බෝධීන් වහන්සේට මල් තුනක් පිදූ තිපුප්ඵිය රහතන් වහන්සේගේ අපදානය

star_outline

1. මිගලුද්දෝ පුරේ ආසිං අරඤ්ඤෙ කනනෙ අහං

පාටළිං හරිතං දිස්වා තීණි පුප්ඵානි ඕකිරිං.

.

2. සත්ත පත්තානි ගණ්හිත්වා බහි ජඩ්ඪෙසහං තදා

අන්තෝ සුද්ධං බහි සුද්ධං සුවිමුත්තං අනාසවං.

.

3. සම්මුඛා විය සම්බුද්ධං විපස්සිං ලෝකනායකං

පාටළිං අභිවාදෙත්වා තත්ථ කාලකතෝ අහං.

.

4. ඒකනවුතේ ඉතෝ කප්පේ යං බෝධිමභිපූජයිං

දුග්ගතිං නාභිජානාමි බෝධිපූජායිදං ඵලං.

.

5. සමන්තපාසාදිකා නාම තේරසාසිංසු රාජිනෝ

ඉතෝ තෙත්තිංස කප්පම්හි චක්කවත්ති මහබ්බලෝ.

.

6. පටිසම්භිදා -පෙ-

ඉත්ථං සුදං ආයස්මා තිපුප්ඵියො ථෙරෝ ඉමා ගාථා අභාසිත්ථ.

තේරුම :-

1. මම පෙර මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. නිල්වන් වූ පළොල් බෝධිය දැක මල් තුනක් පිදුවෙමි.

2-3. එකල්හි මම වැටී තුබූ බෝපත් සතක් ගෙන ඉවත ලීමි. ඇතුළ ශුද්ධ වූ පිටත ශුද්ධ වූ කෙලෙසුන් ගෙන් මැනවින් මිදුණා වූ ආශ්‍ර‍ව රහිත වූ සම්‍යක් සම්බුද්ධ වූ විපස්සි නම් ලෝකනායකයන් වහන්සේට ඉදිරියේ වඳින්නාක් මෙන් පළොල් බෝ රුකට වැඳ මම එහි ම කලුරිය කෙළෙමි.

4. මෙයින් එක් අනූවන කපෙහි මම යම් බෝධි පූජාවක් කෙළෙම් ද ඉන් පසු දුර්ගතියකට නො ගියෙමි. මේ බෝධි පූජාවේ ඵලය ය.

5. සමන්ත පාසාදික යන නමින් තෙළෙස් වරක් රජ වීමි. මෙයින් තෙතිස් වන කපෙහි මහ බලැති සක්විති රජෙක් වීමි.

6. තේරුම පෙර සේ ය.

කර්ම විස්තරයක්

මුළු ජීවිත කාලයේ ම මුව වැදිකම ම කළ කෙනකුට බෝධියකට මල් පිදීමෙන් කල්ප අනූ එකක් දෙව් මිනිස් සැප විඳ අන්තිමට රහත් ව නිවන් දැකිය හැකි වූයේ කෙසේ ද යන ප්‍ර‍ශ්නය මෙහි දී ඇති වන්නේ ය. එය අභිධර්ම පිටකයේ ධම්මසඞ්ගණීපකරණයේ එන මිච්ඡත්ත ත්‍රිකය අනුව විසඳා ගත යුත ය.

කුශලා‘කුශල කර්ම සියල්ල ඒකාන්තයෙන් ම විපාක දෙන්නෝ නො වෙති. ඒවා අතර විපාක දීම නියත කර්මයෝ ද ඇත. අනියත කර්මයෝ ද ඇත.

කතමේ ධම්මා මිච්ඡත්ත නියතා? පඤ්ච කම්මානි ආනන්තරියානි යා ච මිච්ඡාදිට්ඨි නියතා. ඉමේ ධම්මා මිච්ඡත්තනියතා.

කතමෙ ධම්මා සම්මත්තනියතා? චත්තාරෝ මග්ගා අපරියාපන්නා. ඉමෙ ධම්මා සම්මත්තනියතා.

කතමේ ධම්මා අනියතා? තේ ධම්මේ ඨපෙත්වා අවසේසා කුසලාකුසලාව්‍යාකතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වේදනාක්ඛන්ධෝ සඤ්ඤාක්ඛන්ධෝ සංඛාරක්ඛන්ධෝ විඤ්ඤාණක්ඛන්ධෝ සබ්බං ච රූපං අසංඛතා ච ධාතු, ඉමෙ ධම්මා අනියතා.

