කල්ප යනු කාලපරිච්ඡේදයන්ට නමෙකි. එහි විභාග දක්වා ඇත්තේ මෙසේ ය. අන්තඃකල්පය, අසඞ්ඛ්‍ය කල්පය, මහා කල්පය යි කල්පය තුන් ආකාර වේ.
මේ මිනිස් ලොව මිනිසුන්ගේ ආයුෂය සෑම කල්හි එක ම ප්‍රමාණයකට නො නවතී. කලින් කල අඩු වැඩි වේ. මේ මිනිසුන් අතර පාප ධර්මයන් වැඩි වීමෙන් ආයුෂ පිරිහී දස අවුරුද්ද පරමායුෂය වන කාලයක් පැමිණේ. ඒ පිරිහීම නිසා සංවේගයට පත් මනුෂ්‍යයෝ පව්කම් අත්හැර කුශල ක්‍රියාවන්හි යෙදෙන්නට පටන් ගනිති. එයින් ඔවුන්ගේ ආයුෂය පරම්පරාවෙන් පරම්පරාවට ක්‍රමයෙන් වැඩේ. අන්තිමට වයස වර්ෂ අසඞ්ඛ්‍යය දක්වා වැඩී අසඞ්ඛ්‍ය වර්ෂායුෂ ඇති මනුෂ්‍යයන් සිටින කාලයක් ඇති වේ. ඒ කාලයේ දී මනුෂ්‍යයෝ නැවත පව්කමට බසිති. එයින් ඔවුන්ගේ ආයුෂය නැවත පරම්පරාවෙන් පරම්පරාවට මඳින් මඳ පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලය පැමිණේ. මෙසේ මිනිසාගේ වයස දස අවුරුද්දේ පටන් අසඞ්ඛ්‍යය දක්වා වැඩී නැවත පිරිහී දස අවුරුදු වයසට පැමිණීමට ගත වන අති දීර්ඝ කාලය අන්තඃකල්ප නම් වේ. එය මේ මහා පොළව එක් යොදුන් තුන් ගව්වක් වැඩීමට ගත වන කාලය ය යි කියනු ලැබේ.
සංවර්තය, සංවර්තස්ථායීය, විවර්තය, විවර්තස්ථායීය ය යි අසඞ්ඛ්‍ය කල්ප සතරකි. සාගර ගඞ්ගා පර්වත සහිත වූ මේ ලෝකය සදාකාලිකව පවත්නක් නොව කලින් කල විනාශ වන්නකි. ලෝක විනාශය, ගින්න, දිය, සුළඟ යන තුනෙන් සිදු වේ. මේ මහා ලෝකයේ විනාශය ද සුළු කලකින් සිදුවන්නක් නොවේ. එයට අති දීර්ඝ කාලයක් ගත වේ. වරක් ලෝකය විනාශ වීමට ගත වන අති දීර්ඝ කාලය සංවර්ත කල්ප නම් වේ.
ලෝකය විනාශ වීමෙන් පසු ලෝකයක් නැති ආකාශය පමණක් ඇති හිස් කාලය සංවර්තස්ථායී කල්ප නම් වේ. එය ද විනාශ වීමට ගත වූ කාලය පමණ දිග ය.
දීර්ඝ කාලයකින් පසු නැවත ලෝකය සෑදීම ආරම්භ වේ. ලෝකය සෑදීම අවසන් වීමට ගත වන කාලය විවර්ත කල්ප නම් වේ. එය ද හිස්ව පැවති කාලය පමණ දිගු කාලයකි.
සෑදුණා වූ ලෝකය එසේ පවත්නා කාලය විවර්තස්ථායී කල්ප නම් වේ. එය ද හිස් ව පැවති කාලයට සමාන කාලයකි. මේ එක් එක් අසඞ්ඛ්‍ය කල්පයක ප්‍රමාණය අන්තඃකල්ප විස්සක් පමණ ය යි ද සිවු සැටක් පමණ ය යි ද කියා තිබේ.
අසඞ්ඛ්‍ය කල්ප සතරක් මහා කල්ප නම් වේ. බුදුවරුන් ලොව පහළ වීම දක්වා ඇත්තේ මහා කල්ප ගණනිනි.
ශුන්‍ය කල්පය, සාර කල්පය, මණ්ඩ කල්පය, වර කල්පය, සාරමණ්ඩ කල්පය, භද්‍ර කල්පය යි කල්පය සවැදෑරුම් වේ. බුදුවරුන් පහළ නොවන කල්පය ශූන්‍ය කල්ප නම් වේ. එක් බුදුවරයකු පහළ වන කල්පය සාර කල්ප නම් වේ. බුදුවරුන් දෙනමක් පහළ වන කල්පය මණ්ඩ කල්ප නම් වේ. බුදුවරුන් තෙනමක් පහළ වන කල්පය වර කල්ප නම් වේ. බුදුවරුන් සතර නමක් පහළ වන කල්පය සාරමණ්ඩ කල්ප නම් වේ. බුදුවරුන් පස් නමක් පහළ වන කල්පය භද්‍ර කල්ප නම් වේ. මේ කල්පයෙහි කකුසන්ධ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුවරයන් වහන්සේලා සතර නම පහළ වූහ. මතු ද මේ කප මෛත්‍රිය නමින් බුදු කෙනකු පහළ වන්නාහ. එබැවින් මේ කපට භද්‍ර කල්ප ය යි කියනු ලැබේ.