ස්තුති පූජාව හා ශාන්ති කර්මය

බෝධීන් වහන්සේට වන්දනා පූජා කොට තමාට සෙත් පිණිස බෝධි මූලයේ දී මේ ගාථා කියනු. මේ ගාථා සජ්ඣායනා කිරීම අපල දුරුවීමට රෝග සුව වීමට හා තමාට ඇති වෙනත් බාහිර කරදර දුරුවීමට හා දියුණුවටත් හොඳ ය.

1. මහාදයෝ මහාසත්තෝ - බෝධිමූලේ නිසීදිය

පඤ්ච මාරේ පරාජෙත්වා - පත්තෝ සම්බෝධි මුත්තමං

එතේන සච්චවජ්ජේන - සොත්ථි මේ හෝතු සබ්බදා.

.

2. ජයෝ හි බුද්ධස්ස සිරිමතෝ අයං

මාරස්ස ච පාපිමතෝ පරාජයෝ

උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා

ජයං තදා නාග ගණා මහේසිනෝ

එතේන සච්චේන සුවත්ථි හෝතු.

.

3. ජයෝ හි බුද්ධස්ස සුබෝධිමූලේ

මාරස්ස ච පාපිමතෝ පරාජයෝ

උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා

සුපණ්ණ සංඝාපි ජයං මහේසිනෝ

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

.

4. ජයෝ හි බුද්ධස්ස සිරීමතෝ අයං

මාරස්ස ච පාපිමතෝ පරාජයෝ

උග්ඝෝසයුං දේවගණා පමෝදිතා

ජයං තදා දේවගණා මහේසිනෝ

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

.

5. ජයෝ හි බුද්ධස්ස සිරීමතෝ අයං

මාරස්ස ච පාපිමතෝ පරාජයෝ

උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා

ජයං තදා බ්‍ර‍හ්ම ගණාපි තාදිනෝ

ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

මේ ගාථාවලින් ශාන්තියක් ලැබිය හැකි වන්නේ ඒවායේ තේරුමත් දැන කියන අයට ය. එබැවින් ගාථාවල තේරුමත් තරමකටවත් දත යුතු ය. ගාථාවල තේරුම පිළිවෙළින් මෙසේ ය.

1. මහත් වූ දයාව ඇත්තා වූ මහා සත්ත්වයන් වහන්සේ බෝධි මූලයේ වැඩ හිඳ පස් මරුන් පරදවා උතුම් සම්බෝධියට, බුද්ධත්වයට පැමිණි සේක. ඒ සත්‍ය වචනයේ ආනුභාවයෙන් මා හට සැප වේවා!

2. ශ්‍රීමත් වූ මේ බුදුරජාණන් වහන්සේට ජය වූයේ ය. පාපී වූ මාරයාහට පරාජය අත් වූයේ ය. මේ බෝ මැඩ රැස් වූ නාග සමූහයෝ සතුටු වූවාහු බුදුරජාණන් වහන්සේගේ ජය ඝෝෂාව කළෝ ය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා!

3. ශ්‍රීමත් වූ මේ බුදුන් වහන්සේට ජය වූයේ ය. පවිටු මාරයා පැරදුණේ ය. මෙසේ සතුටට පත් දේව සමූහයෝ ද එදා භාග්‍යවතුන් වහන්සේගේ ජය ඝෝෂාව කළෝ ය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා!

4. ශ්‍රීමත් වූ බුදුන් වහන්සේට ජය වූයේ ය. පවිටු මාරයා පැරදුණේ ය. මෙසේ සතුටට පත් දේව සමූහයෝ ද එදා භාග්‍යවතුන් වහන්සේගේ ජය ඝෝෂාව කළෝ ය. ඒ සත්‍යානුභාවයෙන් සුවයක් වේවා.

5. ශ්‍රීමත් වූ බුදුන් වහන්සේට ජය වූයේ ය. පාපී මාරයාට පරාජය වූයේය. මෙසේ එදා බෝමැඩ දී සතුටු වූ බ්‍ර‍හ්ම සමූහයෝ භාග්‍යවතුන් වහන්සේගේ ජය ඝෝෂාව කළෝ ය. ඒ සත්‍යයාගේ ආනුභාවයෙන් සැපයක් වේවා!

මේ ගාථා පස බෝධිමූලයේ දී කියා අන්‍යයන්ට සෙත් කිරීමට ද යෝග්‍ය ය. ආතුරයා ලවා බෝධීන් වහන්සේ වඳවා මල් පහන් ආදිය පූජා කරවා බෝධිය සමීපයේ හිඳවා මේ ගාථා තුන් වරක් හෝ සත් වරක් හෝ කියා සෙත් කරනු. අනුන්ට සෙත් කිරීමේ දී පළමුවන ගාථාවේ අන්තිම පදය “සොත්ථි තේ හෝතු සබ්බදා” යි කියනු. අපල ලෙඩ හා වෙනත් කරදර ඇතියන්ට මෙයින් බොහෝ ගුණ ලැබෙනු ඇත. රෝගියා බෝධිය වෙත පැමිණීමට නොහැකි තත්ත්වයක සිටී නම් ඔහු වෙනුවට බෝධියට මල් පහන් පුදා සිටිනා තැනට ගොස් ගාථා කියා සෙත් කරනු.