බෝධි පූජාව

බෝධි පූජාව

රේරුකානේ චන්දවිමල හිමි

පොත ගැන

බෝධි පූජාව

(එකොළොස් වන මුද්‍ර‍ණය)

මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.

2549/2006

ලේකම්ගේ සටහන්....

ලෝකයේ විශේෂ සිදුවීම් මෙන්ම, විශේෂ පුද්ගලයන් බිහිවීම ද ඉතිහාසය පදනම් කරගත් ඉතිහාසයේ ම අවශ්‍යතා සම්පූර්ණ කිරීම් වශයෙන් ඉටු විය. නොහොත් ඒ සියල්ල මානව ශිෂ්ඨාචාරයේ විකාශනයන් ය. බුදුන් වහන්සේ ලොව පහළ වීම මෙන් ම බෞද්ධ ඉගැන්වීම් වශයෙන් බිහි වූ දර්ශනය ද ඒ සත්‍යයෙන් බැහැර නොයයි.

භාරතයේ බ්‍රාහ්මණ ක්‍ෂත්‍රිය කුල අතර තිබූ නිබඳ තරගයෙන් ක්ෂත්‍රියයන් ජයගත් අවස්ථාවක් ලෙස නිඝණ්ඪනාථ පුත්‍ර‍යන්ගේ හා බුදුන් වහන්සේගේ පහළ වීම සැළකේ. උන් වහන්සේලා විසින් දේශිත ධර්‍මය ද කලින් වේද ග්‍ර‍න්ථවලින් ප්‍ර‍භවය ලැබ විකාශයට පත්ව ඉන් ඔබ්බට ගිය අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. “ඉදමෙව සච්චං, මොඝමඤ්ඤං” යි තමන්ගේ දර්ශනය පමණක් ඇත්තය යි උපාදාන කරගෙන සිටි ඇදුරන් වෙතින් ඈත්ව පරම සත්‍යය අවබෝධ කරන්නට බුදුන් වහන්සේට හැකි වූයේ අන් ඇදුරන් එතෙක් අවබෝධ කරගත් ධර්‍මය උගෙනීමේ ප්‍ර‍තිඵල වශයෙනි.

“බුද්ධ” සංකල්පය මෙන් ම “බෝධි” සංකල්පය ද බුදුන් වහන්සේට කලින් නිපද වූ අදහස් ය. බුදුන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ඇති බව කියවුණේ වේද සාහිත්‍යයේ ය. අස්වත්‍ථය හෙවත් ඇසතු බෝ රුක සියලු පව් දුරු කරන පූජනීය වස්තුවක් බවට පිළිගෙන තිබුණේ මොහෙන්දජාරෝ - හරප්පා ශිෂ්ඨාචාරයේ පටන්ය. බ්‍රාහ්මණ - උපනිශද් ග්‍ර‍න්‍ථවලින් එහි පූජනීයත්‍වය වඩාත් වර්‍ධනය විය.

සියල්ලන්ගේ සැළකීමට පත් රුක් මුලක හිඳ බුදුවීමෙන් එතෙක් විකාශය වූ බුද්ධ සංකල්පයට හා බෝධි සංකල්පයට නිශ්චිත බෞද්ධ අරුතක් දීමට බුදුන් වහන්සේ සමත් වූහ.

පළමුව තමන් වහන්සේ විසින් ම නේත්‍ර‍ පූජාවෙන් පූජා කිරීමෙන් ද, පසුව තමන් වහන්සේ වෙනුවෙන් පූජා සත්කාර පිළිගැනීමට සුදුසු පූජනීය චෛත්‍යයක් වශයෙන් නම් කිරීමෙන් ද තම අනුගාමිකයන්ගේ බෝධිය පිළිබඳ අදහස වෙනසට පත් කිරීමට බුදුන් වහන්සේට හැකි විය. සාංචි ස්ථූපයේ කැටයම් අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුරුව සංකේතවත් කිරීම සඳහා බෝරුව යොදා ගත් සැටි ද පෙනේ.

