ශාරීරික චෛත්‍යය යනු සර්‍වඥ ධාතූන් වහන්සේලා ය. පිරිනිවියා වූ සර්‍වඥයන් වහන්සේගේ ශරීරය ආදාහන කළ කල්හි එහි සම් මස් නහර ආදියෙන් කිසිවක් ඉතිරි නොවී කපුරු දැවෙන්නාක් මෙන් සම්පූර්ණයෙන් ද ගියේ ය. ලලාට ධාතූන් වහන්සේය, අකු ධාතූන් වහන්සේලා දෙනම ය, දළදා සතර ය යන මේ ධාතූන් වහන්සේලා සත් නම සම්පූර්ණ වශයෙන් ඉතිරි වූහ. ශරීරයේ අන්‍ය අස්ථීහු කුඩා කැබලි වී ඉතිරි වූහ.
“උණ්භීසං චතස්සෝ දාඨා
අක්ඛා ද්වේ ච ධාතුයෝ,
අසම්භින්නා ඉමා සත්ත
සේසා භින්නා ච ධාතුයෝ”
යනුවෙන් ඒ බව බුද්ධ වංසයෙහි දක්වා ඇත්තේ ය.
මහන්තා මුග්ග මත්තා ච
මජ්ඣිමා භින්න තණ්ඩුලා
ඛුද්දකා සාසප මත්තා ච
නානා වණ්ණා ච ධාතුයෝ.
යනුවෙන් මහත් ධාතූහු මුං පියලි පමණ ද, මධ්‍යම ධාතූහු කඩ සහල් පමණ ද, කුඩා ධාතූහු අබ ඇට පමණ ද, නොයෙක් වර්ණ ඇතියෝ ද වන්නාහ යි දක්වා ඇත්තේ ය.
මහන්තා පඤ්ච නාළියෝ නාළියෝ පඤ්ච මජ්ඣිමා
ඛුද්දකා ඡනාළී චේව එතා සබ්බාපි ධාතුයෝ.
යනුවෙන් මහත් ධාතුහු නැළි පසක් ද, මධ්‍යම ධාතුහු පස් නැළියක් ද, කුඩා ධාතුහු නැළි සයක් ද වන්නාහ යි දක්වා ඇත්තේ ය.
මහන්තා සුවණ්ණ වණ්ණා ච මුත්ත වණ්ණා ච මජ්ඣිමා
ඛුද්දකා මකුල වණ්ණා ච සොළස දෝණ මත්තිකා.
යනුවෙන් මහත් ධාතුහු රන් පැහැ ඇත්තාහ. මධ්‍යම ධාතුහු මුතු පැහැ ඇත්තාහ. කුඩා ධාතුහු සමන් කැකුළු පැහැ ඇත්තාහ. සියල්ල ද්‍රෝණ සොළසක් වන්නාහ යි දක්වා ඇත්තේ ය.
උණ්හීසං සීහලේ දීපේ බ්‍රහ්මලෝකේ ච වාමකං,
සීහලේ දක්ඛිණක්ඛං ච සබ්බපේතා පතිට්ඨිතා
යනුවෙන් උණ්හීස ධාතුව (ලලාට ධාතුව) සිංහල ද්වීපයෙහි ද, වම් අකු ධාතුව බ්‍රහ්ම ලෝකයෙහි ද, දකුණු අකුදාව සිංහල ද්වීපයෙහි ද පිහිටියහ යි දක්වා ඇත්තේ ය.
එකා දාඨා තිදසපුරේ ඒකා නාගපුරේ අහු,
ඒකා ගන්ධාර විසයේ ඒකා කාලිඞ්ග රාජිනෝ.
මේ ගාථාවෙන් එක් දළදාවක් දෙව්ලොව ද, එක් දළදාවක් නාගලෝකයෙහි ද, එක් දළදාවක් ගන්ධාර දේශයේ ද, එක් දළදාවක් කාලිංග දේශයේ ද වැඩ සිටින බව දැක්වේ. දැනට මහනුවර දළදා මන්දිරයේ වැඩ සිටින්නේ කාලිංග දේශයේ වැඩ සිටි දළදා වහන්සේ ය. මෙහි දක්වන ලදුයේ බුද්ධ වංස පාලියේ දැක්වෙන ධාතු විස්තරය ය. වෙනත් පොත්වල දැක්වෙන ධාතු විස්තරවල මෙයට මඳ වෙනස්කම් ද ඇත්තේ ය.
චත්තාළීස සමා දන්තා කේසා ලෝමා ච සබ්බසෝ
දේවා හරිංසු ඒකේකං චක්කවාළ පරම්පරා.
මේ ගාථාව බුද්ධවංස පාළියේ හා මහා පරිනිර්වාණ සූත්‍රාවසානයේ ද දක්නා ලැබේ. එයින් කියැවෙන්නේ තථාගතයන් වහන්සේගේ සම වූ දන්තයන් සතළිස ද කෙස් හා ලොම් ද චක්‍රවාළ පරම්පරාවට දෙවියන් ගෙන ගිය බව ය. මෙය ඒ පොත්වල ම මුලින් දැක්වූ කරුණුවලට නො ගැලපේ. විමසිය යුත්තකි.
ධාතු වන්දනා ගාථා
1. ලෝකං මෝහ නමෝ නද්ධං විසුද්ධං ධම්මරංසියා,
ඕභාසෙත්වා නිබ්බුතස්ස ලෝකනාථස්ස ධාතුයෝ,
සාදරං අභිවන්දාමි සම්පත්තුං උත්තමං සිවං,
.
2. තාරයිත්වා බහුජ්ජනේ සංසාරෝඝා මහබ්භයා
සුඛාපෙත්වා නිබ්බුතස්ස ලෝකනාථස්ස ධාතුයෝ
සක්කච්චං අභිවන්දාමි පත්තුං නිබ්බානමුත්තමං,
.
3. දේසෙත්වා පවරං ධම්මං මග්ගං නිබ්බාන පත්තියා
සංදස්සයිත්වා ලෝකස්ස නිබ්බුතස්ස මහේසිනො,
ධාතුයෝ අභිවන්දාමි පත්තුං නිබ්බානමුත්තමං.