පූජාවේ තේරුම

star_outline

දානය, ශීලය, භාවනාව කියා බුදු දහමෙහි උගන්වන පින් තුන් කොටසක් ඇත්තේ ය. එහි දානය යනු තමා අයත් යම්කිසි දෙයක්, මෙය මාගේ ය කියා අල්ලා ගෙන අයිති කර ගෙන සිටින ලෝභය දුරු කොට අනුග්‍ර‍හයක් වශයෙන් හෝ පූජාවක් වශයෙන් හෝ දීම ය. තමා අයත් වස්තුවක් නැති ව එය නොකළ හැකි ය. බඩු ගත්තාට වෙළඳුන්ට මුදල් දීම, සේවකයන්ට පඩි දීම, බදු ගෙවීම, වැඩක් කරවා ගත්තාට මහන්සිය දීම යනාදිය දීම් වුව ද දානමය කුශලයට අයත් වන දීම් නොවේ. අකුශල වූ දීම් ද ඇත. පහරදීම්, වස විෂ දීම්, බිය ගැන්වීම් ආදිය අකුශල දානයෝ ය.

පූජාව ද දානයට ම අයත් වූවකි. දාන පින්කමේ කොටසකි. තමාට අයිති මල්, පහන්, සුවඳ දුම්, ආහාර පාන, වස්ත්‍රාදි යම්කිසි දෙයක් ප්‍ර‍තිග්‍රාහකයන්ගේ ගුණ සලකා ගෞරවාදරයෙන් දීම පූජා නම් වේ. එය කළ හැක්කේ ද තමා අයත් දෙයක් ඇති කල්හි ය.

වස්තු පූජාව ය, ස්තුති පූජාව යයි පූජාව දෙපරිදි වේ. මල් පහන් ආදී දෙයක් පිදීම වස්තු පූජාව ය. ගුණකීම ස්තුති පූජාව ය. ගුණකීම පූජාවක් වන්නේ එය ලබන්නහුගේ සිතට පැමිණ එයින් ලබන්නහුට සතුටක් ඇති වන බැවිනි. බනින කල්හි එය ලබන්නහුගේ සිතට පැමිණ ඔහුට වේදනාවක් ලජ්ජාවක් ඇති වන්නාක් මෙන් ස්තුතිය ලබන්නහුගේ සිතට පැමිණ ඔහුට සතුටක් සුවයක් ඇති කරයි. එබැවින් ස්තුතිය වස්තුවක් නො වුව ද දිය හැකි දෙයක් වේ. වන්දනා පූජා සඳහා ගාථා කවි වැකි පිළියෙළ කර තිබෙන්නේ ස්තුති පූජාව සඳහා ය. ගාථා ආදියක් නො කියා කයින් පමණක් වැඳීම කළ ද පින් සිදු වේ. ගාථා කියන්නේ ස්තුති පූජාව සඳහා ය. එයින් අතිරේක පිනක් අත්පත් වේ. මල් පහන් ආදිය බෝධිය, චෛත්‍යය, බුදුපිළිමය සමීපයේ ගාථා නො කියා පූජා කිරීමේ අදහසින් තැබුවද පූජා සිද්ධිය වේ. පින් සිදු වේ. ගාථා කීමෙන් ස්තුති පූජාව ද කෙරේ. ස්තුති පූජාව ද බොහෝ අනුසස් ඇති පින් කමෙකි.

බෝධියට, චෛත්‍යයට, විහාරයට මල් පහන්වලින් ප්‍රයෝජනයක් නැත. ඒවා පිදීමෙන් සිදු වන්නේ ඒ ස්ථාන අපිරිසිදුවීම පමණකි. එසේ තිබියදී මල් පහන් පුදන්නේ කුමට ද? එයින් පිනක් සිදු වෙනවා ද? යන මෙය ද දැන ගත යුතු කරුණෙකි. ආලෝකය ඇති කල්හි ඇස ඉදිරියට පැමිණි වස්තූන්ගේ ඡායා ඇසෙහි පහළ වේ. ඒවායින් සමහරක් ඇසට හිත ය. ලස්සනය කියනුයේ ඒ ඇසට හිත වස්තූන් ය. ඇතැම් වස්තූහු ඇසට අහිත ය. කැතය කියනුයේ ඒ වස්තූන් ය. ඇසට හිත වස්තුවේ ඡායාව ඇසට පැමිණි කල්හි එයට නැවත නැවතත් ඇස යොමු කරයි. ඇසට අහිත දෙය එයට පැමිණි කල්හි ඇස එයින් ඉවත් කරයි. අහිත දෙය යොමු කර ගෙන සිටීම ඇසට පීඩාවෙකි. ඇසට හිතකර ඇස පිනවන වස්තූන් උතුම් කොට සලකයි. ‘මල්’ මිනිස් ඇස පිනවන වස්තුවෙකි. එබැවින් එය උතුම් දෙයක් කොට සලකති. පුරාණයෙහි පටන් දඹදිව වැසියෝ උසස් කෙනකු දක්නට යන කල්හි ලස්සන මල් පොකුරක් ගෙන යති. ඒ චාරිත්‍ර‍ය අනුව බුදුරදුන් දක්නට එන්නෝ ද මල් පොකුරක් ගෙන ආහ. මල් පොකුර පිළිගැන්වීම උසස් ගෞරවයක් ලෙස සැලකූහ. ඒ සිරිත අනුව බෝධි වලට චෛත්‍යවලට බුදු පිළිමවලට මල් පිදීම ආරම්භ විය. මල්වලින් දාගැබ් ආදියට යහපතක් නැතත් උසස් අයට කරන ගෞරවයක් වශයෙන් කරන නිසා එය යහපතක්, පිනක් වේ. අන්ධකාරය මිනිසුන්ට අප්‍රිය දෙයකි. ආලෝකය ඉතා ප්‍රිය දෙයකි. එබැවින් ආලෝකය දෙන පහනත් උතුම් වස්තුවක් ලෙස සලකති. මහබෝ දාගැබ් ආදියට ආලෝකයේ වුවමනාවක් නැතත් ඒවාට තමන්ගේ ගෞරවය දැක්වීම් වශයෙන් පහන් පූජාව කරති. ගෞරව දැක්වීම් වශයෙන් කරන බැවින් පහන් පූජාව ද පිනක් වේ. ඉතා ළං කොට පහන් දැල්වීමත් බොහෝ පහන් දැල්වීමත් බෝධිවලට අගුණ විය හැකි ය. පමණට වඩා පහන් දැල්වීම විහාරවලට ද අහිත ය.