එක් විහාරයක විසූ තෙර නමක් සෑමළුව හා බෝමළුව ඇමද නෑමට ගියේ ය. දෙවියෝ මේ විහාරය ඇති වූවාට පසු මෙසේ ඇමදීම කළ භික්‍ෂුවක් නො වීය යි සතුටු ව මල් ගෙන ඒ භික්‍ෂුව පැමිණෙන තුරු එහි විසූ හ. තෙරුන් වහන්සේ පැමිණ ඔවුන් දැක ඔබ කිනම් ගමක අය දැ යි ඇසූ හ. “ස්වාමීනි, අපි මෙහි ම වසන අය ය” “මේ විහාරය ඇති වූ තැන් පටන් මෙසේ වත් සම්පූර්ණ කොට ඇමදූ භික්‍ෂුවක් නුදුටු බැවින් ඔබ වහන්සේගේ වත ගැන පැහැදී මල් ගෙන ආවෙමු” යි දෙවියෝ කීහ.