සප්ත බුද්ධ බෝධි ශාන්තිය

රෝගාදි විපත්තිවලින් මිදෙනු සඳහා පස්විසි බුදුවරුන්ට බෝධිවලට පූජා පැවැත්වීම අපහසු ය. බරපතල ය. සත් බුදුවරයන්ට හා බෝධීන්ට පූජා පැවැත්වීම පහසු ය. සත් බුදුවරයෝ නම් විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්ධ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුවරයෝ ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ දැක උන් වහන්සේගෙන් දහ් අසා සෝවාන් ආදි මඟපලවලට පැමිණි දේව බ්‍ර‍හ්මයෝ බොහෝ ය. ඔවුනට බොහෝ ආයු ඇති බැවින් අදත් ඔවුහු ජීවත්ව ඇත්තා හ. විපස්සී සිඛී වෙස්සභූ කකුසන්ධ කෝණාගමන කාශ්‍යප යන බුදුවරුන් දැක උන් වහන්සේලාගෙන් දහම් අසා ම පල ලැබූ බොහෝ බ්‍ර‍හ්මයෝ ද දැනුදු බ්‍ර‍හ්ම ලෝකවල ඇත්තා හ. එබැවින් සත් බුදුවරයෝ ලෝකයෙහි ප්‍ර‍සිද්ධ ය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් විනය පිටකයේ සඳහන් කර ඇත්තේ ද මහාපදාන සූත්‍රයෙහි හා ආටානාටිය සූත්‍රයේ සඳහන් වන්නේ ද විපස්සී ආදි බුදුවරුන් පමණෙකි. ශාන්තිය ලැබීම සඳහා ඒ සත් බුදුවරුන්ට හා බෝධිවලට පූජා පැවැත්වීම යහපති.

විපස්සී බුදුන් වහන්සේගේ බෝධිය පළොල් ගස ය, සිඛී බුදුන් වහන්සේගේ බෝධිය ඇටඹ ගස ය. වෙස්සභූ බුදුන් වහන්සේගේ බෝධිය සල් ගස ය. කකුසන්ධ බුදුන් වහන්සේගේ බෝධිය මහරි ගස ය. කෝණාගමන බුදුන් වහන්සේගේ බෝධිය දිඹුල් ගස ය. කාශ්‍යප බුදුන් වහන්සේගේ බෝධිය නුග ගසය. ගෞතම බුදුන් වහන්සේ ගේ බෝධිය ඇසටු ගස ය.

මේ පූජාව කිරීමේ දී සත් බුදුවරයන් වහන්සේලා සඳහා මල් වට්ටි සතක් හා පහන් සතක් ද සත් බෝධීන් වහන්සේලා සඳහා මල් වට්ටි සතක් හා පහන් සතක් ද පිළියෙළ කරගත යුතුය. ඒවා ශාන්තිය කරවා ගන්නා ආතුරයා ලවා බෝධි මූලයක මලසුනේ තැබිය යුතු ය. ආතුරයාට නො හැකි නම් ඔහුට අත ගස්වා අනිකකු විසින් තැබිය යුතු ය. ඉක්බිති මේ ගාථා කියා සැමදෙනා විසින් ම වැඳිය යුතු ය.

වන්දනා ගාථා

1. විපස්සිං ලෝකනාථං ච තස්ස බෝධිං ච පාටලිං,

විපත්ති පටිබාහාය නමාමි සිරසාදරං.

.

2. සිඛිංච සම්මා සම්බුද්ධං සේතම්බ බෝධිං වරං,

සම්පත්ති පටිලාභාය නමාමි සිරසාදරං.

.

3. වෙස්සභුං සුගතං සෙට්ඨං සාල බෝධිංච සාතදං,

සබ්බදුක්ඛ විනාසාය නමාමි සිරසාදරං.

.

4. කකුසන්ධංච සම්බුද්ධං බෝධිං සිරිසමුත්තමං,

සබ්බ භය විනාසාය නමාමි සිරසාදරං.

.

5. කෝණාගමන බුද්ධංච බෝධිං සිරීසං වරං,

සබ්බරෝග විනාසාය නමාමි සිරසාදරං.

.

6. ලෝකනාථං කස්සපංච නිග්‍රෝධ බෝධිමුත්තමං,

සබ්බානත්ථ විනාසාය නමාමි සිරසාදරං.

