ධර්මචක්‍ර‍ය

ධර්ම චක්‍ර‍ය වනාහි ධර්මය පිළිබඳ උසස් දැනුමක් නැති සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට දුෂ්කර ඔවුනට තේරුම් ගත හැකි පරිදි කීමට - ලිවීමට දුෂ්කර ගැඹුරු කරුණෙකි. එය තේරුම් ගත හැකි වීමට නම් ධර්ම යන වචනයෙන් කියැවෙන්නේ කුමක් ද? චක්‍ර‍ යන වචනයෙන් කියැවෙන්නේ කුමක් ද? ධර්මය ම චක්‍ර‍යක් ද? ධර්මයත් චක්‍ර‍යත් දෙකක් ද? ධර්ම යන වචනයට චක්‍ර‍ යන වචනය සම්බන්ධ කර ඇත්තේ කිනම් ප්‍රයෝජනයක් සඳහා ද? යන කරුණු ගැන සලකා බැලිය යුතු ය.

දැනට ලෝකයෙහි අනේකාකාර ධර්ම චක්‍ර‍ සටහන් ඇත්තේ ධර්මය නොදත් ශිල්පීන් විසින් ධර්මචක්‍ර‍ය යන නම අසා ඇති පමණින් තමාට සිතෙන සැටියෙන් ධර්ම චක්‍ර‍ය කියා නොයෙක් ආකාර චක්‍ර‍ සටහන් ඇඳ තැබීම නිසා ය. මුලින් කෙනකු ඇඳ තැබූ චක්‍ර‍ සටහන් අනුව තවත් අයත් චක්‍ර‍ සටහන් අඳින්නට වීමෙන් ඒවා ව්‍යාප්ත වී ඇත්තේ ය.

ධර්ම චක්‍ර‍ය යන මෙහි ධර්මය, චක්‍ර‍ය කියා වචන දෙකකි. එහි ධර්ම යන වචනයෙන් චතුස්සත්‍යය ප්‍ර‍තිවේධ කරන ලෝකෝත්තර මාර්ගඥානය, චතුස්සත්‍යය පිළිබඳ දේශනාඥානය, චතුස්සත්‍යය දේශනය වූ වචන මාලාව යන අර්ථ තුන ගනු ලැබේ. චක්‍ර‍ යන වචනයෙන් පුරාණ ලෝකයේ යුද්ධයට පාවිච්චි කළ කඩු කිණිසි ආදියට වඩා නපුරු ආයුධයක් වන රෝදයක් කියැවේ. එය පිට වාටිය හෙවත් පට්ටම දැළි පිහියක් සේ කැපෙන්නා වූ හෝ පට්ටමෙහි දැළිපිහිය සේ කැපන දැති ඇත්තා වූ හෝ රෝදයකි. ඒ චක්‍ර‍ය ක්‍රියා කරවා යුදවල දී සැණෙකින් බොහෝ ජනයා කපා සුණු විසුණු කරනු ලැබේ. ඒ චක්‍ර‍ය ගැන සාමඤ්ඤඵල සූත්‍රයෙහි මෙසේ දැක්වේ.

“ඛුරපරියන්තේන චේපි චක්කේන යෝ ඉමිස්සා පඨවියා පාණේ ඒකමංසඛලං ඒකමංසපුඤ්ජං කරෙය්‍ය”

මේ පූරණකාශ්‍යප යන ශාස්තෘවරයාගේ ප්‍ර‍කාශනයෙකි. එයින් කියැවෙන්නේ දැළිපිහිය සේ කෙළවර ඇති චක්‍රයෙන් මේ පොළොවෙහි සතුන් එක ම මස් ගොඩක් කළත් යනු යි. චක්‍රයේ දරුණුකම ඒ පාඨයෙන් පෙනේ. බෝධිමූලයේ දී මහ බෝසතාණන් හා යුදයට පැමිණි වසවත් මරු ද චක්‍ර‍ නම් වූ ඒ අවිය පාවිච්චි කළ බව කියා තිබේ.