එම ඇසතු බෝධීන් වහන්සේ ලක්දිව පිහිටියේ නව සිංහල බෞද්ධ සංස්කෘතියක් ද පිහිටුවා ව්‍යාප්ත කරමිනි. ඒ වන විට තිබූ විවිධ ඇදහිලි යටපත් කිරීමට තරම් බෝධි සංස්කෘතිය බලවත් විය. ධර්‍මාශෝක අධිරාජයන්ගේ ධර්‍ම විජය පිළිවෙත අනුව දේවානම්පියතිස්ස රජු රාජ්‍යත්‍වයේ පිහිටුවා ගෙන මුළු පාලන තන්ත්‍ර‍ය ම වෙනසට පත් කිරීමට සමත් කාර්‍ය්‍ය මණ්ඩලයක් ලක්දිව තහවුරු වූයේ බෝධි ආරක්‍ෂක නිලධාරීන් වශයෙනි. ලක්දිව පරිසරය අධ්‍යයනය කිරීමෙන් පසු සැලසුම් සහගතව චින්තන විප්ලවයකට මග පෑදූ මහින්‍දාගමනය, දුමින්දාගමනයෙන් එහි ඵල නෙලා ගත්තේ ය. ලක්දිව ආර්ථික සංවර්‍ධනය සඳහා අවශ්‍ය කර්‍මාන්ත ව්‍යාප්ත කිරීමට සමත් කුල ශ්‍රේණි රාශියක් ද බෝධියේ පරිවාර වශයෙන් ලක්දිවට ලැබිණ. ඒ අයුරින් පාලන තන්ත්‍ර‍යත්, ආර්ථික වර්‍ධනයත් එක විට ලබා දුන් බෝධි සංස්කෘතිය ලංකා සංස්කෘතිය කෙරේ පෑවේ අනුල්ලංගනීය බලයකි. අෂ්ඨ ඵල රුහ බෝධි හා දෙතිස් ඵල රුහ බෝධි එදා ලක්දිව දියුණුව පැවති සෑම ප්‍රාදේශීය පාලන ඒකකයන්හි ව්‍යාප්ත වී මේ බලය තහවුරු කළේ ය.

බුද්ධ පූජාව සඳහා අනුමත චෛත්‍යය තුන් කොටසකි. බෝධිය එහි පාරිභෝගික චෛත්‍යයයි. බෝධියට කරන පූජාව හුදෙක් බෝධි පූජාවක් නොව බුද්ධ පූජාවකි. කුශලාකුශල විභාගයේදී චේතනාව වැදගත් තැනක් ගනී. බුදුගුණ පිළිබඳ සිත මෙහෙයා කරන බෝධිපූජාව බුද්ධ පූජා චේතනාමය උසස් ත්‍රිහේතුක කුශලයෙකි. බෝධි පූජාව සාම්ප්‍ර‍දායික වෘක්ෂ වන්‍දනාවෙන් වෙන් වූයේ ද එහි ඇති බුද්ධ පූජාව නිසා ය.

එහෙත් පසු කාලයේ ඇති වූ බෝධිපූජා විකාශය බුද්ධ පූජා චේතනාවෙන් බැහැර වූ ලෞකික සැප පතා කරන ශාන්ති කර්‍ම ස්වරූපයක් ගැනීමත්, බෝසෙහි කිරි, එහි පත්‍ර‍වල ස්වරූපය ආදී උද්භිද විද්‍යාත්මක ලක්‍ෂණ සූර්‍ය්‍ය රශ්මිය හා ප්‍ර‍තික්‍රියා කර ඇසුරු කරන්නන්ට බලපාන අන්‍දම ආදි බාහිර දේ විශ්ලේෂණය කිරීමත් නිසා එහි ආගමික අරුත හීන වී ‍ගොස් ඇති බව පෙනේ. අන්‍යාගමිකයන් පවා බෝධිපූජාව ශාන්ති කර්‍මයක් වශයෙන් සලකා ඊට නැඹුරු වී ඇත්තේ එහි මූලි අරුත වෙනස් වීමෙනි.