.

7. ගෝතමං සම්මා සම්බුද්ධං අස්සත්ථ බෝධිපාදපං,

සබ්බවේර විනාසාය නමාමි සිරසාදරං.

.

8. සත්ත එතේ ලෝකනාථෙ තේසංච සත්තබෝධියෝ,

කායේන වාචා චිත්තේන අභිවන්දාමි සාදරං.

මේ ගාථා කියා බුදුවරුන් හා බෝධීන් වැඳ මතු දැක්වෙන ගාථා කියා පූජාව පවත්වන්න.

පූජා ගාථා

1. විපස්සිං ලෝකනාථංච තස්ස බෝධිං ච පාටලිං,

ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.

.

2. සිඛිං ච සුගතං සෙට්ඨං බෝධිං පුණ්ඩරීකං වරං,

එතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.

.

3. විනායකං වෙස්සභුංච සාලබෝධිං ච සාතදං,

ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.

.

4. කකුසන්ධං මුනින්දං ච බෝධිං ච සිරීසං වරං,

ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.

.

5. කෝණාගමන නාථං ච තස්ස බෝධිං උදුම්බරං,

ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.

.

6. කස්සපං දේවදේවං ච බෝධිං නිග්‍රෝධපාදපං,

ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.

.

7. මුනින්දං ගෝතමං සෙට්ඨං අස්සත්ථ බෝධි මුත්තමං,

ඒතේ පුප්ඵෙ ච දීපේ ච පූජයාමි සගාරවං.

මෙසේ පූජාව කොට මතු දැක්වෙන ගාථා කියා දෙවියන්ට පින් දෙනු.

සියලු දෙවියන්ට පින්දීම

කතං අම්හේහිමං පුඤ්ඤං සබ්බසම්පත්ති සාධකං,

සබ්බේ දේවා අනුමෝදන්තු අම්හේ රක්ඛන්තු සබ්බදා.

විෂ්ණු දෙවියන්ට පින්දීම

නීල වණ්ණෝ මහා තේජෝ බලී ගරුළ වාහනෝ,

වෙණ්හු නාමෝ දේවරාජා ඉමං පුඤ්ඤානුමෝදතු.

කතරගම දෙවියන්ට පින්දීම

සළානනෝ මහා තේජෝ බලෝ මයුර වාහනෝ,

දේවින්දෝ කාචරාමේ ඉමං පුඤ්ඤානුමෝදතු.

සමන් දෙවියන්ට පින්දීම

වාරණ වාහනෝ දේවෝ සම්බුද්ධ පද පූජකෝ,

තේජස්සී සුමනො දේවෝ ඉමජ පුඤ්ඤානුමෝදතු.

විභීෂණ දෙවියන්ට පින් දීම

කල්යාණි පුරේ රම්මේ තුරඞ්ග වාහනෝ බලී,

විභීෂණව්හයෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතු.

ගම්භාර (සූනියම්) දෙවියන්ට පින්දීම

නානා වණ්ණෝ මහා තේජෝ ඕදාත හය වාහනෝ,

ගාම සඤ්චාරකෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතු.

මියගිය ඤාතීන්ට පින්දීම

කතං අම්හේහිමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං,

ඤාතයෝ අනුමෝදන්තු පරලෝක මිතෝ ගතා.

පූජාව අවසානයේදී ආතුරයා බෝමලුවේ හිඳවා ගෙන මතු දැක්වෙන වගන්ති සත කියමින් පුවක් මල් කිනිත්තකින් හෝ අන් සුදුසු දෙයකින් හෝ කිසිවක් නැතිනම් අතින් ම හෝ සෙත් වඩනු. සෙත් කිරීමේදී ආතුරයාට හොඳින් ඇසෙන සේ ආතුරයාට අසාගෙන සිටීමට ප්‍රියවන සේ කියනු. ආතුරයාට ශාන්තිය ප්‍රිය නැති වුවහොත් ගුණ අඩු වේ. ආතුරයාට ප්‍රිය වූ තරමට වඩ වඩා ගුණ ලැබේ. සෙත් කරන්නා විසිනුදු මෙය ගැන විශ්වාසය තබා ආතුරයාට යහපතක් කිරීමේ අදහසින් අවංක කරුණාවෙන් ම එය කළ යුතු ය.