ධර්ම යන වචනයෙන් කියැවෙන ලෝකෝත්තර මාර්ගඥානය ද අන් කිසි අවියකින් නැසිය නොහෙන කෙලෙස් සතරන් මතු නැගී නො සිටින සේ නැසීමට සමත් අවියකි. ලෝකෝත්තර මාර්ගඥානය හැර අන් කිසිවකින් මතු නැඟී නො එන ලෙස කෙලෙස් සතුරන් නො නැසිය හැකි ය. ලෝකෝත්තර මාර්ගඥානයේ බලය විසුද්ධිමග්ගයේ මෙසේ දැක්වේ.

භීම වේගානුපතිතා අසනීව සිලුච්චයේ,

වායුවේග සමුට්ඨිතො අරඤ්ඤමිව පාවකෝ.

අන්ධකාරං විය රවි සතේජුජ්ජල මණ්ඩලෝ,

දීඝරත්නානුපතිතං සබ්බානත්ථවිධායකං,

කිලේසජාලං පඤ්ඤාහි විද්ධංසේති භාවිතා.

භයානක වේගයෙන් වැටුණා වූ හෙනය පර්වතයෙන් සුණු කරන්නාක් මෙන් වායු වේගයෙන් හටගත් ගින්න මහා වනයන් දවා විනාශ කරන්නාක් මෙන් ස්වකීය තේජසින් දිලිසෙන මණ්ඩලයක් වූ හිරු අඳුර දුරු කරන්නාක් මෙන් සත්ත්ව සන්තානයෙහි දීර්ඝ කාලයක් පැවතියා වූ සකලානර්ථයන් ඇති කරන්නා වූ කෙලෙස් සමූහය වඩන ලද ප්‍ර‍ඥාව විනාශ කෙරේය යනු එහි තේරුම ය.

ලෝකෝත්තර මාර්ගඥානය කෙලෙස් නැසීමට සමත් බලවත් ආයුධය ය. චක්‍ර‍ය මිනී මැරීමට සතුන් මැරීමට සමත් බලවත් ආයුධය ය. එහෙත් අරූපී ධර්‍මයක් වන ලෝකෝත්තර මාර්ගඥානය ඇසට පෙනෙන දෙයක් නොවන බැවින් අප්‍ර‍කට ය. චක්‍ර‍ය ඇසට පෙනෙන දෙයක් බැවින් ප්‍ර‍කට ය. වඩා ශක්තිය ඇති මිනිසාට ඔහුගේ ශක්තිය ප්‍ර‍කට කිරීම සඳහා අලියා ය කියන්නාක් මෙන් ද, වේගයෙන් යා හැකි මිනිසාට ඒ බව ප්‍ර‍කට කිරීම පිණිස අශ්වයා ය කියන්නාක් මෙන් ද, මෝඩ මිනිසාට ඒ බව ප්‍ර‍කට කිරීම පිණිස ගොනා ය කියන්නාක් මෙන් ද ලෝකෝත්තර මාර්ග ඥානය ප්‍ර‍කට කරනු පිණිස එයට ධර්ම චක්‍ර‍ය යි කියනු ලැබේ. ශක්තිය නිසා අලියා ය කියන මිනිසා මිනිසකු මිස අලියකු නො වන්නාක් මෙන් ද, අශ්වයා ය කියන මිනිසා අශ්වයකු නො වන්නාක් මෙන් ද, ගොනා ය කියන මිනිසා ගොනකු නො වන්නාක් මෙන් ද ධර්මචක්‍ර‍ය යි කියනු ලබන ලෝකෝත්තර මාර්ග ඥානය වූ ධර්මයත් ධර්මයක් මිස සත්‍ය වශයෙන් ඇති චක්‍ර‍යක් නො වන බව දත යුතු ය.

