක්වා සමවැද ගිය හෙයින්, දැන් නිරෝධ සමාපත්තිය තුළ චිත්තය පවතිමින් සිටි කල්හි කාල ක්‍රියා කිරීමක් නැතැයි දැනගත් හෙයින් ද මෙසේ වදාළ සේක.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිලෝම වශයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි පටන් ප්‍රථම ධ්‍යානය දක්වා සමවැද, නැවත අනුලෝම වශයෙන් ප්‍රථම ධ්‍යානයෙහි පටන් චතුර්ථ ධ්‍යානය දක්වා සමවැද, නිවන්පුර වඩනා වූ සද්ධර්ම චක්‍රවර්තී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සූවිසි කෙළ ලක්ෂයක් පමණ සමවත් වැදීමෙන් සියලු සමාපත්ති සැප අනුභව කොට පැමිණ, චතුර්ථ ධ්‍යානයෙන් නැගී ධ්‍යාන සමනන්තරව ධ්‍යානාංගයන් ප්‍රත්‍යක්ෂ කොට, ඊට අනතුරුව භවාංගයට පැමිණ දුක්ඛ සත්‍ය ගත අව්‍යාකෘත චිත්තයෙන් එදින අරුණට පළමුව බලවත් පච්චූස (අලුයම්) කාලයෙහි පිරිනිවන් පා වදාළ සේක.
බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවූ මොහොත
මෙතෙකින් මේ බුද්ධ වංශයෙහි හෙවත් බුදුන්ගේ ජීවිත කථාවෙහි පූර්වාරාම පූජා කථාවෙහි පටන් පිරිනිවන් පෑම දක්වා සඳහන් වූ සන්තිකේ නිදානයෙහි දෙවෙනි භාගය නිමි.