නැටුම් ගැයුම්වලින් බෝධි පූජාව කළ ඒකාසනිය රහතන් වහන්සේගේ අපදානය

1. වරුණෝ නාම නාමේන දේවරාජා අහං තදා,

උපට්ඨහේසිං සම්බුද්ධං සයොග්ග බලවාහනෝ.

.

2. නිබ්බුතෝ ලෝකනාථම්හි අත්ථදස්සී නරුත්තමේ,

තුරියං සබ්බසමාදාය අගමං බෝධි මුත්තමං.

.

3. වාදිතේන ච නච්චේන සම්මතාල සමාහිතෝ,

සම්මුඛා විය සම්බුද්ධං උපට්ඨං බෝධිමුත්තමං.

.

4. උපට්ඨහිත්වා තං බෝධිං ධරණීරුහපාදපං,

පල්ලඞ්කං ආභුජිත්වාන තත්ත කාලකතෝ අහං.

.

5. සකකම්මාභිරද්ධෝහං පසන්නෝ බොධි මුත්තමේ,

තේන චිත්තප්පසාදේන නිම්මාණං උපපජ්ජහං.

.

6. සට්ඨිතුරිය සහස්සානි පරිවාරෙන්ති මං සදා,

මනුස්සේසු ච දේවේසු වත්තමානං භවාභවේ.

.

7. තිවිධග්ගි නිබ්බුතා මය්හං භවා සබ්බේ සමූහතා,

ධාරේමි අන්තිමං දේහං සම්මා සම්බුද්ධ සාසනේ.

.

8. සුබාහු නාම නාමේන චතුත්තිංසාසු ඛත්තියා,

සත්තරතන සම්පන්නා පඤ්චකප්පසතේ ඉතො.

.

9. පටිසම්භිදා චතස්සෝ -පෙ- කතං බුද්ධස්ස සාසනං.

ඉත්ථං සුදං ආයස්මා ඒකාසනියෝ ථෙරෝ ඉමා ගාථායෝ අභාසිත්ථාති.

තේරුම :-

  1. එකල්හි මම රථ හා බලවාහන ඇති වරුණ නම් දේව රාජයෙක් වීමි. සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට උපස්ථාන කෙළෙමි.
  2. නරෝත්තම වූ අත්ථදස්සී ලෝකනාථයන් වහන්සේ පිරිනිවි කල්හි සියලු තූර්‍ය්‍ය භාණ්ඩ ගෙන උත්තම බෝධිය වෙත ගියෙමි.
  3. සම්මතාලාදි තූර්‍ය්‍ය භාණ්ඩයන්ගෙන් යුක්තව වැයුමෙන් හා නැටුමෙන් බුදුන් වහන්සේ හමුවෙහි මෙන් බෝධියට උපස්ථාන කෙළෙමි. (නැටුම් ගැයුම්වලින් බෝධීන් වහන්සේ පිදුවෙමි.)
  4. පොළොවෙහි වැඩෙන රුකක් වූ ඒ බෝධියට උපස්ථාන කොට මම එහි පළඟක් බැඳ හිඳ කලුරිය කෙළෙමි.
  5. උත්තම වූ බෝධිය කෙරෙහි ප්‍ර‍සන්න වූ මම ඒ චිත්ත ප්‍ර‍සාදයෙන් නිම්මාන නම් දෙව්ලොව උපන්නෙමි.
  6. දෙව්ලොව හා මිනිස් ලොව උපනුපන් භවයක් පාසා සැට දහසක් තූර්‍ය්‍යයෝ මා පිරිවරා පවතිත්.
  7. මාගේ රාග ද්වේෂ මෝහ යන තෙවැදෑරුම් ගිනි නිවී ගියේ ය. මම සම්‍යක් සම්බුද්ධ ශාසනයෙහි අන්තිම ශරීරය - දේහය දරමි.
  8. මෙයින් කල්ප පන්සියයකට පෙර සුබාහු යන නමින් සූතිස් දෙනෙක් සප්ත රත්නයෙන් යුක්ත රජහු වූහ.