ශාන්ති වාක්‍යය

1. මේ මහා භද්‍ර කල්පයෙන් අනූ එක් වන කපෙහි ලෝ පහළ වී වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් කේතු මාලාවේන ව්‍යාමප්‍ර‍භාවෙන් ෂට්වර්ණ රශ්මි මාලාවේන බබලන්නා වූ අසූරියන් ශ්‍රී දේහය ඇත්තා වූ දේවාති දේව බ්‍ර‍හ්මාති බ්‍ර‍හ්ම වූ වන්දනෙය්‍යාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ විපස්සී නම් සර්‍වඥරාජයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණානුභාවයෙන් ද උන් වහන්සේ විසින් සේවනය කරන ලද පාටලී බෝධිරාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන් ද,

මේ ආතුර හට රවි චන්ද්‍ර‍ කුජ බුද ගුරු ශුක්‍ර‍ ශනි රාහු කේතු යන නව ග්‍ර‍හයන් නීච වීමෙන් අස්ත වීමෙන් වක්‍ර‍ වීමෙන් අනු වක්‍ර‍ වීමෙන් දුෂ්ටස්ථානයන්ට පැමිණීමෙන් වූ මාරක බාධක රෝග කාරක තත්වනාසක ධනනාසක අපකීර්ති දායක අපලයක් ඇත්තේ නම් ඒ අපල සියල්ල හිර උදාවන කල්හි අඳුරු දුරු වන්නාක් මෙන් වහා දූරිභූත වේවා!

මොහුගේ ශරීරයෙහි වා පිත් සෙම් යන තුන්දොස් කිපීමෙන් හෝ සප්ත ධාතූන් අඩු වැඩිවීමකින් හෝ සෘතු විපර්යාසයකින් හෝ වස විසකින් හෝ අපථ්‍යාහාරයකින් හෝ අවලාද ඇස්වහ කටවහ හෝවහ හදි හූනියම් දෝෂයකින් හෝ යක්‍ෂ ප්‍රේතාදි භූත දෝෂයකින් හෝ හටගත්තා වූ යම්කිසි රෝගයක් ඇත්තේ වී නම් ඒ සියලු රෝගයෝ වහා දුරු වෙත්වා. වහා සුවය ලැබේවා!

මොහුට ආයු වර්ධනය වේවා. ශත වර්ෂාධික කාලයක් ජීවත් වේවා. ධන වර්ධනය, බල වර්ධනය, සුඛ වර්ධනය වේවා. මොහුගේ සියලු යහපත් අදහස් බුද්ධානුභාවයෙන් බෝධ්‍යානුභාවයෙන් වහා මුදුන් පත් වේවා!

2. මේ මහා භද්‍ර‍ කල්පයෙන් එක් තිස් වන කපෙහි ලෝ පහළ වී වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනු ව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍ර‍භාවෙන් ෂට්වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ සැත්තෑ රියන් ශ්‍රී දේහය ඇත්තා වූ, දේවාති දේව වූ, බ්‍ර‍හ්මාති බ්‍ර‍හ්ම වූ, වන්දනීයාති වන්දනීය වූ, පූජනීයාති පූජනීය වූ ශිඛී නම් සර්වඥරාජයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ ශිඛී බුදුරජාණන් වහන්සේ ගේ අපරිමිත ගුණානුභාවයෙන් උන් වහන්සේ විසින් සේවනය කරන ලද පුණ්ඩරීක බෝධි රාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන්,

මේ ආතුරහට රවි චන්ද්‍ර‍ කුජ ගුරු බුද ශුක්‍ර‍ ශනි රාහු කේතු යන නව ග්‍ර‍හයන් නීච වීමෙන්, අස්ථ වීමෙන්, වක්‍ර‍ වීමෙන්, අනුවක්‍ර‍ වීමෙන්, දුෂ්ට ස්ථානයන්ට පැමිණීමෙන් වූ මාරක, බාධක, රෝග කාරක, තත්ව නාසක, ධන නාසක, අපකීර්තිදායක අපලයක් ඇත්තේ නම් ඒ අපල සියල්ල හිරු උදාවන කල්හි අඳුර දුරු වන්නාක් මෙන් වහා දූරි භූත වේවා!