ලෝකෝත්තර මාර්ග ඥානය යනු චතුස්සත්‍යය ප්‍ර‍තිවේධ කරන ඥානය ය. යම් කිසි වස්තුවක් ඇසින් බලා දැන ගන්නා වූ තැනැත්තාට දත හැකි වන්නේ ඒ වස්තුවේ පිට පැත්ත පමණෙකි. පිට පැත්තෙන් ද එක් කොටසක් පමණෙකි. එබැවින් ඒ දැනුම සර්වාකාර පරිපූර්ණ දැනුමක් නොවේ. ප්‍ර‍තිවේධ ය යි කියනුයේ ඒ ඒ දෙයෙහි ඇතුළත පිටත දෙක ම සම්පූර්ණයෙන් පිරිසිදු ලෙස දැනීමට ය. ලෝකෝත්තර මාර්ග ඥානය, චතුස්සත්‍යය එසේ සම්පූර්ණ ලෙස පිරිසිදු ලෙස දකී. ප්‍ර‍තිවේධ ය යි කියනුයේ ඒ දැනුමට ය. කෙලෙස් නැසීමට සමත් ව්නනේ ඒ දැනුම ය.

ඒ ලෝකෝත්තර මාර්ග ඥානය ප්‍ර‍තිවේධ ධර්ම චක්‍ර‍ය ය. ඒ ලෝකෝත්තර මාර්ග ඥානය වචන අනුව වචනානුසාරයෙන් ධර්මයන් දැන ගන්නා වූ ඥානයක් නොව වචන නැති ව ධර්ම ශරීරය දක්නා වූ ඥානයෙකි. ප්‍ර‍තිවේධ කරන ලද චතුස්සත්‍ය ධර්මය ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා යනාදීන් වචනවලට නඟා කරන දේශනය වූ වචන මාලාව දේශනා ධර්ම චක්‍ර‍ය ය. එයින් කෙරෙන්නේ ශ්‍රාවකයන්ගේ කෙලෙස් නැසීම ය. එයින් කෙළින් ම ශ්‍රාවකයන්ගේ කෙලෙස් නැසීමක් නො කරනු ලැබේ. එය ඇසූ ශ්‍රාවකයන්ගේ සන්තානයෙහි ඒ ධර්මය ඇසීම නිසා චතුස්සත්‍යය ප්‍ර‍තිවේධ කරන ලෝකෝත්තර මාර්ග ඥානය ඇති වේ. එයින් ඔවුන්ගේ සන්තානයන්හි කෙලෙස් දුරු වේ. සත්‍ය දේශනය ශ්‍රාවක සන්තානයෙහි ලෝකෝත්තර මාර්ග ඥාන සංඛ්‍යත ධර්ම චක්‍ර‍ය ඇති කරන්නක් බැවින් එයට ද දේශනා ධර්මචක්‍ර‍ය යි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී පවත්වන ලද ධම්මචක්කප්පවත්තන සුත්ත නම් වූ චතුස්සත්‍ය දේශනය අසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ඇතුළු අටළොස් කෝටියක් බ්‍ර‍හ්මයෝ සෝවාන් ඵලයට පැමිණියහ. ඒ ඔවුන්ගේ සන්තානවල ලෝකෝත්තර මාර්ග ඥානය පහළ වී බොහෝ කෙලෙස් දුරු වී යෑම ය.

චතුස්සත්‍ය ප්‍ර‍කාශ කරන දේශනය වූ වචන මාලාව ධර්ම චක්‍ර‍යක් බව තථාගතයන් වහන්සේ විසින් සච්චවිභඞ්ග සූත්‍රයෙහි මෙසේ වදාරා ඇත්තේ ය.

“තථාගතේන භික්ඛවේ, අරහතා සම්මා සම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං, අප්පටිවත්තියං සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍ර‍හ්මුණා වා කේනචි වා ලෝකස්මිං; යදිදං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානිකම්මං”

“තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේදී සතරක් වූ ආර්‍ය්‍ය සත්‍යයන් ප්‍ර‍කාශ කිරීම් වශයෙන් ශ්‍ර‍මණ බ්‍රාහ්මණාදි කිසිවකුට ආපසු පෙරළිය නොහෙන අනුත්තර ධර්ම චක්‍ර‍ය පවත්වන ලද්දේ ය” යනු එහි අදහස ය. එයින් දැක්වෙන්නේ චතුරාර්‍ය්‍ය සත්‍යය දක්වන ප්‍ර‍කාශ කරන වචන මාලාව ධර්ම චක්‍ර‍ය කියා ය.