අද චෛත්‍යයට, විහාරයට නොගොස් බෝධිපූජාවට පමණක් සම්බන්ධ වන බෞද්ධයන් බොහෝ වන බව සවසක පන්සලට යන විට පෙනේ. ග්‍ර‍හ අපල සඳහා බෝධි පූජා නියම කිරීමත්, යුද්ධය - විදේශාගමනය ආදි හේතු නිසා ඇති වන සංකාව දුරු කර ගෙන සෙත් පැතීමත් වැනි කරුණු ද, පානදුරේ අරියධම්ම හිමියන්ගෙන් පසු ව්‍යාප්තව ගිය බෝධිපූජා වැඩ සටහන් ද නියම මගින් ඈත් වන්නට හේතු වූ කරුණු බව පෙනේ.

බෞද්ධයන්ගේ මේ බෝධි පූජා ක්‍ර‍මයට නැඹුරු වීම තුළ විහාරස්ථානවල ද නව බෝධි පූජා - බුද්ධ පූජා පිළිවෙතක් ව්‍යාප්ත වනු දක්නා ලැබේ. අටවිසි බෝධිය හා අටවිසි බුදුවරුන් සංකේතවත් නො කළ හොත් අද පන්සලකට අඩුවක් බව සිතන තරමට ගිහිපැවිදි දෙපිරිස ම සකස් වී සිටිති. විවිධ කාලවල විවිධ බුදුවරුන් විසින් දේශිත එකම සත්‍ය දර්ශනයෙන් ඈත් ව එම දේශකයන්ගේ රූ සටහන් හා භාවිත භාණ්ඩ ඇති කෞතුකාගාරයනට වැඳීමට පමණක් ආගම සීමා කිරීම සුදුසු ද?

මේ අනුව ක්‍රි.පූ. 6 වන සියවසේදී බුදුන් වහන්සේ හඳුන්වා දුන් බෞද්ධ බෝධි පූජාව වෙනුවට බ්‍රාහ්මණ - උපනිශද් ග්‍ර‍න්ථයන්හි වර්ණිත අස්වත්‍ථ පූජා ශාන්ති කර්‍මයන් නැවත ක්‍රියාත්මක වන බව තේරුම් ගැනීම අපහසු නොවේ.

කුමක් වුව ද සාම්ප්‍ර‍දායික ලක්‍ෂණයන් නැවත වෙනස් කිරීම පහසු නොවේ. ඒ නිසා බෝධි පූජාවේ මේ ශාන්ති කර්‍ම ලක්‍ෂණ දුටු රේරුකානේ මහ නාහිමියෝ යටත් පිරිසෙයින් ඒ ස්වරූපයෙන්වත් මේ පූජාව ඤාණ සම්ප්‍ර‍යුක්තව කිරීමට උපදෙස් දීම සඳහා මේ “බෝධි පූජාව” ලියූහ. “මේ පොත ලියා ඇත්තේ මෙකල බෝධි පූජා කරන්නවුන්ගේ අදහස් අනුව ඔවුනට සුදුසු පරිද්දෙනි” යි උන් වහන්සේ පවසන්නේ ඒ නිසා ය.

බුද්ධාගම ඇසුරෙන් මිථ්‍යාව පැතිරීම අපරාධයකි. බුද්ධාම තම අනුගාමිකයන් යොමු කරන්නේ විදර්ශනා ඤාණයටය. බුද්ධ දේශනාවේ එන පිරිත් සූත්‍ර‍ එහි ගුණ වැඩීමට අප යොමු කළත් ඒවා ආවැඩීමට යොදා ගැනීම බහුල වී ඇත. එවැනි මෙහෙයක් ලබාගත හැකි චිත්ත ශක්තිය වර්‍ධනය කළ හැක්කේ එහි යථා ස්වරූපය තේරුම් ගෙන කටයුතු කිරීමෙනි. ඒවා නිරුත්සාහයෙන් එන ආනිශංසයන්ය.