මේ මිච්ඡත්ත ත්‍රිකය ය.

එහි දැක්වෙන සැටියට ආනන්තර්‍ය්‍ය කර්ම පස හා නියත මිථ්‍යාදෘෂ්ටිය විපාකදීම නියත අකුශලකර්‍මයෝ ය. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන ලෝකෝත්තර මාර්ග සතර කුශල පක්‍ෂයේ විපාක දීම නියත කර්මයෝ ය. සෙසු කුශලා‘කුශල කර්ම සියල්ල ම අනියත කර්මයෝ ය. මුවන් මැරීමේ කර්මය අනියත කර්මයකි. එක් පුද්ගලයකුට දෙවන ජාතියේ විපාක දීමට සමත් බොහෝ කුශලා‘කුශල කර්මයන් ඇත්තේ ය. දෙවන ජාතියේ ප්‍ර‍තිසන්ධිය ඇති වන්නේ ඒවායින් යම් කිසි එක් කර්මයකිනි. එක කර්මයකින් එක ප්‍ර‍තිසන්ධියක් ඇති කරයි. කර්ම හත, අට, සියය, දෙසියය එකතු වී ප්‍ර‍තිසන්ධි ඇති කිරීමක් නැත. දෙවන ජාතියේ ප්‍ර‍තිසන්ධිය දිය හැකි කෝටි ගණන් කුශලා‘කුශල කර්ම ඇතියකුට ඒවායින් එක් කර්මයකින් ප්‍ර‍තිසන්ධිය ඇති කෙරේ. ඉතිරි සියල්ල විපාක දීමට අවකාශයක් නැති කමින් යටපත් වේ. ඉඩක් නැති කමින් යටපත් වී යන ඒ කර්ම අහෝසි කර්ම නම් වේ. දෙවන ජාතියේ විපාක දීමට සමත් බොහෝ කුශලා‘කුශල කර්ම ඇති සත්ත්වයාට ඒවායින් වඩා බලවත් කර්මයෙන් හෝ මරණාසන්න කාලයේ කළ කර්මයෙන් හෝ ඒ වේලාවේ සිහි වූ කර්මයෙන් හෝ ප්‍ර‍තිසන්ධිය ඇති වේ. එය කුශල කර්මයක් වී නම් සුගතියෙහි ද අකුශල කර්මයක් වී නම් දුර්ගතියේ ද උපදී.

මේ කථාවෙහි කියැවුණ මුව වැද්දාට බෝධි පූජාව ආසන්න කර්මය වන්නට ඇත. ඔහු එයින් දෙව්ලොව උපදින්නට ඇත. වනයේ මුවෝ අනුන්ගෙන් මැරුම් කෑමට නිසි අකුශල කර්මවලින් වනයෙහි උපදින අපායට අයත් සත්ත්වයෝ ය. ඔවුනට කෙසේ හෝ අනුන් අතින් මැරුම් කෑමට සිදු වන්නේ ය. එබැවින් ඔවුන් මැරීමේ පාපය කුශලයෙන් යට කළ නො හෙන තරමේ බලවත් කර්මයක් නො විය හැකි ය. අත්‍යුත්තම පූජනීය වස්තුවක් වන බෝධියට මල් පිදීමේ කුශලය බලවත් කුශලයකි. එබැවින් එයට මුවන් මැරීමේ පාපයට විපාක දීමට ඉඩ නො දී එය යට කොට දීර්ඝ කාලයක් සුගති සම්පත් ලබා දීමට හා අර්හත්වයට පැමිණවීමට ශක්තිය තුබූ බව කිය යුත ය. නොයෙක් පව් කම් කරමින් සිට පසු කාලයේ ඒවා හැර පින් කිරීමට පටන් ගෙන නිවන් දක්නා පුද්ගලයෝ බොහෝ ය. බොහෝ පව් කම් කළා වූ ඇතම්හු ඒවා අත්හැර පින් කරන ලෙස සත්පුරුෂයන්ගේ අනුශාසනා ලද කල්හි ද මෙතෙක් පව් කම් කළා වූ මට දැන් පින් කිරීමෙන් වැඩක් නැතිය යි පව් කම් අත් නො හරිති. පින් නො කරති. එය අනුවණ කමෙකි.