පඤ්චදීපක රහතන් වහන්සේ

මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බෝධියට පහන් පුදා සසර බොහෝ කලක් දේවමානුෂික සම්පත් ලබා අප බුදු සස්නෙහි පැවිදි ව රහත් ව නිවන් දුටු පඤ්ච දීපක නම් රහතන් වහන්සේගේ චරිතය අපදාන පාලියේ මෙසේ දැක් වේ.

1. පදුමුත්තර බුද්ධස්ස සබ්බභූතානු කම්පිනෝ

සුසණ්ඨහිත්වා සද්ධම්මේ උජුදිට්ඨි අහෝසහං.

.

2. පදීපදානං පාදාසිං පරිවාරෙත්වාන බෝධියං

සද්දහන්තෝ පදීපානි අකරිං තාවදේ අහං.

.

3. යං යං සො නූපපජ්ජාමි දේවත්තං අථ මානුසං

ආකාසේ උක්කං ධාරෙන්ති දීපදානස්සිදං ඵලං.

.

4. තිරෝකුඩ්ඩං තිරෝ සේලං සමතිග්ගය්හ පබ්බතං

සමන්තා යෝජනසතං දස්සනං අනුභෝමහං.

.

5. තේන කම්මාවසේසෙන පත්තෝම්හි ආසවක්ඛයං

ධාරෙමි අන්තිමං දේහං දීපදින්නස්ස සාසනේ.

.

6. චතුත්තිංසේ කප්පසතේ සතචක්ඛු සනාමකා

රාජා අහේසුං මහා තේජා චක්කවත්ති මහබ්බලා.

.

7. පටිසම්භිදා චතස්සෝ විමොක්ඛාචාපි අට්ඨිමේ

ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.

ඉත්ථං සුදං ආයස්මා පඤ්චදීපිකෝ ථෙරෝ ඉමා ගාථායෝ අභාසිත්ථ.

තේරුම:-

  1. සකල සත්ත්වයන් කෙරෙහි අනුකම්පාව ඇත්තා වූ පදුමුත්තර බුදුන් වහන්සේගේ ධර්මයෙහි මැනවින් පිහිටා මම සෘජු දෘෂ්ටි ඇතියේ වෙමි.
  2. බෝධිය වටා ප්‍ර‍දීප දානයක් දුනිමි. එකල්හි මම ධර්මයෙහි විශ්වාසය ඇති ව පහන් දැල්වීමි.
  3. ඒ මම දෙව් ලොව හෝ මිනිස් ලොව යම් යම් තැනක උපන්නෙම් ද මට අහසෙහි ගිනි සිළු දරන්නාහ. මෙය ප්‍ර‍දීප දානයේ ඵලය ය.
  4. බිත්තිවලින් ඔබ කඳුවලින් ඔබ පර්වතයන් ඉක්ම හාත්පස යොදුන් සියයක් දුර දකිමි.
  5. ඒ කුශල කර්මයාගේ අවශේෂයෙන් අර්හත්වයට පැමිණියෙමි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
  6. කල්ප එකසිය සූතිසකට පෙර ශත චක්ෂු නම් වූ මහත් බලැති සක්විති රජහු වූහ.
  7. පටිසම්භිදා සතර ද, විමෝක්ෂ අට ද, අභිඥා සය ද යන මේවා ලබා ගතිමි. බුදුරදුන්ගේ අනුශාසනය කෙළෙමි.

මේ ගාථා පඤ්චදීපක තෙරුන් වහන්සේ ප්‍ර‍කාශ කළහ.

පහන් පූජාව

බෝධි වලට පහන් පූජා කිරීමේ දී ඒවාට අනතුරක් නොවන පරිදි නුවණින් කළ යුතු ය. තෙල් බෝ මල්වලට අගුණ ය. එබැවින් බෝධි සමීපයේ තෙල් නො ඉසිරෙන සේ පරෙස්සමින් වැඩ කළ යුතු ය. බෝධි වටා බොහෝ පහන් දැල්වීම ද, බෝධියට ඉතා ළං කොට පහන් දැල්වීම ද නුසුදුසු ය. එසේ කිරීමෙන් බෝධියට හානි විය හැකි ය. අපල දුරු කර ගැනීම සඳහා බෝධි පූජා කරන්නවුන් විසින් නො සැලකිල්ලෙන් බෝධියට අපල වන සැටියට පහන් පූජාව කළ හොත් එයින් අපල නැති වීම වෙනුවට අපල වැඩි වන්නට බැරි නැත.