1.බෝධි පූජාව ශාන්ති කර්‍මයක ස්වරූපයට පත්වීම ගැනත්, පිරිත් නූල් - පිරිත් පැන් ගැන අද තිබෙන අදහස් මිථ්‍යාවෙන් නිදහස් කිරීම කෙරෙහිත් අපේ සංඝරත්නයේ අවධානය යොමු විය යුතු ය.

මේ සටහන ලිවීමේ අදහස වූයේ ශාසන ඉතිහාසය ගැන නොදැනීම බුද්ධාම පවතින ස්වරූපයට බලපාන බව බෞද්ධයන්ට අවබෝධ කිරීම සඳහා ය. රේරුකානේ නාහිමියන්ගේ පොත් වලින් ධර්‍මය හරිහැටි තේරුම් ගත හැක්කේ, ඉන් ඵල ලැබිය හැක්කේ හරි දැක්මක් තිබුණොත් පමණ ය.

බෝධි පූජාව දශවන මුද්‍ර‍ණය සඳහා වියදම් දැරීමෙන් ස්වීඩනයේ මාධ්‍යවේදී ශ්‍රීමතී විජේකෝන්, ජයරත්න බණ්ඩා විජේකෝන් යුවල මේ පොත් නැවත නැවත මුද්‍ර‍ණය කරවීමේ පදනම ශක්තිමත් කරයි. ඒ උතුම් මිනිස් ගුණය මේ පොත නැවත මුද්‍ර‍ණය කිරීමේදී සටහන් කළ යුතුමය. මෙවර මුද්‍ර‍ණයේදී දායක වූ සැදැහැවතුන්ගේ නොමසුරු ඉදිරිපත්වීම තවදුරටත් මේ සද්කාර්‍ය්‍යය පවත්වන්නට අප දිරිමත් කරයි.

මේ සටහන ලිවීමේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ 1992 “දහම් අමා” සඟරාවේ පළවූ මහාචාර්‍ය්‍ය මැන්දිස් රෝහණදීරයන්ගේ “මහින්දාගමනය පිටුපස සැඟවුණු තොරතුරු” ලිපිය ද, පූජ්‍ය වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමියන්ගේ “ශ්‍රී මහා බෝධීන් වහන්සේ එහි ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය” (1994 බුද්ධ ශාසන අමාත්‍යාංශ ප්‍ර‍කාශනය) හා පූජ්‍ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ “ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය” (1994 මුද්‍ර‍ණය) යන ග්‍ර‍න්‍ථයන් ද උපකාරී විය. මෙවැනි සටහනක් ලිවීමට මා පෙළඹ වූ සිකුරු ප්‍ර‍කාශක අභාවප්‍රාප්ත කේ.ටී.ඒ. ජයවර්ධන මහතා කෘතවේදීව සිහිපත් කරමි. ඔහු පුත් ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්‍ර‍මුඛ කාර්‍ය්‍ය මණ්ඩලය මේ මුද්‍ර‍ණය මනා නිමාවකින් එලිදැක්වීමට උපකාරී වූහ. මෙවර මුද්‍ර‍ණයේදී සංශෝධිත පරිඝනක මුද්‍ර‍ණ සටහන් සාලිය ජයකොඩි මහතා අතින් නිමවිය. සෝදුපත් සැසඳීමේදී මාලනී ගේ සහාය ලැබිණ. මණ්ඩලයේ සභාපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද සමිඳුන් සමග මේ කාර්‍ය්‍යයේ මා මෙහෙයවන සෙසු සාමාජික භවතුන්ට ද මාගේ කෘතඥතාව පිරිනැමේ.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි

ගරු ලේකම්

ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක

සංරක්ෂණ මණ්ඩලය

2006 මාර්තු මස 06 වන දින,

පොකුණුවිටදී ය.