දේවාරක්‍ෂාව ලැබීමට කළ යුතු කෙටි ශාන්ති කර්මයක්

අනුරාධපුරයේ මහමෙවුනා උයනෙහි වැඩ සිටින දක්‍ෂිණ ශාඛා ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන පූජාවක් ලෙස සලකා කොතැනක හෝ බෝධියක් සමීපයේ මල්, පහන්, සුවඳ, සුවඳ දුම්, කොඩි, පැන් ආදි වස්තූන් පුදා වැඳ ආතුරයා ලවා දෙවියන්ට පින් දෙවා ඔහු බෝධිය සමීපයේ හිඳුවා ගෙන මෙසේ සෙත් කරනු.

ශාන්ති වාක්‍යය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

.

යස්ස මූලේ නිසින්නෝව

සබ්බාරි විජයං අකා

පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා

වන්දේ තං බෝධි පාදපං.

.

සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ

සමදිට්ඨිත දක්ඛිණ සාඛභවං,

සුභමේඝවනම්බර මේඝනිභං

ජය බෝධිමහං පණමාමි වරං.

මේ ශ්‍රී ලංකා ද්වීපයේ අනුරාධපුර නගරයේ මහා මේඝ වනෝද්‍යානයේ වැඩ සිටින දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේට අරක් ගෙන සිටින්නා වූ කළු බණ්ඩාර දේවතාවුන් වහන්සේ අපගේ මේ බෝධි පූජාවේ පින් අනුමෝදන් වෙත්වා; මේ පින් (ගැති වූ) අප විසින් පිරිනමන තුටු පඬුරක් වශයෙන් පිළිගන්නා සේක්වා; තෙදැති බලැති කළු බණ්ඩාර දේවෝත්මයාණෙනි, ඔබ වහන්සේට පින් දෙන්නා වූ ඔබගේ පිහිට බලාපොරොත්තු වන්නා වූ ...... නමැති මේ පින්වතාට පැමිණ ඇත්තා වූ සියලු දුක් කරදර නුඹ වහන්සේගේ තේජානුභාවයෙන් දුරු කර මොහුට ශාන්තිය උදා කරන සේක්වා. මොහුගේ ප්‍රාණය ධනය රැකියාව ආරක්‍ෂා කරන සේක්වා. මොහුගේ වැඩි දියුණුව සලසන සේක්වා. මොහුට පිහිට වන සේක්වා. නුඹ වහන්සේගේ කරුණාව මොහු වෙත යොමු කරන සේක්වා.!

එදා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩම කළ අවස්ථවේ එහි පඤ්ච මහා ශාඛාව්නහි තුබූ බෝ පලවලින් පැන නැංගා වූ බෝධීන් වහන්සේලා වන දඹුලු තොට බෝධීන් වහන්සේ ය, ථූපාරාමයේ බෝධීන් වහන්සේ ය, ප්‍ර‍ථමක චෛත්‍ය ස්ථානයේ බෝධීන් වහන්ස් ය, රුහුණු රට කතරගම බෝධීන් වහන්සේ ය, මල් වැස්සා වෙහෙර වහන්සේ ය, මහා ජල්ලික නම් ගමෙහි බෝධීන් වහන්සේ ය, පොළොන්නරුවේ බෝධීන් වහන්සේ ය, රුහුණු රට මාගම බෝධීන් වහන්සේ ය, මහියංගණයේ බෝධීන් වහන්සේ ය. බදුල්ලේ මුතියංගණයේ බෝධීන් වහන්සේ ය, රුහුණු රට සිතුල්පවුවේ බෝධීන් වහන්සේ ය, වැලිගම් වෙහෙර බෝධීන් වහන්සේ ය, මැද්දේගම බෝධීන් වහන්සේ ය, පුසුල්පිටියේ බෝධීන් වහන්සේ ය, වට්ටාරම බෝධීන් වහන්සේ ය, රැස්වේරුවේ බෝධීන් වහන්සේ ය. ගිරිබා වෙහෙර බෝධීන් වහන්සේ ය, කසාගල බෝධීන් වහන්සේ ය. තිවක්ක බ්‍රාහ්මණගම බෝධීන් වහන්සේ ය, සඳුන්ගිරි බෝධීන් වහන්සේ ය, තන්ත්‍රිමාලයේ බෝධීන් වහන්සේ ය, කොට්ටියාරම බෝධීන් වහන්සේ ය, මාතලේ රුසීගම බෝධීන් වහන්සේ ය, විල්වල බෝධීන් වහන්සේ ය, විල්ගම් වෙහෙර බෝධීන් වහන්සේ ය, බුත්තල හත්පෝරු වෙහෙර බෝධීන් වහන්සේ ය, වනවාස වෙහෙර බෝධීන් වහන්සේ ය, පරගොඩ බෝධීන් වහන්සේ ය, ගණේගම බෝධීන් වහන්සේ ය, මායාරට වතුර බෝධීන් වහන්සේ ය, පැපිලියානේ බෝධීන් වහන්සේ ය, බෙල්ලන්විල බෝධීන් වහන්සේ ය, වඳුරව බෝධීන් වහන්සේ ය, සුළුගල්ල බෝධීන් වහන්සේ ය, කටියාවේ බෝධීන් වහන්සේ ය, යාපහුවේ බෝධීන් වහන්සේ ය. රහත් ගල්වෙහෙර බෝධීන් වහන්සේ ය යන මේ බෝධීන් වහන්සේලාට අරක් ගෙන සිටින්නා වූ සියලු දෙවියෝ මේ බෝධි පූජාවේ පින් අනුමෝදන් වෙත්වා! මේ පින් අප විසින් පිරිනමන තුටු පඬුරක් මෙන් පිළිගනිත්වා! ඔබ වහන්සේලාට පින් දෙන්නා වූ ඔබ වහන්සේලාගේ පිහිට බලාපොරොත්තු වන්නා වූ...... නමැති මේ පින්වතාට පැමිණ ඇත්තා වූ සියලු දුක් කරදර ඔබ වහන්සේලාගේ තේජානුභාවයෙන් දුරු කර ශාන්තිය උදාකරණ සේක්වා! මොහුගේ ප්‍රාණය, ධනය, රැකියාව ආරක්‍ෂා කර දෙන සේක්වා! මොහුගේ වැඩි දියුණුව සලසන සේක්වා! මොහුට පිහිට වන සේක්වා! නුඹ වහන්සේලාගේ කරුණාව මොහු වෙත යොමු කරන සේක්වා!

මේ ශ්‍රී ලංකාද්වීපයේ සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීමට වරම් ලබාගෙන සිටින්නා වූ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයන් වහන්සේ ද කතරගම් පුරයට අධිපති ස්කන්ධ කුමාර දිව්‍ය රාජයන් වහන්සේ ද සමන්තකූට පර්වතයේ සුමන දිව්‍යරාජයන් වහන්සේ ද කැලණිපුරයේ විභීෂණ දිව්‍ය රාජයන් වහන්සේ ද මේ පින් අනුමෝදන් වීමෙන් ....... නමැති මේ පින්වතා ආරක්‍ෂා කරන සේක්වා.