සුජාත බුදුරජුන්

star_outline

සුමේධ බුදුන් වහන්සේට පසු කාලයේ සුජාත නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේට ද ශ්‍රාවක සමාගම් තුනකි. ප්‍රථම සමාගමෙහි භික්‍ෂූන් සැට දහසකි. දෙවැන්නෙහි පනස් දහසකි. තුන්වැන්නෙහි සතළිස් දහසකි. එදවස බෝසතාණෝ සක්විති රජව ඉපිද, “බුදුන් වහන්සේ නමක් උපන්හ” යි අසා එළැඹ, දහම් අසා, සත් රුවන් සමග සතර මහා දීපයටම අධිපති රාජ්‍යය ද බුදුපාමොක් මහා සඟනට පූජා කොට බුදුරජුන් සමීපයෙහි පැවිදි වූහ. සියලු රටවැසියෝ ද රටේ උපදින ආදායම ගෙන ආරාමික වතාවත් සිදු කරමින් බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට නිතිපතා මහ දන් දුන්හ. ඒ සුජාත බුදුන් වහන්සේ ද “අනාගතයෙහි නුඹ බුදු වන්නේය” යි ප්‍රකාශ කළහ. ඒ බුදුරජුන්ගේ විස්තර මෙසේය:

  1. නගරය: සුමංගල
  2. පියා: උග්ග රජ
  3. මව: පභාවතී දේවිය
  4. අගසව්වෝ: සුදස්සන සහ සුදේව මහරහතන් වහන්සේලා
  5. උපස්ථායක: නාරද තෙරණුවෝ
  6. අග්‍ර ශ්‍රාවිකාවෝ: නාගා සහ නාගසමාලා තෙරණියෝ
  7. බෝධිය: මහා උණ ගස (මහාවේළු). කුඩා සිදුරකින් යුත්, මහත් කඳක් ඇති මෙම වෘක්‍ෂය ඉහළට පැන නැගුණු මහා අතු වලින් මොනර පිල් කලඹක් මෙන් බැබළුණේය.
  8. ශරීර උස: පනස් රියනකි
  9. ආයු කාලය: වසර අනූ දහසකි.

බුදුවරුන් දෙදෙනකු උපදිනා එම මණ්ඩ කල්පයෙහිම, සිංහයෙකු වැනි හනු (හකු) ඇති, වෘෂභයෙකු වැනි (ශක්තිමත්) කඳක් ඇති, ප්‍රමාණ කළ නොහැකි ගුණ ඇති, ළං විය නොහැකි තෙද ඇති සුජාත නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූ සේක.