බෝධි වන්දනා ගාථා

මේ ගාථා පාඩම් කර ගෙන ඒවායේ තේරුම ද සලකා වන්දනා කරන්න. මේ ගාථාවලින් වන්දනා කිරීම රෝග ග්‍ර‍හ අපල හා වෙනත් උවදුරු දුරුවීමට ද දියුණුවට ද යස ඉසුරු ලැබීමට ද යහපති.

1. යස්ස මූලේ මහා සත්තෝ

ජෙත්වා මාරං මහබ්බලං

පත්තෝ සබ්බඤ්ඤුතං සෙට්ඨං

වන්දේ තං බෝධිමුත්තමං

තේරුම :-

යම් බෝධි මූලයකදී මහා බෝධිසත්වයන් වහන්සේ මහත් බල ඇති මාරයා පරදවා සියල්ල දත් බුදුබවට පැමිණි සේක් ද උත්තම වූ ඒ බෝධීන් වහන්සේට වඳිමි.

2. යස්ස මූලේ නිසීදිත්වා

සත්තාහං ලෝකනායකෝ

විමුත්තිසුඛ සංවේදී

වන්දේ තං බෝධිමුත්තමං

තේරුම :-

ලෝකනායක වූ තථාගතයන් වහන්සේ යම් බෝධියක මුල වැඩ සිට සතියක් මුළුල්ලෙහි විමුත්ති සුවය වින්දේ ද ඒ උත්තම බෝධීන් වහන්සේට වඳිමි.

විමුක්ති සුවය යනු කෙලෙසුන් කෙරෙන් මිදීමේ සංසාර දුඃඛයෙන් මිදීමේ සුවය ය. උන්වහන්සේ කෙළ ලක්‍ෂ ගණනක් සමාපත්තීන්ට සමවදිමින් ඒ සුවය වින්ද සේක.

3. යස්ස පූජේසි සම්බුද්ධෝ

සත්තාහං සකලෝචනේ

පූජිතං නරදේවේහි

වන්දේ තං බෝධිමුත්තමං

තේරුම :-

බුදුරජාණන් වහන්සේ සතියක් මුළුල්ලෙහි යම් බෝරුකකට තමන් වහන්සේගේ නේත්‍ර‍යන් පූජා කළ සේක් ද ඒ උත්තම බෝධීන් වහන්සේට වඳිමි.

4. ආයුං ආරෝගතං වණ්ණං

යසං කිත්තිං ධනං බලං

වඩ්ඪෙන්තං පූජයන්තානං

වන්දේ තං බෝධිමුත්තමං.

තේරුම :-

පුදන්නවුන්ට ආයුෂ නිරෝග බව ශරීර වර්ණය යශස කීර්තිය ධනය බලය යන මේවා වර්ධනය කරන්නා වූ උත්තම බෝධීන් වහන්සේට වඳිමි.

5. දුක්ඛං රෝගං භයං වේරං

සෝකං ජානිං උපද්දවං

හරන්තං පූජයන්තානං

වන්දේ තං බෝධිමුත්තමං.

තේරුම :-

පූජා කරන්නන්හට දුකය රෝගය ය බිය ය වෛරය ය ශෝකය ය පිරිහීම ය උපද්‍ර‍වය ය යන මේවා දුරු කරන්නා වූ උත්තම වූ බෝධීන් වහන්සේට වඳිමි.

6. පුඤ්ඤකාමීහි විඤ්ඤූහි

නරදේවේහි සාදරං

වන්දිතං පූජිතං සෙට්ඨං

වන්දේ තං බෝධිපාදපං.

තේරුම :-

පින් කැමති නුවණැති දෙවි මිනිසුන් විසින් වඳින්නා වූ පුදන්නා වූ උත්තම බෝධින් වහන්සේට වඳිමි.

7. සබ්බකාම දදෝ බෝධී

සබ්බදුක්ඛ විනාසකෝ

වන්දතෝ දේතු මේ සන්තිං

බෝධිරාජ නමත්ථු තෙ.

තේරුම :-

සියලු කැමති දෑ දෙන්නා වූ සියලු දුක් නසන්නා වූ බෝධීන් වහන්සේ වඳින්නා වූ මා හට ශාන්තිය ගෙන දේවා! බෝධිරාජයන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවා.!