පාරිභෝගික චෛත්‍යයෝ

තථාගතයන් වහන්සේ පිට දී බුදු වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ආනන්ද බෝධීන් වහන්සේ, අනුරාධපුරයේ දක්‍ෂිණ ශාඛා බෝධීන් වහන්සේ, ඒවායේ ඵලවලින් හටගත් බෝධීන් වහන්සේලා යන මේවා පාරිභෝගික චෛත්‍යයෝ ය. තථාගතයන් වහන්සේ විසින් පරිභෝග කළ පාසිවුරු ආදිය ද පාරිභෝගික චෛත්‍යයෝ ය. තථාගතයන් වහන්සේගේ පාරිභෝගික වස්තූන් බුද්ධවංසයේ මෙසේ දක්වා ඇත්තේ ය.

වජිරායං භගවතො පත්තෝ දණ්ඩං ච චීවරං

නිවාසනං කුලඝරේ පච්චත්ථරණං කපිලව්හයේ.

තේරුම :-

භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර‍ය, සැරයටිය, සිවුර යන මේවා වජිරා නම් පෙදෙසෙහි ඇත්තේ ය. අඳනය කුලගෙයි ද පච්චත්ථරණය කපිල නම් පුරයෙහි ද ඇත්තේ ය.

පාටළීපුත්තපුරම්භි කරකං කායබන්ධනං

චම්මායුදකසාටියං උණ්ණලෝමංච කෝසලේ.

තේරුම :-

පාටළී පුත්‍ර‍ නගරයෙහි ඩබරාව හා පටිය ද සම්කඩ, නානකඩය, හා ඌර්ණරෝමය යන මේවා කොසොල් රටෙහි ද ඇත්තේ ය.

කාසාවං බ්‍ර‍හ්ම ලෝකේ ච වේඨනං තිදසේ පුරේ

නිසීදනං අවන්තීසු රට්ඨෙ අත්ථරණං තදා.

තේරුම :-

සිවුර බ්‍ර‍හ්ම ලෝකයෙහි ද, හිස්වෙළුම දෙව් ලොව ද, නිසීදනය අවන්ති ජනපදයෙහි ද, දේව නම් රටෙහි ඇතිරිල්ල ද ඇත්තේ ය.

අරණී ච මිථිලායං විදේහේ පරිස්සාවනං

වාසී සූවිඝරං චාපි ඉන්දපත්තපුරේ තදා.

තේරුම :-

ගිනි ගානා දණ්ඩ මිථිලා නගරයෙහි ද, පෙරහන විදේහ රටෙහි ද, කරකැත්ත හා ඉඳිකටුගුලාව ඉන්දපත්ත පුරයෙහි ද ඇත්තේ ය.

පරික්ඛාරා අවසේසා ජනපදේ අපරන්තකේ

පරිභුත්තානි මුනිනා අකංසු මනුජා තදා.

තේරුම :-

භාග්‍යවතුන් වහන්සේ විසින් පරිභෝග කරන ලද ඉතිරි පිරිකර එකල විසූ මනුෂ්‍යයෝ අපරන්ත ජනපදයෙහි තැන්පත් කළහ.