මොහුගේ ශරීරයෙහි වා, පිත්, සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සප්ත ධාතූන් අඩු වැඩි වීමෙන් හෝ සෘතු විපර්‍ය්‍යාසයකින් හෝ වස විසකින් හෝ අපථ්‍යාහාරයකින් හෝ අවලාද, ඇස්වහ, කටවහ, හෝවහ, හදි හූනියම් දෝෂයකින් හෝ යක්ෂ ප්‍රේතාදි භූත දෝෂයකින් හෝ හට ගත්තා වූ යම්කිසි රෝගයක් ඇත්තේ නම් ඒ සියලු රෝගයෝ වහා දුරු වෙත්වා!

මොහුට ආයු වර්ධනය වේවා. ශත වර්ෂාධික කාලයක් ජීවත් වේවා. ධන වර්ධනය, බල වර්ධනය, සුඛ වර්ධනය වේවා. මොහුගේ සියලු යහපත් අදහස් බුද්ධානුභාවයෙන් බෝධ්‍යානුභාවයෙන් වහා මුදුන් පත් වේවා!

3. මේ මහා භද්‍ර‍ කල්පයෙන් එක් තිස් වන කපෙහි ම ලෝ පහළවී වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍ර‍භාවෙන් ෂට්වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ සැට රියන් ශ්‍රී දේහය ඇත්තා වූ, දේවාති දේව වූ, බ්‍ර‍හ්මාති බ්‍ර‍හ්ම වූ, වන්දනීයාති වන්දනීය වූ, පූජනීයාති පූජනීය වූ වෙස්සභූ නම් සර්වඥරාජයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණානුභාවයෙන් උන් වහන්සේ විසින් සේවනය කරන ලද සාල බෝධිරාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන්,

මේ ආතුරහට - (සම්පූර්ණ කර කියනු)

4. ලොවුතුරා බුදුවරයන් වහන්සේලා පස් නමක් පහළ වන බැවින් මහා භද්‍ර‍ නම් වූ මේ කල්පයේ පළමුවන අන්තඃකල්පයේ ලෝ පහළ වී වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍ර‍භාවෙන් ෂට් වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ සතළිස් රියන් ශ්‍රී දේහය ඇත්තා වූ, දේවාති දේව වූ, බ්‍ර‍හ්මාති බ්‍ර‍හ්ම වූ, වන්දනීයාති වන්දනීය වූ, පූජනීයාති පූජනීය වූ කකුසන්ධ නම් සර්‍වඥයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ කකුසන්ධ බුදුරජාණන් වහන්සේගේ ගුණානුභාවයෙන් උන් වහන්සේ විසින් සේවනය කරන ලද සිරීස බෝධි රාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන්,

මේ ආතුරහට - (සම්පූර්ණ කර කියනු.)

5. මේ මහා භද්‍ර‍ කල්පයේ දෙවන අන්තඃකල්පයේ ලෝ පහළ වී වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍ර‍භාවෙන් ෂට් වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ තිස් රියන් ශ්‍රී දේහය ඇත්තා වූ, දේවාති දේව වූ, බ්‍ර‍හ්මාති බ්‍ර‍හ්ම වූ, වන්දනීයති වන්දනීය වූ, පූජනීයාති පූජනීය වූ කෝණාගමන නම් වූ සර්‍වඥරාජයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ ගුණානුභාවයෙන් උන් වහන්සේ විසින් සේවනය කරන ලද උදුම්බර බෝධි රාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන්,

(මේ ආතුරහට - (සම්පූර්ණ කර කියනු.)

6. මේ මහා භද්‍ර‍ කල්පයේ තුන්වන අන්තඃකල්පයේ ලෝ පහළ වී වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍ර‍භාවෙන් ෂට් වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ විසි රියන් ශ්‍රී දේහය ඇත්තා වූ, දේවාති දේව වූ, බ්‍ර‍හ්මාති බ්‍ර‍හ්ම වූ, වන්දනීයති වන්දනීය වූ, පූජනීයාති පූජනීය වූ කාශ්‍යප නම් සර්‍වඥරාජයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ කාශ්‍යප සර්‍වඥයන් වහන්සේගේ ගුණානුභාවයෙන් උන් වහන්සේ විසින් සේවනය කරන ලද නිග්‍රෝධ බෝධිරාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන්,

මේ ආතුරහට - (සම්පූර්ණ කර කියනු.)

7. මේ මහා භද්‍ර‍ කල්පයේ සතරවන අන්තඃකල්පයේ අශ්වත්ථ බෝධි මූලයේ පස්මරුන් පරදවා ලොවුතුරා බුදු බවට පැමිණ වදාළා වූ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍ර‍භාවෙන් ෂට් වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ අටලොස් රියන් ශ්‍රී දේහය ඇත්තා වූ, වන්දනීයාති වන්දනීය වූ, පූජනීයාති පූජනීය වූ අප ගෞතම සර්‍වඥරාජයන් වහන්සේ අනන්ත කරුණා ඇති සේක. අනන්ත ඥාන ඇති සේක. අනන්ත සෘද්ධි ඇති සේක. අනන්ත බල ඇති සේක. අනන්ත යසස් ඇති සේක. ඒ ගෞතම සර්‍වඥයන් වහන්සේගේ ගුණානුභාවයෙන් උන් වහන්සේ විසින් සේවනය කරන ලද අශ්වත්ථ බෝධිරාජයන් වහන්සේගේ ගුණානුභාවයෙන්, නව ලෝකෝත්තර ධර්මානුභාවයෙන් අෂ්ටාර්‍ය්‍ය පුග්ගල මහා සංඝ රත්නයේ ආනුභාවයෙන් බුද්ධ පූජා, බෝධි පූජා පැවැත්වීමේ කුශලානුභාවයෙන් ඒ පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේවානුභාවයෙන්,

මේ ආතුරහට රවි, චන්ද්‍ර‍, කුජ, බුධ, ගුරු, ශුක්‍ර‍, ශනි, රාහු, කේතු යන නව ග්‍ර‍හයන් නීච වීමෙන්, අස්ත වීමෙන්, වක්‍ර‍ වීමෙන්, අනුවක්‍ර‍ වීමෙන්, දුෂ්ටස්ථානයන්ට පැමිණීමෙන් වූ මාරක, බාධක, රෝග කාරක, තත්වනාසක, ධන නාශක, අපකීර්තිදායක අපලයක් ඇත්තේ නම් ඒ අපල සියල්ල හිර උදාවන කල්හි අඳුර දුරු වන්නාක් මෙන් වහා දූරීභුත වේවා!

මොහුගේ ශරීරයෙහි වා, පිත්, සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ සප්ත ධාතූන් අඩු වැඩි වීමෙන් හෝ සෘතු විපර්යාසයකින් හෝ වස විසකින් හෝ අපථ්‍යාහාරයකින් හෝ අවලාද, ඇස්වහ, කටවහ හෝවහ, හදි හූනියම් දෝෂයකින් හෝ යක්‍ෂ ප්‍රේතාදි භූත දෝෂයකින් හෝ හට ගත්තා වූ යම්කිසි රෝගයක් ඇත්තේ නම් ඒ සියලු රෝගයෝ මොහුගේ ශරීරයෙන් වහා දුරු වෙත්වා. මොහුට වහා සුවය ලැබේවා!

මොහුට ආයු වර්ධනය වේවා. ශත වර්ෂාධික කාලයක් ජීවත් වේවා. ධන වර්ධනය, බල වර්ධනය, සුඛ වර්ධනය වේවා. මොහුගේ සියලු යහපත් අදහස් මුදුන් පත් වේවා!

මේ ශාන්ති වාක්‍යයෙහි ආතුර යන වචනය යොදා ඇත්තේ එය සාමාන්‍යයෙන් කාහටත් ගැළපෙන වචනයක් බැවිනි. ශාන්තිය කරන තැනැත්තා විසින් ඒ ඒ තැනැත්තාට සුදුසු වචන එතැනට යොදා ශාන්තිය කළ යුතු ය. කුඩා දරුවකුට ශාන්තිය කරනවා නම් දරුවාට යන වචනය යොදා කියනු. ඒ ඒ අයට සුදුසු වන පරිදි මහත්මයාට, රාලහාමිට, මැතිතුමාට, උපාසක මහතාට, නෝනට, මහත්මියට, හාමිනේට, මැතිනියට යනාදි වචන යොදා ශාන්තිය කරනු.

මෙහි ඉහත දැක් වූ කරුණු ගැන අවබෝධයක් ඇති වීම පිණිස අසඞ්ඛ්‍යය යන ගණන ගැනත් කල්ප විභාගත් බුදුරැස් ආදිය ගැනත් දත යුතුය.